සිහින ඉවත් කරගන්න - හේමප‍්‍රිය කවිරත්න.



  • සුෂ්මා ස්වරාජ් 

වර්ෂ 2016 සැප්තැම්බර් 28 වන දින ඉන්දියාව කාශ්මීරයේ පාකිස්තානයට අයත් කොටසේ කිලෝමීටර දෙකක් දුරට ඇතුල් වී පාකිස්තානු සටන්කාමීන්ගේ කඳවුරු අටකට ප‍්‍රහාරයක් එල්ල කළේය. මේ අනුව ඉන්දියානු කොමාන්ඩෝ භටයින් හෙලිකොප්ටර් මගින් ගොස් පැරෆුට් මගින් ගෙඩබැස සාර්ථකව එම ප‍්‍රහාරය එල්ල කළ බවත් ඒ තුළින් කිසිදු ඉන්දීය සෙබළෙකුට තුවාලයක්වත් සිදු නොවූ බව ඉන්දියානු හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක ලූතිනන් ජෙනරාල් රංජිත් සිං ප‍්‍රකාශ කළේය. මෙම තත්ත්වය තුළ දකුණු ආසියානු කලාපයේ බලවතුන් දෙදෙනා වන ඉන්දියාව සහ පකිස්තානය ගැටුමකට අවතීර්ණ වී ඇත. එය එක් අතකින් කලාපීය ආරක්‍ෂාවට සහ කලාපීය ආර්ථිකයට තර්ජනයක් වනු ඇත. මෙම ප‍්‍රහාරය පිළිබඳ අදහස් පළකරමින් පාකිස්තානු අගමැතිවරයා වන නවාස් ෂරීෆ් ප‍්‍රකාශ කළේ එය දැඩි ලෙස හෙළාදකින බවයි. 

  • ආසන්න සිද්ධිය 

ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරය සම්බන්ධයෙන් පවතින නොවිසඳුණු ගැටලූව හේතුවෙන් අවස්ථා කිහිපයක දී ගැටුම් ඇති වී ඇත. මෙම ගැටුමට ආසන්නම සිදුවීම වන්නේ පසුගිය සැප්තැම්බර් 18 වන දින කාශ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමාවේ පැවති ඉන්දීය හමුදා කඳවුරකට පාකිස්තානු සටන්කාමීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කොට ඉන්දියානු සෙබළු 18 දෙනෙකු මරා දැමීමයි. ඊට පෙර ජනවාරි මාසයේ දී ද ඉන්දියානු හමුදා කඳවුරකට ප‍්‍රහාරයක් එල්ල කළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඉන්දියානු සෙබළුන් 7 දෙනකු මරාදැමීය. මෙම තත්ත්වය පිළිබඳ ඉන්දියාව ජාත්‍යන්තරය දැනුවත් කළ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී දෙරට විසින්ම මේ පිළිබඳව අදහස් පළ කළේය. එහිදී ඉන්දියානු විදේශ ඇමතිවරිය වූ සුෂ්මා ස්වරාජ් කාශ්මීරය ගැන මවන හීන ඉවත් කරගන්නා ලෙස පාකිස්තානයට ප‍්‍රකාශ කළේය. එමෙන්ම නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළේ පාකිස්තානය ජාත්‍යන්තර හුදෙකලා කිරීමට කටයුතු කරන බවයි. 

