රැකියාවක්‌ සොයා උඩුපුස්‌සැල්ලාවේ සිට දරු දෙදෙනෙක්‌ කොළඹ ඇවිත්.


ජංගම දුරකථනයක්‌ රුපියල් 500 කට අලෙවිකර රැකියාවක්‌ සොයා ගැනීමට උඩුපුස්‌සැල්ලාවේ සිට කොළඹට පැමිණ සිටි අවුරුදු 13 ක්‌ හා 14 ක්‌ වයසැති දරුවන් දෙදෙනෙක්‌ පෙරේදා (3 දා) පිටකොටුව බැස්‌ටියන් මාවතේ පොලිස්‌ මුරපොළේ නිලධාරීන්ට හමුවී ඇත.

මෙම දරුවන් දෙදෙනා නුවරඑළිය උඩුපුස්‌සැල්ලාව පදිංචි හත්වැනි හා අටවැනි ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන ක්‍රිෂාන් හා රාඡ් නමැති දරුවන් දෙදෙනෙක්‌ බව පොලිසිය පවසයි.

පසුගිය 02 වැනිදා අලුයම 3.45 ට පමණ කොළඹට පැමිණි ඔවුන් බැස්‌ටියන් මාවතේ ආපන ශාලාවකට ගොස්‌ සිටියදී මේ දෙදෙනා ගැන සැකසිතූ පුද්ගලයකු පොලිස්‌ මුරපළට කළ දැනුම්දීම අනුව දරු දෙදෙනා පොලිස්‌ භාරයට ගෙන ඇත.

පොලිසිය දරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ජංගම දුරකථනය රුපියල් 500 කට අලෙවිකර රැකියා සොයා ගැනීම සඳහා කොළඹට පැමිණ ඇති බව හෙළිකරගෙන ඇත. සිය මාමා කෙනකු කොළඹ සිටින බවත් ඔහු කොහි සිටිනවාද යන්න නොදන්නා බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.

පසුව පොලිසිය විසින් දරුවන් දෙදෙනාගේ දෙමාපියන් පෙරේදා (3 දා) කොළඹට ගෙන්වා දරුවන් භාරදීමට කටයුතු කළ බව බැස්‌ටියන් මාවතේ පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. නෙවිල් මහතා පැවැසීය.

මෙම දරුවන් දෙදෙනා ගැන අවධානය යොමු කළ පුද්ගලයකු නිසා ඔවුන්ගේ ජීවිත ආරක්‌ෂාවූ බව පැවැසූ නෙවිල් මහතා දරුවන් දෙදෙනාට තරයේ අවවාද කර දෙමාපියන්ට භාරදුන් බවද වැඩිදුරටත් කීය.


Share on Google Plus

0 comments:

Post a Comment