සරසවි තුල මුදල් අයකරන පාඨමාලා ළඟදීම.


රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුදල් අය කිරීමේ ක්‍රියාදාමයක් ඇති කළ යුතු බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, විශ්ව විද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ විවාදයට ගැණුන අවස්ථාවේදීය.

විශ්වවිද්‍යාලවල පාඨමාලා මුළුමනින්ම සංශෝධනය විය යුතු බවත් ඇමතිවරයා එහිදී අවධාරණය කළේය.

එම විවාදයේදී වැඩි අවධානයක් යොමු වූ කරුණක් වූයේ මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳ මතුව ඇති තත්වයයි. එම ගැටළුවට විසඳීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් ද යෝජනා ඉදිරිපත් විය.

සයිටම් වෛද්‍ය විද්‍යාලයට අලුතෙන් සිසුන් බඳවා ගැනීම නතර කළ යුතු බවත්, වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් නැති සිසුන් එහි සිටීනම් ඔවුන් ඉවත්කර අනෙක් සිසුන්ට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පැවසුවේ, සයිටම් ආරම්භ කළේ පසුගිය ආණ්ඩු කාලයේ බවත් එදා කිසිවෙකු පාරට බැස මීට විරෝධය එල්ල නොකළ බවත්ය.

සිසුන් අවසන් විභාගයද සම්පූර්ණ කොට ඇති බැවින් ඔවුන්ට විසඳුමක් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Share on Google Plus

0 comments:

Post a Comment