  • බුර්හාන් වනී 

කාෂ්මීරය තුළ ක‍්‍රියාත්මක වන ඉස්ලාම් සංවිධාන විශාල ප‍්‍රමාණයක් පවතී. ඒ අතර ජම්බු කාශ්මීර විමුක්ති ව්‍යාපාරය (Jammu Kashmir Liberation front) සහ ජමාට්-ඊ-ඉස්ලාම් (Jamaat-E-Islam) යන සංවිධාන වැදගත් වේ. මෙම සංවිධාන අතුරින් ජම්මු කාශ්මීර් විමුක්ති සංවිධානය පෙනී සිටින්නේ නිදහස් මුස්ලිම් රාජ්‍යයක් උදෙසාය. නමුත් ජමාට්-ඊ-ඉස්ලාම් සංවිධානය පෙනී සිටින්නේ පාකිස්තානය සමඟ එකතු වීම අරමුණු කරගෙනය. මේ අනුව බෙදුම්වාදයේ ද ස්වරූප දෙකක් පෙන්නුම් කරයි. මෑතකදී මියගිය බුර්හාන් වනී ඉහත සංවිධාන දෙකට අමතරව ක‍්‍රියාත්මක වන හිස්බුල්ලා මුජාහිඞීන් සන්නද්ධ කණ්ඩායමේ නායකයෙකු වේ. ඉන්දියාවු හමුදාවට එල්ල වූ ප‍්‍රහාරවලින් පසු ඉන්දියානු හමුදාව විසින් කරන ලද මෙහෙයුම් හේතුවෙන් ඔහු මියගොස් ගිය අතර එතැන් පසු පාකිස්තානයට අයිති කාශ්මීර ප‍්‍රදේශවල මුස්ලිම්වරු පමණක් නොව ඉන්දියාවට අයත් කාශ්මීර ප‍්‍රදේශවල ජීවත් වන මුස්ලිම්වරු ද විරෝධතා ව්‍යාපාරවලට ප‍්‍රවිශ්ට විය. ඒවා මර්ධනය කිරීමට ඉන්දියාව හමුදාව යෙදවූ අතර, එම මර්ධනයන් තව තවත් මෙම ව්‍යාපාර වර්ධනය කිරීමට හේතුකාරක විය. මේ වන විට ගැටුම්වලින් තුන්සියයකට අධික පිරිසක් මියගොස් ඇති අතර, දහස් ගණනක් තුවාල ලබා ඇත. එය බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් බව ඇතැමුන්ගේ අදහසයි. 

  • පාකිස්තානයට චෝදනා 

ඉන්දියාව හැම විටම පාකිස්තානයට එල්ල කරන චෝදනාව වන්නේ මෙම මුස්ලිම් සටන්කාමීන්ට ආධාර සපයන බවයි. එය ඉතිහාසයේ සිටම පාකිස්තානයට එල්ල වූ චෝදනාවකි. විශේෂයෙන් පාකිස්තානයේ රැුකවරණය මොවුන්ට හිමිවන බව ඉන්දියාව විශ්වාස කරයි. එමනිසා මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ඉන්දියාව ප‍්‍රකාශ කළේ පාකිස්තානය ත‍්‍රස්තවාදයට උපකාර කරන ත‍්‍රස්තවාදී රටක් බවයි. එය ඇමරිකාව විසින් ද තහවුරු කළ අතර, ඇමරිකාව සහ ඉන්දියාව අතර මෑතක දී ඇති වූ ආරක්‍ෂක ගිවිසුම් හේතුවෙන් ඉන්දියාව නිර්භයව කටයුතු කරයි. කෙසේ වෙතත් ඉන්දියානු ප‍්‍රහාරවලින් මියගිය බුර්හාන් වනී නිදහස් විමුක්ති සටනේ නායකයෙකු බව පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී සෘජුව ප‍්‍රකාශ කළේය. 

  • කාශ්මීරය

කාශ්මීරය පිළිබඳ විමසන විට එය කොටස් තුනකට බෙදිය හැක. 
1ග කාශ්මීරය 
2ග ජම්මු ප‍්‍රදේශය 
3ග ලඩාක් ප‍්‍රදේශය 

