‘ඒකාබද්ධය’ කැමැතියි බැසිල් අකැමැතියි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායකයන් වෙත යොමු කර තිබෙන පක්ෂය නැවත ඒකරාශී කිරීම සඳහා වන යෝජනා සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සහ බැසිල් රාජපක්ෂ මහතා අතර දේශපාලන ගැටුමක් දක්වා වර්ධනය වී ඇතැයි වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම මහතා ඇතුළු කණ්ඩායමේ අදහස වී තිබෙන්නේ ජනාධිපතිවරයා ශ්‍රීලනිප ආණ්ඩුවක් වෙනුවෙන් කතා කිරීමත් ශ්‍රීලනිපයේ සමඟිය වෙනුවෙන් කතා කිරීමත් සුබවාදී තත්ත්වයක් බැවින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට ගොස් නැවත පක්ෂය ශක්තිමත් කිරීම විය යුතු බවය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාව විශ්වාස කළ නොහැකි බවත්ය.  එම නිසා කවර තත්ත්වයක් යටතේ හෝ නව පක්ෂය ගොඩනැගීමේ කටයුතු අත්නොහරින බවත් ජනාධිපතිවරයා විසින් උපක්‍රමිකව සිදු කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම දෙකඩ කිරීම සහ රාජපක්ෂ පවුල තුළ භේදභින්න ඇති කිරීම බවත් ඔහු පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ රහස් සාකච්ඡා පැවැත්වීම, ශ්‍රීලනිපයේ ඉහළ තනතුරක් සඳහා චමල් රාජපක්ෂ මහතාව යෝජනා කිරීම රාජපක්ෂ පවුල තුළ භේද ඇති කිරීම සඳහා කරන උපක්‍රම බවට ද ඔහු චෝදනා කර ඇත. කෙසේ නමුත් මේ වන විට චමල් රාජපක්ෂ මහතාට ශ්‍රීලනිපය තුළ තනතුරක් යෝජනා කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාගේ විරෝධය එල්ල වී ඇත. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනික වශයෙන් ඉදිරියට ගැනීමට දරන උත්සාහයට ද ඔහු එරෙහිව ඇති අතර ඔහු යෝජනා කර ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය සහතික කෙරෙන යෝජනාවක් අවශ්‍ය බවය.  

එසේම එම අවශ්‍යතාව සැපිරීමෙන් පසුව ඔහු  සක්‍රිය දේශපාලනයෙන් ඈත් වී සිටීමට ද කැමැත්ත පළ කර තිබේ. ඒ වෙනුවෙන් රජයේ යම් තනතුරක් ප්‍රදානය කිරීමට මෛත්‍රී පාර්ශ්වයේ එකඟතාව ද පළ වී ඇතැයි දැනගන්නට තිබේ. එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට පක්ෂය තුළ ඉහළ තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ එකඟතාව ලැබී ඇති බවත් මෙම සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන ලෙස මහින්ද අමරවීර මහතාට ඔහු උපදෙස් ලබා දී ඇති බවත් දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අමරවීර මහතා පවසා සිටියේ ඒකාබද්ධ විපක්ෂයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීම සත්‍යය බවත් මේ වන විටත් සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත්ය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් බැඳුම්කර සම්බන්ධ ප්‍රශ්නයේ දී  මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට කිසිදු අදහසක් පළ නොකරන ලෙස  කළ දැනුම් දීම නිසා බරපතළ කලකිරීමෙන් සිටින බව දැනගැනීමට තිබේ. වැට් බද්ද හා බැඳුම්කර සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අදහස් ප්‍රකශ කිරීම සඳහා සැලසුම් කළ මාධ්‍ය හමුව පැවැත්වීමට ආසන්නයේ දී මෙලෙස දැනුම් දීම නිසා ඔවුන් බරපතළ ගැටලුවකට මුහුණ දී තිබිණි.

රාජපක්ෂ මහතාගේ මෙම ස්ථාවරය නිසා ඔහුට හිතවත්ව සිටි කොටස් ඉවත්ව යෑමට සූදානම් වීම මත පසුගිය බ්‍රහස්පතින්දා ගාල්ලේ පැවැති රැස්වීමක දී බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරමින් මහින්ද රාජපක්ෂ මුල්වරට අදහස් දක්වා තිබිණි. එහි දී හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑණාගේ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා සමීප මිතුරන් බව ප්‍රකට කරුණකි. ඇතැම් මහා පරිමාණ ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකුටම උපදෙස් දී තිබුණේ ද ඔහු බවට එවකට රාවයක් පැවැතිණි. මේ මිත්‍රත්වය නිසා රාජපක්ෂවරු බැඳුම්කර සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකුණු බවට ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා මෛත්‍රී පාර්ශ්වය සමඟ  එකඟතාවන්ට එරෙහි වීමේ ප්‍රධාන හේතුව ඔහුට රාජපක්ෂ පවුල තුළ දේශපාලනිකව ගොඩනැගීම සඳහා අවස්ථාව අහිමි වීමේ අවදානමක් පැවතීම බව ඒකාබද්ධ විපක්ෂ තොරතුරු මාර්ග පෙන්වා දෙයි. පසුගිය ආණ්ඩු සමයේ දී බැසිල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් බෙලිඅත්ත ශ්‍රීලනිප සංවිධායක ධුරය ඉල්ලා සිටිය ද එය ඔහුට ලබා නොදී නිරූපමා රාජපක්ෂ මහත්මියට ලබා දුන්නේය. පසුව ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව ලබා දුන්න ද එවකට ගම්පහ නියෝජනය කළ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, කරු ජයසූරිය, අතුරලියේ රතන හිමි ඔහුට දේශපාලන අභියෝගයක් වනු ඇතැයි කියමින් ඒ බාර ගැනීම ද මුල් අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් පසුව එම අභියෝගජය ගැනීමට ඔහුට හැකි විය. තමන්ගේ පාලනය යටතේ වන වෙනම පක්ෂයක් ගොඩනගා ගැනීම මඟින් රාජපක්ෂ පවුලෙන් එන බාධක ජය ගැනීමට හැකි වීම බැසිල් රාජපක්ෂ මහතාට වඩා වාසිදායක වීම මත ඔහු මෙම නව පක්ෂය ගොඩනගා ගැනීම සඳහා දැඩි උනන්දුවක් දක්වන නමුත් ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්ත නොමැති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර නාමල් රාජපක්ෂ මහතා ද සිය තරුණ සංවිධානය ලෙස පවත්වාගෙන ගිය නිල් බළකාය, වෙනත් නාමයකින් ගොඩනැංවීම සඳහා පසුගිය දා තලවතුගොඩ මොනාර්ක් උත්සව ශාලාවේ දී මූලික සාකච්ඡාවක් පවත්වා තිබිණි.

- සුභාෂ් ජයවර්ධන

Share on Google Plus

0 comments:

Post a Comment