ශිරාල් හා බෝපගේ ඉවත්කරන්නැයි ජනපතිට බලපෑම්?


ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ යන මහත්වරුන් එම තනතුරු වලින් ඉවත්කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එජාප හා ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් පෙරේදා හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බේදයක් ඇති කිරීමට එම නිලධාරීන් දෙදෙනා කටයුතු කරන බව පවසා ඇති එජාප ඇමතිවරුන්, යහපාලන ආණ්ඩුවේ පැවැත්මට ඔවුන් දෙදෙනා ගෙන් බාධාවක් වී ඇති අවධාරණය කර තිබේ.

යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත්කරන්නැයි ද ඔවුන් ඉල්ලා ඇත.

කෙසේවුවද, ජනාධිපතිවරයාට ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

රාජපක්ෂ පාලන සමයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එල්ලවූ අභ්‍යන්තර විරෝධයේදී එජාප නායකයා වෙනුවෙන් පෙනී සිටි ශ්‍රිරාල් ලක්තිලක මහතා, පසුකාලයේදී සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට ගෙන ඒමේ සටනට දායකව සිටියේය.

කලක් එජාප කෝට්ටේ සංවිධායකවරයා ලෙස සිටි ලක්තිලක මහතා, බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බ්නධිකරණ නිලධාරියකු හා ආයතන කිහිපයකම ප්‍රධානියකු ලෙස කටයුතු කල නිමල් බෝපගේ මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට ඉදිරිපත්වූ අවස්ථාවේදී ඔහුට සහයදීමට ඉදිරිපත්වූ අයෙකි.

(හර්ෂ ගුරුගේ |SLM)

Share on Google Plus

0 comments:

Post a Comment