කාශ්මීරයේ බහුතරයක් වාසය කරන්නේ මුස්ලිම්වරු වන අතර, හින්¥න් ද සුළු ප‍්‍රමාණයක් සිටී. මීට අමතරව ලඩාක් ප‍්‍රදේශයේ ටිබෙට්, මොංගෝලියන්, බෞද්ධ පසුබිමක් සහිත ජන කොටස් ද වාසය කරයි. එම නිසා මෙම ප‍්‍රදේශය බහුවාර්ගික ප‍්‍රදේශයක් ලෙස හඳුනාගත යුතුය. නමුත් සමස්තයක් ලෙස කාශ්මීරයේ බහුතරය මුස්ලිම්වරු වේ. එය ප‍්‍රතිශතයක් ලෙස ගත්කල්හි 90% මුස්ලිම්වරු ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත් මෙම ප‍්‍රදේශය ලංකාවට වඩා විශාල ප‍්‍රදේශයක් වන අතර, ඉන්දියාවට උතුරින් පිහිටා ඇත. මෙයට ආසන්නම ඉන්දියානු නගර වන්නේ අම්රිත්සාර් සහ ජලන්දාර්ය. පාකිස්තානයෙන් ආසන්න නගර වන්නේ ලාහෝර් සහ ඉස්ලාමාබාද්ය. මෙම තත්ත්වය තුළ කාශ්මීරය ඉන්දියාව සහ පාකිස්තානය වන රටවල් දෙකටම වැදගත්ය. කඳුකර ප‍්‍රදේශයක් වන මෙය වඩා වැදගත් වන්නේ ඉන්දියාවේ සහ පාකිස්තානයේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන්ය. 

  • කාශ්මීර ගැටලූවේ ඉතිහාසය 

ලොව පවතින ජාත්‍යන්තර අර්බුද අතර නොවිසඳුණු ගැටලූවක් ලෙස කාශ්මීර ගැටලූව හැඳින්විය හැක. මෙය එක් අතකින් යටත්විජිතවාදී පාලනය තුළින් ඉන්දියාවට සහ පාකිස්තානයට පමණක් නොව සමස්ත දකුණු ආසියාවටම උරුම කරදුන් ගැටලූවකි. ජම්මු කාශ්මීර් ප‍්‍රාන්ත ඉතිහාසය විමසන විට වර්ෂ 1876 දී ගුලාබ් සිං (Gulab Singh) නැමැති හින්දු මහරාජාවරයෙක්  එහි පාලකයා බවට පත් වී ඇත. කෙසේ නමුත් බි‍්‍රතාන්‍යයන් විසින් ඉන්දියාව අත්පත් කරගැනීමෙන් පසු බි‍්‍රතාන්‍යයන් සහ ගුලාබ් සිං අතර ඇති වූ අම්රිත්සාර් ගිවිසුම තුළින් රුපියල් ලක්‍ෂ 75ක් ගෙවා රංජිත් සිං නැමැති හින්දු ජාතිකයෙකුට පවරා දෙන ලදි. එතැනින් පසු නිදහස ලබන විට කාශ්මීරයේ මහරාජාවරයා බවට පත්වූයේ හරි සිං ය. ඉන්දියාව සහ පාකිස්තානය බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට කාශ්මීරයේ මහරාජාවරයා ස්වාධීනව සිටීමට තීරණය කළේය. මේ අනුව කාශ්මීරය ඉන්දියාවටවත් පාකිස්තානයටවත් අයත් නොවන ආකාරයට ස්වාධීනව නිදහස ලබාගති. එයට බලපෑ හේතුවක් වූයේ කාශ්මීරයේ බහුතරය මුස්ලිම් වීමයි. එම නිසා ඉන්දියාව සමඟ එකතු වීමට නොහැකි විය. එමෙන්ම හරි සිං නැමැති මහරාජාවරයා හින්දු ආගමිකයෙක් විය. එම නිසා පාකිස්තානය සමඟ එකතු වීමට නොහැකි විය. කෙසේ වෙතත් බලවත් රාජ්‍යයන් දෙකක් අතරමැද තවදුරටත් ස්වාධීනතාවය රැුකගැනීම පිළිබඳ ගැටලූවක් කාශ්මීරයට ඇතිවිය. එයට බලපෑ ප‍්‍රධානම හේතුව වූයේ පාකිස්තානය කාශ්මීරය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීමයි. එයට හේතුව එහි බහුතරය මුස්ලිම්වරු වීමයි. එසේ වුවත් ඉන්දියාවට උපක‍්‍රමික අතින් කාශ්මීරයේ පිහිටීම ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් වන හෙයින් කාශ්මීරය අත්පත් කර ගැනීමේ වුවමනාවක් පැවතුණි. එම පසුබිම තුළ පාකිස්තානයේ උපකාර ලැබූ මුස්ලිම් සටන්කාමීන් මොහොමඞ් අලිජින්නාගේ කාලයේදී ම කාශ්මීරයට ඇතුල් විය. එම අවස්ථාවේදී කාශ්මීර මහරාජාවරයා ඉන්දියාවේ සහාය පැතීය. ඉන්දියාව එය ප‍්‍රතික්ෂේප කළ අතර, පසුව ඉන්දියාව කාශ්මීරය අතර ඇති වූ ගිවිසුමකින් පසු ඉන්දියානු හමුදා පාකිස්තාන සටන්කාමීන් පළවාහැරීම සඳහා 1947 අගෝස්තු මාසයේ දී කාශ්මීරයට ඇතුල් විය. එම පසුබිම තුළ ඉන්දියාව සහ පාකිස්තානය අතර පළමු යුද්ධය ආරම්භ විය. 

