"ජනාධිපති පාගා ගත් අශූචි ඩිලාන් හත්පොලේ තවරයි"


ජනාධිපතිවරයා පසුගිය දිනවල කළ ප්‍රකාශය නිසාවෙන් මේ වන විට රටේ දේශපාලනය තුල කැළඹීමක් හටගෙන ඇති බව නොරහසකි. තමන්ගේ ආණ්ඩුව තුල ඇති, නැතිනම් පාලන තන්ත්‍රය තුල ඇති වැරදි නිවැරදිකිරීම වෙනුවට එය තවත් වැරැද්දක් බවට පත්කර ගැනීම ජනාධිපතිවරයාගේ කියමනෙන් සිදුවී ඇත.

‘ෆවුසිට නඩු දානවා නම් මුළු ඇමති මණ්ඩලයටම නඩු දැමිය යුතුයි’ පැවසීම තුලින් ජනාධිපතිවරයා පෙන්නුම් කරන්නේ මේ ලොකු ලොකු මිනිසුන් කරන පොඩි වැරදි ගණන් ගත යුතු නැති බව නොවේද? හැබෑව නම් සිදුවිය යුත්තේ ෆවුසි කළ වැරැද්ද මෙන් වැරදි අනිකුත් ඇමතිවරුන්ද සිදුකර ඇත්නම් ඔවුන් සියළු දෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නොවන්නේද? නමුත් ජනාධිපතිවරයාගේ කියමනෙන් ඔහු වැරදි කරුවන් ආරක්ෂා කරන තත්වයකට පත්වේ.

මෙවැනි වැරදි වලදී සාමාන්‍යන් සිදුවි යුත්තේ ජනාධිපතිවරයා හෝ එම දේශපාලඥයින් තමා කළ වැරැද්ද පිළිබඳව ජනතාවගෙන් සමාව ගැනීමයි. නමුත් වැරදිවලට සමාව ගන්නවා තබා එවැනි වැරදි නිවැරදි කර ගැනීමේ දේශපාලන සංස්කෘතියක්වත් අප රටට හිමිව නොමැත. දේශපාලන බලයට එන සෑම අයෙකුම අවසානයේ නතර වන්නේ තම හිස් උදුම්ගත් උඩඟු අහංකාරයක් තුල උම්මත්තක වෙමිනි. අද වන විට එය කොතරම් උඩගු තක්කඩි තත්වයකට ගොස් තිබේද යන්න මේ වන විට හත්පොලේ නොව දාහතර පොලකම තවරමින් කට මැත දොඩවන ඇමතිවරයෙකු වන ඩිලාන් පෙරේරා ඔප්පු කරමින් පවතී.

ඩිලාන් පෙරේරා අයත් වන්නේ මහින්ද කල්ලියේ ජඩ දේශාලන සංස්කෘතියටයි. ඔහු බැණ අඩ ගසන්නේ මහින්ද කල්ලියේ මැර දේශපාලනයට හුරු ආකාරයටයි. එදා මහින්දගේ සුවච කීකරු ගෝලයකුව සිටි ඩිලාන්අද කරමින් සිටින්නේ එදා මහින්දගේ ඇම්බැට්ටයෙකු වූ මර්වින් සිල්වා කළ කාර්යයි. එදා මර්වින් සිල්වා සිවිල් සමාජ ක්‍රියාධරයන්ට, වෘත්තීය සමිති නායකයන්ට, ජනමාධ්‍ය වේදීන්ට බැන අඬ ගැසුවේ ඩිලාන් කරන මේ අයුරින්මය. ඔවුන් භාෂාව හසුරුවන්නේ ඇමතිවරුන් ලෙස නොව හන්දිවල කසිප්පු බී රස්තියාදු ගසන ගණන්කාරයින් ලෙසියි. (රටේ කරුමයට ඔවුන් එදා මෙන්ම අදත් (යහපාලනය තුලත්) ඇමතිවරුය. මොවුන් සමග යහපාලනයක් ඇති කළ හැකිනම් ඉබ්බන්ගෙන් පිහාටු ගත හැක.

