මතභේදාත්මක බැඳුම්කර දෙකක් අවලංගු කිරීමට යයි.


ආණ්ඩුව සහ එක්සත් ජාතික පක්ෂය විසින් මහ ඉහළින් කතා කළ බැඳුම්කර දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට අනුව, ජනාධිපතිවරයා විසින් අවලංගු කිරීමට ඉඩ තිබේ.


මෙකී මතභේදාත්මක බැඳුම්කර මිලදීගෙන තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල විසිනි. සේවක අර්ථසාධක අරමුදල ද පවතින්නේ මහබැංකුව යටතේ නිසා මෙය සිදුවිය හැකි දෙයකි. නිවාඞ් කබ්රාල් මෙන්ම මහේන්ද්‍රන් ද පැහැදිලිවම සේවක අර්ථ සාධක අරමුදල යොදවා තමන්ට අවශ්‍ය දේවල් සිදුකර තිබේ.


මේ අතරින් අර්ජුන් ඇලෝසියස් 2015/2016 වර්ෂවල රුපියල් බිලියන 5 ක අති දැවැන්ත ලාභයක් ලබාතිබෙන අතර 2016/2017 කාලසීමාව සඳහා තවත් රුපියල් බිලියන 10 ක ලාභයක් ලැබීමට නියමිත බව දැනගන්නට තිබේ. සේවක අර්ථ සාධක අරමුදලේ තිබෙන්නේ දුප්පත් සේවකයන්ගේ සල්ලි සහ සෙසු රාජ්‍ය  ප්‍රතිපාදන ය.


මේ මතභේදාත්මක බැඳුම්කර දෙක අවලංගු කර අඩු වටිනාකමකට නැවත නිකුත් කළහොත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එක රැයෙන් බංකොළාත් වීමට ඉඩ ඇති බව ද විශේෂඥයෝ කියති.


විශේෂයෙන්ම විපක්ෂය කියන අන්දමට, මූල්‍ය අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් හට ඔවුන්ට මුදල් ගෙවීමට සිදුවුවහොත් මෙය මෙසේ සිදුවනු ඇත. ඔවුන්ට අනුව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් මේ අනුව ගෙවීමට නියමිත අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට ලංකාවේ පුද්ගලික බැංකුවකින් ලබාගත් රුපියල් බිලියනයකට අධික ණයක් පියවීමට තිබේ.


මෙකී බැඳුම්කර ගනුදෙනුවලින් වාසි ලැබූ සියලුම දෙනා ඒ මුදල් නැවත ආණ්ඩුවට ගෙවිය යුතු බවට පොදු මතයක් මහජනයා අතර ඇතිවෙමින් තිබේ. එපමණක් නොව රාජ්‍ය ප්‍රතිපාදනවලින් භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් ද්විතියික වෙළඳපොළේදී මිලදී ගන්නේ මන්ද කියා ද මහජනයා ප්‍රශ්න කරති.


මේ අනුව මේ තත්වය වහාම නතර කළ යුතුව තිබේ. තවද බිල්පත් සහ බැඳුම්කර අලෙවිකිරීමේ නියුතු මහබැංකු කාර්යමණ්ඩලයේ සියලු දෙනා සහ ඔවුන්ගේ වත්කම් වහාම පරීක්ෂා කළ යුතුව තිබේ. තවද කිසිදු ඇපකරයක් නොමැතිව පර්පෙචුවල් සමාගමට රුපියල් බිලියන දහයක ණය සීමාවක් ලබාදුන් ලංකා බැංකුවේ නිලධාරීන්ව ද පූර්ණ විමර්ශනයට ලක් කර ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කළ යුතුය.


ජනාධිපති සහ අගමැතිවරයා විසින් ලබාදී තිබෙන ප්‍රතිඥාවකට අනුව, විශේෂයෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සඳහා සම්බන්ධ වූ පසුගිය පස් වසර තුළ සිදුවී තිබෙන සේවක අර්ථ සාධක අරමුදලේ කොටස් හුවමාරු ගනුදෙනු විමර්ශනයට ලක් කළ යුතුව තිබුණ ද ඒවා කිසිවිටෙක මේ දක්වා පරීක්ෂාවට ලක් වී නැත.


එපමණක් නොව, රාජපක්ෂගේ ඩුබායි ගිණුම් සිදු වූ බව කියන ප්‍රමුඛ බැංකුසේවා ඒකකයේ ලොක්කා වූයේ ද අර්ජුන මහේන්ද්‍රන් ය. මේ වන විට චෝදනා එල්ල වන්නේ රාජපක්ෂලාව ඩුබායි හි NDB බැංකුව වෙත සිය මාමා වන අර්ජුන් මහේන්ද්‍රන් හරහා හඳුන්වා දී තිබෙන්නේ අර්ජුන් ඇලෝසියස් විසින් බව ය. එසේම බැංකුවෙන් මුදල් ඉවත් කර ගැනීම සඳහා ඔවුන්ට කාලය ලබාදීමට බිස්නස් කරන දේශපාලකයෙකු සමග කළ තවත් ගනුදෙනුවක් සම්බන්ධ විමර්ශන කටයුතු නවතා තිබෙන බවට ද චෝදනා එල්ල  වේ.


ආණ්ඩුව ජනතාව විසින් කරන පොඩි පොඩි අපරාධ විමර්ශනය කරමින් සිටින අතරතුර මහේන්ද්‍රන් සහ ඇලෝසියස් වැනි අය ගැන කිසිදු විමර්ශනයක් නොකිරීමත් ඔවුන් සුපිරි ජීවිත ගතකරමින් සිටිනා ආකාරයත් දැකීම පිළිකුල් සහගත ය. අජූත ය.  


පරිවර්තනය: ක්‍රිෂාන්ති රාජපක්ෂ

Share on Google Plus

0 comments:

Post a Comment