කාශ්මීරය මුස්ලිම් මතවාද වර්ධනය 
කාශ්මීරය තුළ හින්දු මහරාජාවරුන්ගේ පාලනයට එරෙහිව අරගල ආරම්භ වූයේ 1920 වර්ෂයේ සිටය. එම බලපෑම එල්ල වූයේ අලිගාර් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඉහළ මධ්‍යම පාන්තික මුස්ලිම් තරුණයින්ගෙනි. රජයේ රැුකියා ලබාගැනීම මුල් කරගෙන ආරම්භ වූ මෙම ව්‍යාපාරයට නායකත්වය ලබාදුන්නේ ෂික් මොහොමඞ් අබ්දුල්ලා විසිනි. ඔහු විසින් සමස්ත ජම්මු කාශ්මීර් මුස්ලිම් සම්මේලනය (All Jammu and Kashmir Muslim Conference)  පිහිටවූ අතර, 1939 දී එය ජම්මු කාශ්මීර් ජාතික සම්මේලනය බවට (All Jammu and Kashmir National Congress) බවට පත් කළේය. මෙම මුස්ලිම් සංවිධාන විසින් කාශ්මීරයේ මහරාජාවරයාගේ පාලනයට එරෙහිව විවිධ කැරළි ඇතිකළ අතර, 1931 ඇතිකරන ලද කැරැුල්ල මර්ධනයට බි‍්‍රතාන්‍ය හමුදා පැමිණියේය. එම තත්ත්වය හින්දු මුස්ලිම් ගැටුම තවදුරටත් උග‍්‍ර කිරීමට හේතුකාරක වූ අතර, ඒ හරහා මුස්ලිම් අන්තවාදය තවදුරටත් ස්ථාපිත විය. කෙසේ වෙතත් ෂික් අබ්දුල්ලා විසින් දියත් කරනු ලැබූ කාශ්මීරයෙන් ඉවත්වව් යන බි‍්‍රතාන්‍ය විරෝධී ව්‍යාපාරයට ඉන්දියානු කොංග‍්‍රසයේ සහාය ලැබුණි. 

  • එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම 

වර්ෂ 1947 දී කාශ්මීරයට මුස්ලිම් සටන්කාමීන්ගේ ප‍්‍රහාර එල්ලවීම සමඟ ඇති වූ ඉන්දු පාකිස්තාන පළමු යුද්ධයෙන් පසු එයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය. මේ අනුව 1949.01.01 දින සිට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද යෝජනාවකට අනුව ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාමයක් ඇතිකරන ලදි. එම ආරක්‍ෂක මණ්ඩල යෝජනා පහත පරිදි වේ. 

