ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම්


කෝප් කමිටු වාර්තාවෙන් තමන්ට එල්ල වී ඇති ඕනෑම චෝදනාවකට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර තිබේ.

කෝප් කමිටු වාර්තාවෙන් චෝදනා එල්ල වන බව දැන රටින් පලා ගිය බවටත්, එම චෝදනාවන්ට සම්පූර්ණයෙන්ම ඔහු වගකිවයුතු බවටත් හැ‍ඟෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දුරකථනයෙන් කළ විමැසුමකට පිළිතුරු දෙමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා එසේ ප්‍රකාශ කර ඇත.

විවාහ මංගල්‍යයකට සහභාගි විම සඳහා කලින්සැලසුම් කළ පරිදි තමා සිංගප්පූරුවට පැමිණි බව කියා සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා, තමන් කිසිදු චෝදනාවකට වරදකරුවකු නොවන බවත් එම චෝදනාවලට සාර්ථකව මුහුණදීමට නිර්දෝෂීභාවයක් තමන් තුළ ඇති බවත් කියා තිබේ. බැඳුම්කර ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇති බවත්, ඊට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුව සම්බන්ධ බවටත් කෝප් කමිටු නිර්දේශ කර තිබුණි.

"පෞද්ගලික හිතවත්කම් මත බැඳුම්කර නිකුතුන් සිදු කිරීමේ ක්‍රමයක් වසර 2007 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. නමුත් මා වසර 2015 රටට පැමිණ මේ බැඳුම්කර නිකුතුත් වඩාත් විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට වෙළෙඳපොල ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ දේ සිදු කළේ බැඳුම්කර නිකුතුන් විධිමත් කිරීමටයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර අඩුකිරීමට අපි කටයුතු කළ යුතුයි. රාජ්‍ය ණය බර ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් සොයා බැහැ.

අප කළේ බැඳුම්කර නිකුතුත් වෙළඳපොළ ක්‍රමවේදයක් මඟින් සිදු කිරීමට පියවර ගැනීමයි. මේ ගනුදෙනුවලදී දූෂණයක් සිදුවී නැහැ. ඉතාම පැහැදිලිව විනිවිදභාවයෙන් යුතුව ගනුදෙනු සිදුවී තිබෙනවා.

අප කළ වෙනසට අකැමැති අය ඉහළ වෘත්තියවේදීන්ට මඩ ගැසීමට කටයුතු කරනවා. මේවායේ මඩ ගැසීම්වලට අප යට කළ නොහැකියි. අප රට හැරයන්නේ වත්, පලා යන්නේවත් නැහැ. මෙම සිදුකරන සේවය තවදුරටත් ශක්තිමත්ව සිදු කරන්නට පියවර ගන්නවා යැයිද හිටපු අධිපතිවරයා සඳහන් කොට ඇත.

මේ බැඳුම්කර ගනුදෙනුව ගැන පමණක් නොව, වසර 2007 සිට මේ දක්වා සිදු කළ සෑම ගනුදෙනුවක් පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතුයි. එවිට අවබෝධවෙයි අපි කිසිම වංචාවක් සිදුකොට නැති බව. අප නිවැරදි දේ අවශ්‍ය මොහොතේ සිදුකළා. රට ණය බරින් නිදහස් කිරීමටයි ඒ දේ කළේ" අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසා තිබේ.

Share on Google Plus

0 comments:

Post a Comment