GSP+ සාකච්ඡා ඇරඹේ.


බ්‍රසල්ස් නුවර සංචාරය කරන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස 18වන දා යුරොපීය පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පාර්ශවයන් හමුවී, ජීඑස්පී ප්ලස් සහනය ඇතුළුව ශ්‍රී ලංකාව වෙත සහය ලබා ගැනීමේ අවකාශයන් පිලිබඳව සාකච්ඡා කළහ.

යහ පාලනය, සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිදියාව ආදී ක්ෂේත්‍රයන් ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියා මාර්ග මෙහිදී පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස, ඒ පසුබිම මත ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති හිමිකම ගැන කරුණු ඉදිරිපත් කළහ.

විදේශ කටයුතු මෙහෙයවන යුරෝපීය ජනතා පක්‍ෂයට අයත් පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිස සමග මුලින්ම සාකච්ඡා පැවති අතර, නියෝජිත පිරිසේ නායකත්වය දරන ලද්දේ විදේශ කටයුතු ක්‍රියාකාරී කමිටුවේ සභාපති යසෙක් සරෙයුවොස්කි (Jacek Saryusz-Wolski) මහතා විසිනි.

යුරෝපීය පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ කමිටුවේ සම්බන්ධීකාරක ක්‍රිස්ටොෆර් ෆියෙල්නර් (Christofer Fjellner) මහතා සහ එම කමිටුවේ සාමාජිකයන් සමග ද ශ්‍රී ලංකා නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වූහ.

යුරෝපීය ජනතා පක්‍ෂයට අයත් පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපති මන්ෆ්‍රෙඩ් වෙබර් (Manfred Weber) මහතා සමග ද අදහස් හුවමාරු කර ගැනිණි.

යුරෝපීය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිත්‍ර කණ්ඩායම සමග ද සාකච්ඡා පැවැත්විණි. එම හමුවේ සභාපතිත්වය යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙෆ්රි වැනෝඩන් (Geoffrey Van Orden) මහතා විසින් දැරූ අතර, ඔවුන් විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

ශ්‍රී ලංකාවේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, සංහිදියාව තහවුරු කරමින්, දූෂණය මුලිනුපුටා දැමීමට කටයුතු කිරීම තව තවත් වේගවත් කරන ලෙස ඔව්හු ඉල්ලා සිටියහ.

එවන් පසුබිමක ජීඑස්පී ප්ලස් සහනය ලබා ගැනීම සඳහා තමන් සියළු දෙනාට ශ්‍රී ලංකාව වෙත සහය දැක්විය හැකි බව ද ඔව්හු පෙන්වා දුන්හ.

ජීඑස්පී ප්ලස් සහනය සම්බන්ධයෙන් දැනට ධනාත්මක ප්‍රතිචාරයක් යුරෝපීය සංගමය වෙතින් පළ වී තිබුණ ද, ඉදිරියේ වෙනත් ආකාරයේ අභියෝගයන් එල්ල විය හැකි බව ද අවධාරණය කළ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස ද ඉල්ලා සිටියහ. ඒ අභියෝගයන් ජය ගැනීම සඳහා හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට තමන් සූදානම් බව ද ඔව්හු දන්වා සිටියහ.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා යන මහත්වරුන් ද මේ අවස්ථාවන්ට එක්වූහ.

Share on Google Plus

0 comments:

Post a Comment