මෝහිණිගේ පුත්‍ර රත්නය - Mohini's Son


මෝහීණි ගැන හැම එකාම අහලා තියෙනවාය. ඒත් මෝහිණි එන්නේ තනියෙන් නෙමේය. පොඩි එකෙකුත් එක්කය. ඒ කාළේ මෝහිණි දැකපු උන් අනන්තවත් උන්නාට දැන් එයා පේන්න එන්නේ නැතිය. ඒ වාගේම, හැම වාහෙම මෝහිණි ගැන කතා කලාට, මෝහිණිගේ පොඩි එකා ගැන කතා කොරන්නේ නැතිය. මාතලන් මේ කියන්න යන්නේ මෝහිණිගේ පොඩි එකා ගැන කතන්දරයය.

ඕන් එකෝමත් එක රටක ගිරුවාපත්තුව කියනා ප්‍රදේශයක වැදගත් පවුලක නාහෙට අහන්නේ නැති කොල්ලෙක් උන්නේය. කොලුවාගේ නම් පර්සිය. හැබයි නාහෙට අහන්නේ නැති එකා උනාට, ගමේ කොයි කාගේත් හිත දිනාගත් පොරගේ මදි පාඩුවට, කොලුවාගේ අප්පුච්චා තවත් පවුලක කොලුවෙක් උස්සාගෙන ආවේය. උගේ නම මර්වින්ය. මේ වැඩෙන් දන්දිනා සමරසිංහ හාමිනේට උනේ, අලි මදිවාට හරක් කේස් එකක්ය. ඒ කොලුවාත් අර ජාතියෙම එකෙක් වූ අතර, වලව්වට එන කොම්ප්ලේන් එන්න එන්නම වැඩි උනේය.

මේ දෙන්නා ඉලන්දාරි උනායින් පස්සේ ගමේ ඉතරක් නොව අහල පහළ ගම්වල පවා බොහෝම ජනප්‍රිය උනේය. හිත හොඳ ඉලන්දාරි දෙන්නා ගමේ හැම මගුල් තුලාවකටම, මළ ගෙවල් වල නයිට් ගැසීමට පමණක් නොව, බූරූ පොලේද, සූදූ පොලේද, කඩ මන්ඩියේද, තවත් නොයෙකුත් තැන්වලද, බොහෝ ජනප්‍රිය චරිතයන්ම වූයේය. මෙයින් පර්සි නම් ඉලන්දාරියා ඇඟ පතෙන් බොහොම හයි හත්තිය පොර උනාට, ගේමට ආපු එකාටවත් නෙලන්න ගියේ නැතිය. ඒ වැඩේ කෙරුවේ මර්වින් නම් පරම මිත්තරයාය.

ඔයින් පර්සි නම් ඉලන්දාරියාගේ අමුතු පුරුද්දක් තිබුනේය. එනම් පොඩි උන්ට මහත්සේ ආදරය කිරීමය. ඒ ආදරය ගැටිස්සියන්ගේ පටන් අත දරුවා දක්වාම කිසිඳු අඩුවකින් තොරවම පැවතියේය. ඕනෑම තැනකදි ගමේ ගැහැණුන් වඩාගෙන උන් දරුවන් පවා බලෙන් අතට අරගෙන, උඩ දානා එක මේ ඉලන්දාරියාගේ විනෝදාංශයක් විය. මර්වියා අනිත් කොල්ලෝ එක්ක කිව්වේ, ඔහොම පොඩි උන් ගන්නේ වෙනින් වැඩකටය කියලාය. ඒ කතාවේ ඇත්තක් නැත්තෙමත් නැතෙයි කියලා හිතුනේ සමහර ගෑණූ මේ දෙන්නා එන කොට හෙමිහිට මාරු වූ නිසාය. තා සමහරු කිව්වේ ළඟින් ගියොත් ඇහැත් නැතෙයිය කියලාය.

දවසක් මේ ඉලන්දාරි දෙන්නා ගමේ මළ ගෙදරක ගොස්, සියල්ලෙන්ම අඩු පාඩුවක් නැතිව සප්පායම් වී, කැරකොප්පුව හරියෙන් එමින් ඉද්දි එකපාරටම දැක්කේ පොඩි එකෙක් වඩාගෙන ඉන්නා සුදු වතින් සැරසී කොන්ඩය කඩාගෙන උන් තරුණ වියේ කාන්තාවක්ය. මේ දර්ශණය දුටු ගමන් පොඩ්ඩක් පස්සට පැන්න මර්වියා පර්සිට කිව්වේ, මචෝ බඩු හරි.. ඔය ඉන්නේ මොහිණි කියලාය. බිච්චියට හේත්තු කලත් යකාටවත් බය නැති පර්සි මර්වියාට කිව්වේ, ඉතින් අපිට පාන්ද බං කියලාය. ඒ අතරේ ළඟටම ආපු මෝහිණිගේ අතේ උන් දරුවා බලෙන්ම වගේ උදුරාගත් පර්සි කලේ, පොඩි එකා හුරතල් කොරනා එකය.

මේ අතරේ මෝහිණී බොහෝම භයංකාර හිනාවක් දැම්ම අතරේ පර්සි ඇහුවේ, මොකො අක්කේ ඔය හැටි හිනාවෙන්නේ අපි මෙතන හිනා වෙන්න දෙයක් කොලේ නැතෙයිය කියලාය. මොහීණි කිව්වේ අනේ බලහන් සුදු මල්ලියේ, මම කී දෙනෙක්ට ඔය දරුවා පොඩ්ඩක් අල්ල ගන්න කියනවද මගේ මේ රෙද්ද හදාගන්න, ඒත් උඹ බලහන්, කියන්නත් කලි පොඩි එකා වඩා ගත්තානේ, උඹට රාජ රාජ සම්පත් ලැබෙන්න ඕනාය කියලාය. එහෙම කියන අතරේ මර්වියා ඇහුවේ, මම රෙද්ද හදන්නද කියලාය. අවුලක් නත්නම් හදහන් මල්ලියේ කිව්වාම. ඕන රෙද්දක් කියා හිතපු මර්වින් රෙද්ද හැදුවාම, රෝහිණි කිව්වේ, මල්ලියේ මම පොඩ්ඩක් දොට්ට පිලට ගිහින් එනකන් පොඩි එකා ඔහොම්මම අල්ලගෙන හිටහන් කියලාය.