1.ඉන්දියාව සහ පාකිස්තානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසම පිහිටුවීම 
2.කාශ්මීරයේ අයිතිය තීරණය කිරීම සඳහා අනාගතයේ දී ජනමත විමසුමක් පැවැත්වීම 
3.යුද්ධයේදී දෙරටේ හමුදාවන් විසින් අත්පත් කරගන්නා ලද සීමාවන් අනුව කාශ්මීරය කොටස් දෙකකට බෙදීම 

මේ අනුව කාශ්මීරයේ උතුරු කොටස පාකිස්තානයට පැවරුණු අතර, එය අසාර් කාශ්මීර් නමින් හඳුන්වන ලදි. දකුණු කොටස ඉන්දියාවට පැවරුනු අතර එය ජම්මු කාශ්මීර් නමින් හඳුන්වන ලදි. මේ අනුව කාශ්මීරයේ තුනෙන් එකක් පාකිස්තානයටත් තුනෙන් දෙකක් ඉන්දියාවටත් හිමිවිය. මීට අමතරව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙම සීමාවන්වල රැඳවීම සිදුකළේය. 

  • ඉන්දියාව ජනමත විමසුම මගහැරීම 

එක්සත් ජාතීන්ගේ ගිවිසුමට අනුව ජනමත විවිමසුමක් පැවැත්වීම සිදුකළ යුතුය. මෙය එක්තරා ආකාරකට සාර් ප‍්‍රදේශය ජර්මනියට පවරා දෙනවාද ප‍්‍රංශයට පවරා දෙනවාද යන්න සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විමසුමට සමානය. එහිදී සිදුවූයේ ජර්මනියට හෝ ප‍්‍රංශයට එකතු වනවාද නැද්ද යන්න තීරණයට කිරීමට සාර් ප‍්‍රදේශ වැසියන්ට තීරණය කිරීමට ඉඩ දීමයි. මේ අනුව 1935 පැවැත්වූ එය ජනමත විමසුමේ දී සාර් ප‍්‍රදේශ වැසියන් ජර්මනිය සමඟ එක්වීමට කැමති විය. එම ආදර්ශයට අනුව යමින් කාශ්මීර වැසියන්ට ද තීරණ ගැනීමේ අයිතිය ලබාදීමට යෝජනා වුව ද එහි බහුතරය මුස්ලිම්වරු නිසා ඉන්දියාව විසින් එය උපක‍්‍රමිකව මගහැරියේය. මේ අනුව පළමු යුද්ධය නිමාවීමෙන් අනතුරුවම ඉන්දියාව කාශ්මීරය තමන්ගේ ප‍්‍රාන්තයක් ලෙස ඇතුළත් කරගන්නා ලදි. මේ අනුව ප‍්‍රාන්ත ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ඔවුන්ට බලය ලබාදුන් අතර එම පසුබිම තුළෂික් මොහොමඞ් අබ්දුල්ලා සහ කාශ්මීර ජාතික සම්මේලනය අතර ඇතිවන ගිවිසුමකින් ඉන්දියාවේ ප‍්‍රාන්තයක් ලෙස 1952 දී කාශ්මීරය ප‍්‍රකාශයට පත් කළේය. මේ අනුව ෂික් මොහොමඞ් අබ්දුල්ලාගේ ජාතික සම්මේලනයත් ඉන්දියානු ජාතික කොංග‍්‍රසයේ ගාන්ධි නේරු වැනි නායකයින් අතර ඇතිව තිබූ සමීප සබඳතාවය පාකිස්තානයේ හීනය බොඳ කරවීමට සමත් විය. 

