පක්ෂ මූලස්ථාන ඉතිහාසෙ ඇත්ත කතාව මෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භය ලෙස සටහන් වන්නේ 1951 සැප්තැම්බරයේ ශ්‍රී නිශ්ශංක මහතාට අයත් කොළඹ වැල්ලවත්තේ පිහිටි නිවෙසේ පවත්වන ලද සාකච්ඡාවය. මුල්කාලීනව පක්‍ෂයේ කටයුතු සිදු කෙරෙන්නේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ කොළඹ 7 රොස්මිඩ් පාරේ නිවෙසේය. පසුව එම පක්‍ෂ කටයුතු කොළඹ පුරහලට වම් පසින් ධර්මපාල මාවතේ පිහිටි නිවෙසකට ගෙන ගියේය. පැරැණි ගෘහ නිර්මාණ ශිල්ප අනුව ඉදිවූ එම නිවෙස පැරැණි වලව්වක සිරි ගත්තේය. පක්‍ෂ මූලස්ථානය ලෙස සැලකුණේ එයය. පක්‍ෂයේ තරුණ හා වෘත්තීය සමිති අංශවල වැඩකටයුතු සඳහා එය ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානය ඩාර්ලි පාරට ගෙන යෑම සඳහා මුල් වූයේ ජේ.පී.අයි. පියදාස මහතාය. ඔහු ධනවත් ව්‍යාපාරිකයකු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික වශයෙන් කලක් කටයුතු කළේය. ජේ.පී.අයි. පියදාස මහතා තමන් විසින් ඩාර්ලි පාරේ ඉදි කරන ලද ගොඩනැඟිල්ලේ මහල් දෙකක් පක්‍ෂය වෙනුවෙන් සිරිමා බණ්ඩාරනායක මැතිනිය නමට ලියා දුන්නේය. එතැන් සිට වර්තමානය දක්වාම ශ්‍රී ල.නි.ප. මූලස්ථානය ඩාර්ලි පාරේ පවතී. දැනට එහි භාරකාරත්වය ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට බව පැවැසේ.

ශ්‍රී ල.නි.ප. මූලස්ථානය බණ්ඩාරනායක පවුලේ බූදලයක් වන බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නව ශ්‍රී ල.නි.ප. මූලස්ථානයක් සඳහා රජයේ ඉඩමක් නිදහස් කර ගනු ලැබූ අතර පක්‍ෂයේ සියලු අංශවලට ප්‍රමාණවත් වන පරිදි දැවැන්ත ගොඩනැඟිල්ලක් සඳහා මුල්ගලද තැබිණ. එහෙත් මහින්ද රාජපක්‍ෂ සභාපතිවරයා යටතේ එම ගොඩනැඟිල්ල ඉදිනොවූ අතර බත්තරමුල්ල පාලම් තුන හන්දියට නොදුරු විදේශ රැකියා අමාත්‍යාංශය අසල පිහිටි එම ඉඩම වල් බිහිව පවතී.

එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවන ලද්දේ 1946 සැප්තැම්බරයේය. ඩී.ඇස්. සේනානායක මහතා ප්‍රමුඛ එ.ජා.ප. ආරම්භක නායකයන් කොළඹ 7, ෆාම්කෝට් මන්දිරයේදී ප්‍රථම සාකච්ඡාව පවත්වා තිබිණි. දැනට කොළඹ ජාතික කෞතුකාගාරය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලය පිහිටා ඇති ප්‍රදේශයට නොදුරින් මෙම 'ෆාම් කෝට්' මන්දිරය තිබී ඇත.
1947 ප්‍රථම ආණ්ඩුව පිහිටුවීමත් සමඟ පක්‍ෂයට මූලස්ථාන ගොඩනැඟිල්ලක අවශ්‍යතාව ඇතිවූ අවස්ථාවේ එවකට රජයේ වැඩ ඇමැති ධුරය දැරූ සර් ජෝන් කොතලාවල මහතා විසින් කොල්ලුපිටියේ පිහිටි සිරිකොත මන්දිරය එ.ජා.ප.යට පරිත්‍යාග කරන ලදී. සිරිකොත යන්න ශ්‍රී මත් කොතලාවල යන්නෙන් බිඳුණු වදනකි. කොතලාවල පරපුරේ උදවිය විසින් එම ගොඩනැඟිල්ලට භාවිත කරන ලද නම වූයේ සිරිකොත යන්නය.