මේ ඩිලාන්ලා දන්න යහපාලනයක් නැත. මොවුන් ආත්මගරුත්වයක් ඇති මිනිසුන්ද නොවේ. එසේ ආත්ම ගරුත්වයක් ඇති මිනිසෙක් නම් තමන්ගේ මිතුරා වූ නාලන්ද එල්ලාවල මරා දැමූ මිනීමරුවන් සමග එක ඇමති මණ්ඩලයේ ලගින්නේ නැත. නමුත් තම වාසියට ඕනෑම ජඩ වැඩක් කරන මෙවැනි දේශපාලඥයන් ආත්ම ගරුත්වයක් නැති මිනිසුන්ය.



එදා ජනවාරි 08 වෙනිදා සිවිල් සමාජය මුල්වී විවිධ දේශපාලන පුද්ගලයන් හා පක්ෂ මුල්කරගෙන පොදු අපේක්ෂකයෙක් ලෙස මෛත්‍රීපාල සිරිසේ පත්කර ගනු ලැබුවේ මහින්දලාගේ මැර, තුප්පහි දේශපාලන සංස්කෘතිය නැති කිරීමට මිස මහින්දලා වෙනුවට වෙනත් ඔලුගෙඩි එතැනට ගෙන ඒමට නොවේ. නමුත් මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අද ඔහුගේ අනුගාමිකයන් (එදා ඔවුන් මෛත්‍රීගේ සතුරන්ය) තමනට මහින්දලාගේ දේශපාලන සංස්කෘතියෙන් තොර වෙනත් දැක්මක් නොමැති බව පෙන්වමින් පවතී. කාලයක් තිස්සේ ඔවුනට හුරුව තිබූ ඒ දේශපාලන සංස්කෘතිය වෙත නැවත ඔවුන් නැඹුරුවෙමින් පවතී.

ඩිලාන් පෙරේරා සරම ඔසවාගෙන කෑ ගසන්නේ ‘හාල්පාරුවො, මහාචාරියා සාධාරණ සමාජයක් අටෝගෙන. කණ පැලෙන්න ගහන්න ඕනි. උන් කවුද? කොහෝ හිටිය එවුන්ද?’ කියායි. මේ ඩිලාන් කියන ‘හරකා’ (ඔහුගෙන් ගත් වදනකි) නොදන්නවා වුනාට එදා මහින්දලාගේ මැර දේශපාලනයට එරෙහිව අද ජනාධිපති එදා ඩිලාන්ලාට ‘අයියෝ සිරිසේන’ සමග එකට වේදිකාවේ මරණයට බිය නොවී හිටි අය බව මොහු නොදන්නේ එදා ඔහු හිටියේ සිරිසේනගේ පවුලම අඩි 6 ක් පොලොව යටට යැවීමට බලා සිටි රාජපක්ෂ මැර දේශපාලන කණ්ඩායමේ බැවිනි. මේ ඩිලාන් නැමැති ‘හාල්පාරුවා’ අද ඇමතිකමක් ගෙන සිටින්නේ එදා වල පල්ලට යැවීමට සිටි සිරිසේන යටතේය. නමුත් එදා මෙන්ම අදත් සිවිල් සමාජයේ ක්‍රියාත්මක වූ මිනිසුන් පෙනී සිටියේ බලය සඳහා නොව යහපාලන දේශපාලන සංස්කෘතියක් මේ රට තුල ඇතිකර ගැනීමේ අභිලාශයෙනි. එනිසා එදා රාජපක්ෂ කල්ලියේ මැර දේශපාලනයට බිය නොවුන මේ සිවිල් සමාජ ක්‍රියාධරයන් අද ඩිලාන්ලා වැනි පුහු වීරයින්ට බිය නොවෙති. ඒ ඔවුන් පෙනීසිටින්නේ රටක් තුල නීතියේ ආධිපත්‍ය ඇති නීතිය මත පාලයක් ඇති කර ගැනීම සඳහා බැවිනි.