  • ඉන්දු පාකිස්තාන දෙවන යුද්ධය 

වර්ෂ 1965 දී ඉන්දියාව සහ පාකිස්තානය අතර යළිත් වතාවක් කාශ්මීරය මුල් කරගෙන යුද්ධයක් නිර්මාණය විය. මේ අනුව පාකිස්තාන කැරළිකරුවෝ එම වර්ෂයේ දී යළිත් ඉන්දියාවේ දේශසීමාවට කඩා වැදුණේය. මෙම ආක‍්‍රමණයට එරෙහිව ඉන්දියාව පාකිස්තානයේ පන්ජාබ් දේශසීමාවන්ට ප‍්‍රහාර එල්ල කළ අතර, 1965 දී යළිත් සටන් විරාමයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව ඇතිකරන ලදි. එම යුද්ධය තුළින් මියගිය දෙපාර්ශවයෙන්ම ප‍්‍රමාණය 7000කට අධික වූ අතර, විශාල සම්පත් ප‍්‍රමාණයක් විනාශ විය. මෙම දෙවන යුද්ධය නිමාවීමෙන් පසු සෝවියට් දේශය මෙම ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීම සඳහා මැදිහත් වූ අතර, ඒ සඳහා ඇතිකරගත් සම්මුතිය ටෂ්කන් (Tashkan) සම්මුතිය ලෙස හැඳින්වේ. නමුත් ඒ හරහා ස්ථීර විසඳුමක් ගෙන ඒමට නොහැකි වූ අතර සෝවියට් දේශය ද පසුව ප‍්‍රබලව එයට මැදිහත් නොවුණි. 

  • ඉන්දු පාකිස්තාන තෙවන යුද්ධය 

ඉංග‍්‍රීසීන් විසින් පාකිස්තානයට නිදහස ලබාදීමේ දී එය බටහිර පාකිස්තානය සහ නැගෙනහිර පාකිස්තානය ලෙස කොටස් දෙකක් යටතේ නිදහස ලබාදුනි. නැගෙනහිර පාකිස්තානය ලෙස හඳුන්වන්නේ වර්තමාන බංග්ලාදේශයයි. බටහිර පාකිස්තානය ලෙස හඳුන්වන්නේ වර්තමාන පාකිස්තානයයි. මෙම රාජ්‍ය නිර්මාණය සිදුකරනු ලැබුවේ ඉස්ලාම් ආගම මුල් කරගෙනය. මේ අනුව ඉස්ලාම්වරු වාසය කරන ලද ප‍්‍රදේශ පාකිස්තානය ලෙස හඳුන්වන ලදි. නමුත් එම රාජ්‍ය නිර්මාණය ඉතිහාසයේ සිදු වූ විශාල වරදකි. එමෙන්ම එය නිර්මාණය කළ ආකාරය දෙස බලන විට හාස්‍යයකි. එයට හේතුව නැගෙනහිර පාකිස්තානය සහ බටහිර පාකිස්තානය අතර භූමියෙන් කිසිදු සම්බන්ධයක් නොතිබීමයි. (දකුණු ආසියානු සිතියම බලන්න) බටහිර පාකිස්තානයේ භාෂාව උර්දු වූ අතර, නැගෙනහිර පාකිස්තානයේ භාෂාව බෙංගාලි විය. මෙම කොටස් දෙකම එකම ආගමෙන් සම්බන්ධ වුව ද එකිනෙකට වෙනස් තත්ත්වයන් දැකගත හැකිවිය. බටහිර පාකිස්තානයේ ජනතාව අරාබියට නෑකම් කී අතර නැගෙනහිර පාකිස්තානයේ ජනකොටස් ඉන්දියාවට නෑකම් කීවේය. එම නිසා 1970 පමණ වන විට භාෂාව මුල් කරගෙන ෂික් මුජිබර් රහමාන්ගේ නායකත්වයෙන් නැගෙනහිර පාකිස්තානය තුළින් වෙනම රාජ්‍යයක් බිහිවීමේ ව්‍යාපාරයක් ආරම්භ විය. එම ව්‍යාපාරය මර්ධනය කිරීමට නැගෙනහිර පාකිස්තානය වෙත හමුදාව යැවීමට බටහිර පාකිස්තානය කටයුතු කළේය. එම අවස්ථාවේදී පාකිස්තානය තුළ සිවිල් යුද්ධයක් ඇති වූ අතර, එම නිසා පාකිස්තානුවන් මිලියනයකට අධික ප‍්‍රමාණයක් සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණියේය. මෙම තත්ත්වය මුල් කරගෙන ඉන්දියාව ප‍්‍රකාශ කළේ කලාපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කිරීම ඉන්දියාවේ වගකීමක් බවයි. එම පසුබිම තුළ 1971 දී ඉන්දීය හමුදා පාකිස්තානයට එරෙහිව යුදවදින අතර, එයින් පාකිස්තානයට දරුණු පරාජයක් අත්විය. මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ බංග්ලාදේශය නමින් කලාපයේ තවත් රාජ්‍යයක් නිර්මාණය වීමයි. එමෙන්ම ඉන්දියාව විසින් බටහිර පාකිස්තානයේ භූමි ප‍්‍රදේශයෙන් වර්ග කිලෝමීටර් 3600 ක් අත්පත් කරගත් අතරම සිරකරුවන් 90000ක් රඳවා තබාගති. මෙම තත්ත්වයන් තුළ පාකිස්තානයේ අභිමානය බිඳවැටුණු අතර, පාකිස්තානය ඉන්දිරා ගාන්ධි සමඟ සාකච්ඡුා කර ඇතිකර ගත් සිම්ලා ගිවිසුම මගින් යුද සිරකරුවන් නිදහස් කරගති. මෙම සිම්ලා ගිවිසුම තුළින් සටන් විරාම සීමාවන් දෙරට විසින්ම ගරු කළ යුතු බවට පෙන්වා දුන් අතර, තම කැමැත්ත මත ඒවා වෙනස් නොකිරීමට වගබලා ගත යුතු බව පෙන්වා දුනි. මේ ආකාරයට ඇති වූ යුද්ධයෙන් පසු නැවතත් යුදමය වාතාවරණයක් වර්තමානය වන විට නිර්මාණය වී ඇත. 