ඩී.ඇස්., සර් ජෝන්, ඩඩ්ලි, ජේ.ආර්. ආදී එ.ජා.ප. නායකයෝ රැසක් කොල්ලුපිටිය සිරිකොත මන්දිරයේ සිට පක්‍ෂයට නායකත්වය දුන්හ. 1977 බලයට පත් එ.ජා.ප. ආණ්ඩුව විසින් කොළඹ පරිපාලන නගරය ලෙස ශ්‍රී ජයවර්ධනපුර වැඩි දියුණු කිරීමේ තීරණය ගනු ලැබීය. ඒ අනුව ජනාධිපති ජයවර්ධන මහතා පළමු කොට පාර්ලිමේන්තුව කෝට්ටේ ඉදිකිරීම ආරම්භ කළේය. ඊට සමගාමීව එ.ජා.ප. පක්‍ෂ මූලස්ථානයද කෝට්ටේට මාරු කිරීමට ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය විය. කෝට්ටේ නව පක්‍ෂ මූලස්ථානය ඉදිකිරීමත් සමඟ කොතලාවල මහතා විසින් පරිත්‍යාග කරන ලද 'සිරිකොත' එ.ජා.ප.ය විසින් විකුණා දමනු ලැබීය.

පිටකෝට්ටේ 'සිරිකොත' මන්දිරය ඉදිකිරීම සඳහා යොදාගත් ඉඩම සම්බන්ධව තවත් අතුරු කතාවක්ද තිබේ. ජනතා විමුක්ති පෙරමුණද ඔවුන්ගේ ප්‍රථම සමුළුවෙන් පසු මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට තීන්දු කර ඇත්තේ මේ වකවානුවේමය. පිටකෝට්ටේ හන්දියේ දැනට 'සිරිකොත' ඇති ඉඩම එහි අයිතිකරු විසින් විකිණීමට තීරණය කරනු ලැබ ඇති බව ජ.වි.පෙ.ට දැන ගන්නට ලැබී තිබේ.

ඒ පිළිබඳ පක්‍ෂය දැනුවත් කරනු ලැබ තිබෙන්නේ මධ්‍යම කමිටු සාමාජිකයකු වූ ශාන්ත බණ්ඩාරගේ පියා විසිනි. එවකට ඔවුන් පිටකෝට්ටේ හන්දියේ ඉන්ධන පිරවුම්හලට පිටුපස ඉඩමක පදිංචිව සිට ඇත. මේ ඉඩම පක්‍ෂ මූලස්ථානය සඳහා සුදුසු ඉඩම බවට තීරණය කළ ජ.වි.පෙ. පර්චස් 42ක්වූ බිම් කොටස් ප්‍රථමයෙන් රුපියල් 25,000ක්ද පසුව රුපියල්  75,000ක්ද වශයෙන් ලක්‍ෂයක් ගෙවා මිලදී ගෙන තිබේ. ඔප්පුව ලියන ලද්දේ ශාන්ත බණ්ඩාරගේ පියා නමටය. ඉඩම මිලදී ගැනීම පිණිස දේශපාලන මණ්ඩල සභිකයකු වූ කෙලී සේනානායක විසින් පක්‍ෂ අරමුදල් දෙනු ලැබ ඇත. නොබෝ දිනකින් පක්‍ෂ සාමාජිකයන් ඉඩම එළිකිරීම සිදු කිරීමත් සමඟ ඊට ජ.වි.පෙ. ඇති සම්බන්ධතාව ප්‍රසිද්ධියට පත්ව ඇත.

මේ අතර එම ඉඩමේ කිසිවකු විසින් 'මෙය රජයට පවරාගත් ඉඩමකි' යන දැන්වීම ප්‍රදර්ශනය කරනු ලැබ ඇත. ඉඩම මිලට ගත් බණ්ඩාර මහතා මේ පිළිබඳ මුල් අයිතිකරු විමසීමේදී දැන ගැනීමට ලැබී ඇත්තේ, තැපැල් කාර්යාලයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම රජයට පවරා ගැනීමට පියවර ගෙන ඇති බව තමා හමුවීමට පැමිණි පිරිසක් දැනුම්දුන් බවයි. එය එසේ නම් අවසානයේ ඉඩමත්, මුදලුත් දෙකම අහිමි වීමේ අවදානම ඇති හෙයින් මුදල් ආපසු ලබාදී ඔප්පුව අවලංගු කරන්නට එදා පැවැති පසුබිම අනුව ජ.වි.පෙ. බණ්ඩාර මහතාට උපදෙස් දී තිබේ. අයිතිකරු එම මුදල් ආපසු ලබාදී ඇති අතර තැපැල් කාර්යාලය ලෙස ඉදිවූ ගොඩනැඟිල්ල අවසානයේ විවෘත වූයේ 'සිරිකොත' ලෙස බව තතු දන්නෝ පවසති.


උදේනි සමන් කුමාර

Share on Google Plus

0 comments:

Post a Comment