පොලිසීයේ හමුදාවේ හෝ දේශපාලනයේ ඉහල නිල දැරූ පමනින් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළ නොහැක. මැති ඇමතිවරු හොරකම් කර ඇත්නම් මිනීමරා ඇත්නම් ඔවුන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. ඔවුන් වැරදිකරුවන් වන්නේ නම් ඔවුන්ගේ නිලතල උසස් පහත් භේදයක් නොතකා ඔවුනට නීතියෙන් දඬුවම් ලබා දිය යුතුයි.

යුද්ධ කලාය කියා රණවිරුවන්ය, කියා හමුදා නිලධරයනට හෝ සෙබළුනට නීතියට එපිටින් වැඩ කිරීමට අයිතියක් නොමැත. එසේ වැරදි කර ඇති හමුදා නිලධාරීන්ටද නීතිය ඉදිරියේ ඇත්තේ අනෙකුත් පුරවැසියනට හිමි අයිතීන් පවනි. අද මේ මහා පොර ටෝක් දෙන ඩිලාන්ලා එදා ඔවුන්ගේ යුධවිරුවා වූ ෆොන්සේකාව මහින්දලා කුදලාගෙන ගොස් නීතියට එපිටින් දඩුවම් දෙන විට කටත් අනෙක් පැත්තත් වසාගෙන සිටි බව ඔහුට අද අමතකව ඇත්තාක් මෙනි. නමුත් එදා සිවිල් සමාජ ක්‍රියාධරයන් වූ සරත් විජේසූරියලා සමන් රත්නප්‍රියලා එම නීතිවිරෝධී ක්‍රියාවට එරෙහි වූ බව මේ පුහු වීරයාට අමතකවී ගොස් ඇති හැඩයි. එදා සමන්ලා විජේසූරියලා සමග මෛත්‍රී සහ රනිල් එක වේදිකාවේ සිටි කාලයේ ඩිලාන් හිටියේ මහින්දලාගේ ඔඩොක්කු කුක්කෙකු ලෙසිනි. නමුත් අද තම වාසිය තකා තම පැත්ත මාරු කර ඇති ඩිලාන් මිතුරු වේශයෙන් වුවද හැසිරෙන්නේ මහින්දලාගේ උමනාවක් ඉටු කිරීමට බව ඔහුගේ මේ හැසිරීම්වලින් පැහැදිලි කරයි. ඔහුගේ සැගවුණු උවමනාව නැවත රාජපක්ෂ මැර දේශපාලනය ජයග්‍රහණය කරවීම බව අපට නම් පැහැදිලිය. මෛත්‍රී ජනාධිපතිවරයාට වසර 45 ක දේශපාලන අත්දැකීම් තිබුනාවුවත් එය ඔහුට වැටහී ඇති බවක් නම් පෙන්නුම් නොකරයි.

අවසාන වශයෙනුත් කීමට ඇත්තේ මහින්දලාගේ මැර දේශපාලනයට තිත තැබීමේ මූලික ආරම්භක ක්‍රියාකාරකම් කරනු ලැබුවේ මේ සිවිල් සමාජය බවයි. ඔවුන් කාලයක් තිස්සේ කරනු ලැබූ ක්‍රියාවන් දාමයක අවසාන පතිඵලය වශයෙන් එයට එක්වන එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර) මෛත්‍රී සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස එක්කර ගෙන ඔහුව ජනාධිපති ලෙස පත්කර ගනු ලැබුවේ එදා තිබූ ඒ මැර දේශපාලන සංස්කෘතිය අවසාන කිරීමට මිස ඩිලාන්ලා ලව්වා එම තුප්පහි දේශපාලන සංස්කෘතිය දිගින් දිගට පත්වාගෙන යාමට නොවන බව මතක් කිරීමට කැමැත්තෙමි.

-රංජිත් හේනායකආරච්චි

Share on Google Plus

0 comments:

Post a Comment