ඉහත ආකාරයට ඇති වූ යුද්ධ තුනෙන් පසු කාශ්මීරය තුළ සාමකාමී තත්ත්වයක් ඉස්මතු වුව ද 1987 පැවැත්වූ මැතිවරණයෙන් එම තත්ත්වය බිඳවැටුණි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂයේ සහාය ලැබූ පාරුක් අබ්දුල්ලා ප‍්‍රාන්ත මැතිවරණය ජයග‍්‍රහණය කළ අතර, එහිදී මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය දක්නට ලැබුණි. මේ අනුව 1990 පමණ වන විට සන්නද්ධ කණ්ඩායම් විශාල ප‍්‍රමාණයක් කාශ්මීරය තුළ නිර්මාණය වන අතර, පාකිස්තානය ඔවුන්ට උදව් කරන බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා කළේය. එම කැරලි මර්ධනය කිරීමට ඉන්දියාව උත්සාහ දැරීම සමඟ තවදුරටත් ඒවා වර්ධනය වේ. 1999 වන විට මුස්ලිම් කැරලිකරුවන් සහ ගරිල්ලාවරුන් විශාල පිරිසක් ඉන්දීය කාශ්මීර දේශසීමාවේ කඳවුරු පිහිටුවාගෙන ඇත. මෙම මුස්ලිම් කණ්ඩායම් දිගින් දිගටම කාශ්මීරයේ ඉන්දීය සීමාව තුළ ගැටුම් ඇතිකර ගන්නා අතර, එය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක්ව ඇත. එය එක් අතකින් ඉන්දියාව සතු ආර්ථික ශක්තිය හීන කරවීමට ද හේතු වී ඇත. එම තත්ත්වය ඉන්දියාවට පමණක් නොව එක් අතකින් පාකිස්තානයට ද බලපෑ ඇත. කෙසේ වෙතත් මෙම කැරලිකාර කණ්ඩායම් පාකිස්තානයේ උදව් ලබන බවට තහවුරු වී ඇති අතර ඔවුන්ට පැමිණෙන්නේ ද එම දේශසීමාව හරහාය. 

