'අධ්‍යාපනයෙන් සෑහිමකට පත් වීමට බැහැ' - දුමින්ද.


අධ්‍යාපනය ක්ෂේත්‍රන් සතුටු වීමට හැකි වූවත් කිසි දිනක අධ්‍යාපනයෙන් සෑහිමකට පත් වීමට නොහැකියි, අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් හැකි තරම් ඉහළට යන්නට අපි කටයුතු කළ යුතුයි.යම් පසුබෑමක් සිදු වූවොත් ඒ පසුබෑම අනාගතයේ ජයග්‍රහණයක් බවට පත් කර ගත යුතුයි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා (22) පස්වරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍යාභිමානී 2015 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්ය. අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය කීර්තිමත් ආදී ශිෂ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ අංශ ප්‍රධානී මහාචාර්ය රංජිත් දිසානායක මැතිතුමා ඇතුළු ආරාධිතයින් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම ත්‍යාග ප්‍රධාන උත්සවය අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී 2015 වර්ෂයේ පන්ති හා ශ්‍රේණි මට්ටමින් අවසන් වාර විභාගයෙහි ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබා ගනිමින් විශේෂ කුසලතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීම , සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසු සිසුවියන් ඇගයීම හා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට මුහුණ දුන් සිසු සිසුවියන්ට ගුරු හරුකම් ලබා දෙමින් ඒ සාමාර්ථ 75% ක ප්‍රථිශතයට වැඩි ප්‍රමාණයක් ලබා දීමට කැප වූ ගුරුභවතුන් ඇගයීමත් මෙහිදී සිදු කෙරිණි.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා අංශයට අත්‍යවශ්‍යය අංගයන් වූ පිහිණුම් තටාකයක්, කුඩා පාපන්දු ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හරහා ප්‍රථිපාදන වෙන් කිරීමට අවශ්‍යය සහය ලබා දෙන බවද, අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ආදී ශිෂ්‍යකු හැටියට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ලබා දිය හැකි උපරිම සහය තමන් ලබා දෙන බවද අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා,

පාසල් සිසු සිසුවියන්ට පාසල් ජීවිතයේදී ලැබිය හැකි ලොකුම ගෞරවය තමන්ගේ දෙමාපියන් ඉදිරියේ, තමන්ගේ විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ඉදිරියේ, ආරාධිතයෝ ඉදිරියේ විද්‍යාලයේ වේදිකාව උඩට ඇවිත් ඇගයීමකට ලක් වීමයි.සෑම දරුවෙකුම තමන්ගේ පාසල් කාළයේදී තම යහළුවන් , දෙමාපියන් , ගුරුභවතුන් ඉදිරියේ ඇගයීමකට ලක් වන්න උත්සහ කරන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍යය සේවයේ ඉහළ තනතුරු දරන අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය කීර්තිමත් ආදි සිසු සිසුවියන් , ආදී ශිෂ්‍ය සංගමයේ නිළධාරීන්, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති එච්.එම් අබේකෝන් මහතා ඇතුළු ගුරුභවතුන් , සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

0 comments:

Post a Comment