දොට්ට පිලට ගිය උන්දෑ සෑහෙන වෙලාවක් ගිහිනුත් ආවේ නැති අතර, පලාතම දෙවනත් කරමින් පොඩි එකා බෑගිරි ගහන්න පටන් ගත්තේය. මෙහෙම පරිප්පුවක් ජීවීතේදි කාලා නෑ යකෝ කියාපු පර්සි මර්විනයාගෙන් ඇහුවේ, දැන් මක්කැයි බං අපි කොරන්නේ කියලාය. 

මක්කා කොරන්නද පොඩි එකා විසි කොරලා යන්නය, කාගේ හරි දරුවෙක් නේ, මහසෝනා ඇවිත් තා එකෙක් දෙන්න කලින් වලව්වට යමන් කියා, මර හූ හඬ දෙන දරුවාත් වඩාගෙන දෙන්නාම ගෙදර ආවේය.
මහ රෑ දෙගොඩ හරි ජාමේ පොඩි එකෙක් මර හූ තියන්නේ මොකෝ කියා බලන්න එලියට ආපු දන්දිනා හාමිනේ දෙලෝ රත් වෙලා ගියේ, පර්සි පුතා පොඩි එකෙක් වඩාගෙන ඉන්නවා දැක්කාමය. මම දැනගත්තා තෝ රට වටේ මනමාල කමේ යනකොට අන්තීමට වෙන්නේ මේකෙයි කියා, මල අතට ගත්ත හාමිනේ අස්වසන්න බොහෝම යාප්පුවෙන් මර්වියා දන්දිනා හාමිනේට කතාව කිව්වාම, දන්දිනා හාමිනේ කිව්වේ මොහීණිගේ උනත් දරුවෙක් නේ, එහෙනම් අපි බලමු මක්කවත් කොරන්නෙයි කියලාය.

ඊළඟ දවසෙ එලිවෙන්නත් කලියෙන් කපුටාහේ පිහාටු කතන්දරේ වගේ, කැලෑ පත්තරයි, ළිඳ ළඟ සංගන්වලයි, කඩ මන්ඩියෙයි, මේ ගැන එක එක කතා හතර අතේම ගියේය. මේ කතන්දර නිසා එකෙක්ටවත් මඟුලක් කොර ගන්න වෙන්නේ නෑ කියා කියපු දන්දිනා හාමිනේ, ඇල්වින් මහත්තයා හා සමඟ කතා කොට වලව්වේ වැඩට ඇවිත් උන් කළුතර පැත්තේ බවලත් කෙනෙකුන්ට පොඩි එක බාරදි, ඒකිට කිව්වේ අපි සියළු විය හියදම් කරන්නම්, ජීවිත කාලෙම බලා ගන්නම්, උඹ මේ දරුවා හදා ගනින් කියලාය.

ගමේ ගිය කයි කතන්දර නිසා පර්සි කොලුවාටවත් මර්වින් කොලුවාටවත් ගිරුවාපත්තුවේ කිසිම ගමකින් පෙලවහක් නම් කොර ගන්න බැරිව ගියේය. පර්සි කොලුවා කොළඹින් කසාදයක් කොර ගත් අතර, මර්වින් කොලුවා කුලියාපිටිය පැත්තෙන් කසාදයක් කොර ගත්තේය. කළුතරට පැමිණි මොහිණිගේ පුතා, කර දඬු උස් මහත්වී, දේශපාලනයටත් ඇවිත්, මෝහීණීලාගේ ගේම් දිදි ඉන්න අතර වාරයේ, පර්සි කොලුවා රජ උනේය.

රජ උනායින් පස්සේ, මේ කොලුවා, ඌ උන් පක්ෂයෙන් පන්නවා තමන් ළඟට ගත්ත පර්සි මහත්තයා ඌ කවදාවත් නොගිය සීගිරියේ ඉතරක් නොව ඩිස්නිලතයෙත් ටුවර් වලට එක්කගෙන ගියේය. ඒ වාගෙම ඌටත් ඕනෑම දෙයක් කොරගන්න තම පුතාටවත් නොදුන් අමාත්‍යන්ශයකුත් දුන්නේය. ඒත් අම්මා දුන් ගුලිය වගේම එක එක ජාතියේ ගුලි දීලා, අන්තීමට පර්සි මහත්තයාගේ රජකමටත් කෙලලාම දැම්මේය.

ඉන් පස්සේ පටන් පර්සි මහත්තයා පොඩි උන් වඩා ගන්නා එක නැවත්තුවේය. මෝහිණිගේ කොලුවා නම් ආරේ ගති නෑරේ කියන්නාක් මෙන්, අදටත් උගුර යටින් බෑඟිරි ගසමින්, ඇස් ලොකු කරමින්, කෙස්ස වනමින්, මුළු රටම බය කරමින්, අදටත් පර්සි මහත්තයාට ගුලි කවමින් සිටින්නේය..

මෝහිණි පුත්‍ර කතා වස්තුව මෙතැකින් නිමියේය..

- මාතලන්

Share on Google Plus

0 comments:

Post a Comment