යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උභය - නියෝජ්‍ය චන්න.


මාස කිහිපයක් පුරප්පාඩුව පැවති යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් උභය මැදිවෙල මහතාත්, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි තනතුරට මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතාත් පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරයා විසින් එම පත්වීම් සිදුකර ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

යුද හමුදාවේ 47 වන මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩුව තිබු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් උභය මැදිවෙල මහතා පත්කර ඇත්තේ, ඔහුගේ සේවා ජ්‍යෙෂ්ඨත්වය අනුවය.

යුධ හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කලක් කටයුතු කල මැදවල මහතා, පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී බොදු බල සේනා ආදී ආගම්වාදී සංවිධාන විසින් අලූත්ගම දී ඇති කළ ආගමික කලකෝලාහලය මර්දනය කර ප්‍රදේශයේ සාමය ඇති කිරීම සඳහා කැපවූවෙකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයකු ලෙස කටයුතු කරන මේජර් ජනරාල් උභය මැදවෙල මහතා මේදිනවල දිවයිනට පැමිණ සිටියි.

මේ අතර, යුධ හමුදාවේ නියෝජ්‍ය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කල මේජර් ජනරාල් සුමේධ පෙරේරා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වී තිබු එම තනතුරට ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත්කර ඇත.

උභය මැදවෙල, චන්න ගුණතිලක, බොනිෆස් පෙරේරා, උපුල් විතානගේ, සුදන්ත රණසිංහ, මහේෂ් සේනායක යන මේජර් ජනරාල්වරුන් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගෙන් පසු පිලිවෙලින් වත්මන් යුධ හමුදා ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවේ සිටියි.

කෙසේවුවද ජනාධිපතිවරයා විසින් සේවා දිගු ලබා නොදුනහොත් මේජර් ජනරාල් උභය මැදවෙල ලබන දෙසැම්බර් මාසයේ දී ද, මේජර් ජනරාල් චන්න ගුණතිලක ලබන වසරේ මාර්තු මාසයේදී විශ්‍රාම යාමට නියමිතය.

Share on Google Plus

0 comments:

Post a Comment