දයාසිරි නිහඬව සිටියේ හේමසිරිට බයේද?



ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් සපයන ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට කරන ලද නියෝගයෙන් පසුව රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූවන්ගේ නාමලේඛනය පිළිබඳ විවිධ මත පළවුවද ඊට අදාළව ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා සතු සම්පූර්ණ නාමලේඛනය තවමත් එළිදක්වා නොතිබීම බලවත් ගැටලුවක් ලෙස කතාබහට ලක්වී ඇත.

රියෝ ඔලිම්පික් ගමන තවත් ඔලිම්පික් වන්දනාවක් කරගත් අයුරු අප විසින් හෙළිදරව් කිරීමෙන් පසුව මෙරට අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ අවධානය යොමුකොට වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කළද ඉන් පෙර අදාළ විෂය භාර ක්‍රීඩා අමාත්‍යවරයා ඒ ගැන නිහඬව සිටියේ ජාතික ඔලිම්පික් කමිටුවට (එන්.ඕ.සී.) එරෙහිව පරීක්‍ෂණ කිරීමට යෑම තමන්ට කළ නොහැකි දෙයක්ය යන මතයේ සිටය. කෙසේ වෙතත් රියෝ ඔලිම්පික් ගමනට අදාළව තිස්දෙනකුගෙන් සමන්විත ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අනුමත කරන ලැයිස්තුවට අමතරව හෙළිකරන්නට අපහසු පුද්ගලයන්ගේ තවත් නම් ලැයිස්තුවක් එන්.ඕ.සී.ය සතු බව පැහැදිලිය.

අප එසේ කියන්නේ පුහුණුකරුවන්ගේ නමින්, මාධ්‍යවේදීන්ගේ නමින් හා වෙනත් තනතුරු මුවාවෙන් එන්.ඕ.සී.ය විසින් රැගෙන යන ලද පුද්ගලයන්ගේ නම් මේ වන විට ප්‍රසිද්ධියට පත් තිස්දෙනාගේ ලැයිස්තුවේ නැති නිසාය. මෙකී තිස්දෙනාගේ ලැයිස්තුව සැදුම්ලත් වන්නේ එන්.ඕ.සී. නිලධාරීන් 6ක්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක්, පුහුණුකරුවන් 8ක් හා ජනමාධ්‍යවේදීන් 7ක ගෙනි. තවද එන්.ඕ.සී. ලේකම්වරයා ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානියාගේ තනතුරද ඩැහැගෙන ඔලිම්පික් වන්දනාව සැලැසුම් කිරීම මඟින් ක්‍රීඩා අමාත්‍යාංශය නොමඟ යවා ඇති බවටද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) කටයුතු පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වා තමාට වාර්තාවක් සපයන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද නියෝගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්.බී. දිසානායක මහතා කියා සිටියේ එය පරීක්‍ෂණයක් කරන ලෙස කරන ලද නියෝගයක් නොවන බවත් රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ අයගේ වාර්තාවක් ඉල්ලා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දුරකතන ඇමැතුමක් ලැබුණ බවත්ය. ඒ අනුව ඔලිම්පික් උළෙලට සහභාගි වූ අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද නාමලේඛනය අග්‍රාමාත්‍ය කාර්යාලයට යැවූ බව පැවැසූ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා 'ඒක අපි සාමාන්‍යයෙන් කාර්යාලයකින් අහල එවපුවාම යවන උත්තරයක් පමණයි. අපි ළඟ තිබෙන ලැයිස්තුව යැව්වා. ඒකෙ තවත් වෙනසක් තියෙනවාද කියලා අපි දන්නෙ නැහැ. අග්‍රාමාත්‍ය කාර්යාලය එන්.ඕ.සී. එකෙනුත් ඒ ගැන අහල තියෙනවා. කොහොම වුණත් එන්.ඕ.සී. එක මඟින් ඔලිම්පික් යෑම සඳහා සකස් කරන ලද හැඳුනුම්පත් සියල්ලගේම ලැයිස්තුවක් අපට එවන්න කියලා අපිත් ඊයේ (30දා) එන්.ඕ.සී. එකට ලිපියක් යැව්වා යනුවෙන් පැවැසීය.

නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය අනුමත කරන ලද 30 දෙනාගේ ලැයිස්තුවට අමතරව පුහුණුකරුවන් වෙනත් නිලයන්ගෙන් හා මාධ්‍යවේදීන් නමින් ගිය තවත් පිරිසක් ඇතුළත් ලැයිස්තුවක් එන්.ඕ.සී. සතුව තිබෙනවා නොවේද යන පැනයට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ දිසානායක මහතා 'මොකක් හෝ ප්‍රශ්නයක් තිබෙන බව පේනවා. ඒ ගැන තවම මට නිශ්චිතව මොකක්ද කියල කියන්න බැහැ. කෙසේ වෙතත් රියෝ ඔලිම්පික් උළෙලට ගිය ගණනේ දෝෂයක් අපි දැක්කෙ නැහැ. අපි මේ ගැන අහල යවපු ලිපියට එන්.ඕ.සී.යෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒකට උත්තර නාවොත් ඒකත් අපට මේව ගැන ඉදිරියේදී විමසන්නට හේතුවූ කාරණායක් වෙනවා' යනුවෙන්ද කීය.

කෙසේ වෙතත් මෙරට ක්‍රීඩා පනත හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව අතර ඇති අර්බුදය හුවා දක්වමින් එන්.ඕ.සී. නිලවරණය 2009 සිට කල් දමමින් බලයේ සිටින වත්මන් ඔලිම්පික් බලධාරීන් අග්‍රාමාත්‍යවරයා මෙසේ කරන ලද සාධාරණ මැදිහත්වීමද දේශපාලනය අතගැසීමක් ලෙස හුවා දක්වන්නට උත්සාහ කරනු නොඅනුමානය. මින් පෙරද එන්.ඕ.සී.ය ප්‍රශ්නවලින් පැන ගොස් ඇඟ බේරා ගත්තේ 'මෙන්න අපේ රටේ දේශපාලකයන් ඔලිම්පික් කමිටුවට ඇඟිලි ගසනවා' යනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (එන්.ඕ.සී.) කේලාම් කියාය. නමුත් 'ජාතික' යන වචනය ඔලිම්පික් කමිටුවට පෙර යෙදී ඇති බැවින් ජාතික ඔලිම්පික් කමිටුව මෙරට ක්‍රීඩා පනතට යටත්ය. ඔලිම්පික් යන කෙනකු වුවද රටේ ක්‍රීඩා ඇමැතිවරයාගේ අස්සනින් අනුමත කළ යුත්තේ ඒ නිසා බව කවුරුත් වටහා ගත යුතුය.

-සිරිනාම රාජපක්‍ෂ

Share on Google Plus

0 comments:

Post a Comment