  • න්‍යශ්ටික බලය 

දකුණු ආසියානු කලාපය ලොව රටවල් සලකන්නේ දුප්පතුන්ගේ පාරාදීසයක් ලෙසයි. එක් අතකින් දකුණු ආසියානු රටවල් විසින් නිර්මාණය කරගෙන ඇති සාක් සංවිධානය ලෙස හඳුන්වන්නේ දුප්පතුන්ගේ සමාජ ශාලාව ලෙසිනි. මෙය දෙවෙනි වන්නේ අප‍්‍රිකාවේ උප සහාරා අප‍්‍රිකානු කලාපයට පමණි. කෙසේ වුව ද විසිවන සියවස ආරම්භ වන විට මෙම කලාපය ජාත්‍යන්තර අවධානයට ලක්වේ. එයට හේතුව ලොව ධනවත් රටවල් විසින් අත්පත් කරගන්නා ලද න්‍යෂ්ටික බලය දුප්පත් රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්තානය අත්පත් කරගැනීමයි. එය එක් අතකින් කලාපීය ආරක්‍ෂාවටත් ගෝලීය ආරක්‍ෂාවටත් තර්ජනයකි. පාකිස්තානයට සහ ඉන්දියාවට න්‍යෂ්ටික බලය අවශ්‍යව ඇත්තේ එකිනෙකාගෙන් ආරක්‍ෂා වීමටය. ඔවුන්ට කලාපයේ වෙනත් රටවල්වලින් කිසිදු තර්ජනයක් නැත. පසුගිය කාලය තුළ තහවුරු වූයේ ඉන්දියාවටත් වඩා න්‍යෂ්ටික බලය අතින් පාකිස්තානය ඉදිරියෙන් සිටින බවයි. මේ අනුව ඉන්දියාව ගුවනින්, ගොඩබිමින් සහ මුහුදෙන් න්‍යෂ්ටික ප‍්‍රහාර එල්ල කිරීමේ ශක්තියෙන් යුක්ත වන අතර, පාකිස්තානය ද ප‍්‍රකාශ කරන්නේ ඉන්දියාව තම රටට ඇතුල් වුවහොත් ආරක්‍ෂාව සඳහා න්‍යෂ්ටික බලය භාවිතා කරන බවයි. 

  • සාක් සංවිධානයේ ඉරණම 

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය හෙවත් සාක් සංවිධානය බිහිවූයේ 1985 දී ය. ඒ බංග්ලාදේශයේ මූලිකත්වයෙනි. මෙම සංවිධානය ආරම්භයේදී ම ඉන්දියාව සහ පාකිස්තානය එයට එතරම් කැමැත්තක් නොදැක්වීය. නමුත් සාක් සංවිධානය නිර්මාණය වූ අතර, එහි 19 වන සමුළුව පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයේ ය. පාකිස්තානය විසින් සිදුකරන ත‍්‍රස්තවාදීන්ට උදව් කිරීම හේතු කොටගෙන ඉන්දියාව මෙය වර්ජනය කරන බව ප‍්‍රකාශ කරයි. එපමණක් නොව ඉන්දියානු දේශපාලන විද්වතුන් සහ රාජ්‍ය පාලන බුද්ධිමතුන් ප‍්‍රකාශ කරන්නේ ඉන්දියාව සාක් සංවිධානයෙන් ඉවත්ව වෙනම කලාපීය සංවිධානයක් නිර්මාණය කළ යුතු බවයි. ඉන්දියාවේ මෙම තීරණයෙන් පසු බංග්ලාදේශය ද පාකිස්තානයේ පැවැත්වෙන සාක් සමුළුව වර්ජනය කිරීමට තීරණය කර ඇත. එමෙන්ම භූතානය ද සාක් වර්ජනයට සූදානම් වන අතර, මෙම තත්ත්වය සාක් සංවිධානයේ අනාගත ඉරණම ද තීරණය කිරීමට හේතු වේ. 


හේමප‍්‍රිය කවිරත්න

Share on Google Plus

0 comments:

Post a Comment