දේශපාලන කාන්තාරයට එකම සුදුස්සා රනිල් - වික්ටර් අයිවන්.


මුල්, වමට බරයි
රනිල්ගේ තාත්තා එස්මන් වික‍්‍රමසිංහ. එස්මන් පළමුවෙන්ම හිටියේ ලංකා සමසමාජ ව්‍යාපාරය ඇතුළේ. පසුව ඔහු විවාහය සහ පවුලේ ඇති වූ ප‍්‍රශ්න නිසා සමසමාජ ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යූඇන්පීයට සම්බන්ධ වෙනවා. ඇත්තටම එදා ඔහුගේ නික්ම යාම සමසමාජ පක්ෂයට ලොකු දුකක් වුණා. මොකද එස්මන් කියන්නේ හොඳ සංවිධායකයෙක්. ඒ වගේම ඉතාම දක්ෂයෙක්. ඔහුගේ ආකල්ප වමට බරයි. එස්මන් විවාහ වුණේ ඞී. ආර් විජයවර්ධනගේ ලොකු දුව සමග. ඒ දෙපළගේ පුතා තමයි රනිල් වික‍්‍රමසිංහ. එස්මන් කියන්නේ ඒ කාලේ හිටපු දක්ෂ උපායමාර්ගිකයෙක්. ඒ වගේම විකල්ප කියන ධාරාවේ පුවත්පතක් අත්හදා බලන්න තරමට හැකියාවක් තිබුණ කෙනෙක්. පත්තර පසුබිමට අතිරේකව පත්තර කර්මාන්ත පසුබිමකුත් ඔහුට තිබුණා.

උගත්කම වාසියක්
රනිල් වික‍්‍රමසිංහ සම්බන්ධයෙන් කතා කරද්දී ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. බොහොම තරුණ වයසෙදි දේශපාලනයට එන ඔහු කැබිනට් අමාත්‍ය ධුරයකුත් ලබාගන්නවා. මේ රටේ දේශපාලකයන් අතර, හොඳට හෝ නරකට ඔහු පොත් පත්තර කියවලා තිබෙන සහ දැනටත් එවැනි කියවීමක් ඇති කෙනෙක්. ඒ වගේම නූතන ප‍්‍රවණතා සම්බන්ධයෙන් අවබෝධයක් ඇති එකම මනුස්සයා කියන මෙන්න මේ කාරණා තමයි රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ගමනට වාසිසහගත තත්ත්වයන් වන්නේ. සාමාන්‍යයෙන් දේශපාලකයන් වැඩි උනන්දුවක් නැති සාහිත්‍යය, කලාව වැනි විෂයන් සම්බන්ධයෙන් පවා ඔහුට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ මට්ටමෙන් සැලකුවාම ඔහු ලංකාවේ දේශපාලනයේ සිටින උගතෙක්.

ආරම්භය
රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලනය ආරම්භ වන්නේ යූඇන්පීය සමෘද්ධිමත්ම යුගයකදී. ලංකාවේ ගමන් මග විශාල පරිවර්තනයකට ලක් වූයේත් මේ කාලයේදීමයි. මේ කියන්නේ ජේ.ආර් ගේ යුගය. රටේ සමහර අංශ, දීර්ඝකාලීන අර්ථයෙන් ගත්තම ඉතාම දියුණු තත්ත්වයක් පෙන්නුම් කළා. උදාහරණයක් විදියට කිව්වොත් විවෘත ආර්ථික ක‍්‍රමය. ඒ වගේම විශාල අවුලක් ඇති කිරීමට හේතු වෙච්ච ආයතන ක‍්‍රම බිහි වුණු යුගයක්. විධායක ජනාධිපති ක‍්‍රමය මේ රට අවුල් කළා. මම කියන්නේ නැහැ මේ අර්බුදය දරුණු විදියටම ඔහු ඇති කරපු එකක් කියලා. නමුත් 1948 සිට ලංකාවේ ගොඩනැ`ගිලා වර්ධනය වෙමින් තිබුණ අර්බුද රාශියක් විධායක ජනාධිපති ක‍්‍රමයත් සමග උත්සන්න වුණා. ඒ නිසා මහා විශාල ලේ වැගිරීම් ඇතිවන පසුබිමක් පවා නිර්මාණය වුණා. කිසියම් ආකාරයක පාදඩකරණයක් නිර්මාණය වුණා කියලා කියන්න පුළුවන්. සීමා රහිතව මිනිස්සුන්ට පහරදීමත් මිනිස්සුන්ව විවේචනය කිරීමත් සිදු වූ කාලයක්. මම හිතන්නේ ඒ තත්ත්වයෙන් වැඩියෙන්ම බැටකෑ නායකයා තමයි රනිල්. බොහොම දරුණු පෞද්ගලික විවේචනයන් මැදින් ආපු ගමනක් කිව්වොත් නිවැරදියි.

ආකෘතිය වෙනස්
රනිල් වික‍්‍රමසිංහට විපක්ෂයට යන්න සිදු වන්නේ 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ ආගමනයත් එක්ක. ඊට පසුව ඔහු දෙවැනි වරට අග‍්‍රාමාත්‍යවරයා බවට පත්වන්නේත් චන්ද්‍රිකාගේ කාලෙමයි. කටුනායක ගුවන් තොටුපළට පහරදීම නිසා රටේ විශාල බිඳවැටීමක් ඇතිව තිබුණු යුගයක තමයි ඔහුට මෙම තනතුර භාරගන්න සිදුවන්නේ. රනිල් වික‍්‍රමසිංහ ළ`ග තිබුණේ ඔහුගේ මාමා වූ ජේ.ආර් ජයවර්ධනගේ ආකෘතිය නෙමෙයි. මෙයා ඊට වඩා ඉතාම ලිහිල් ප‍්‍රතිපත්ති තිබුණ කෙනෙක්. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පවලට ගරු කළ කෙනෙක්. එ් කාලේ පවා තොරතුරු පනත සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූවා. උතුරේ ප‍්‍රශ්නය පවා ඔහු වෙනස් විදියට දැක්කා.  ඕවා තමයි අග‍්‍රාමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරද්දී රනිල් වික‍්‍රමසිංහ තුළ මා දැකපු සාධනීය ලක්ෂණ. සෘණ තත්ත්වයේ තිබුණ ලංකාවේ ආර්ථිකය දියුණු තැනකට ගේන්න රනිල්ට හැකිවුණා. ඔහු තමයි ඒ සියල්ල කළමනාකරණය කළේ. ඔහුට ඒ සම්බන්ධයෙන් ආත්මවිශ්වාසයක් තිබුණා.

බාධක පිළිබඳ නොවැටහීම
රනිල් වික‍්‍රමසිංහ ළ`ග තිබුණ දුර්වලතාවක් ලෙස මම හඳුනගත්තේ, ඔහුට පාලන කාලයක් තුළ එල්ල විය හැකි අභියෝග පිළිබඳ තියුණු වැටහීමක් තිබුණේ නෑ. උදාහරණයක් විදියට අධිකරණයේ තිබුණ අවුල්කාරී තත්ත්වයට ඔහු අත දැම්මේ නෑ. ඔහු හිතුවා අධිකරණයෙන් ඔහුට බාධා කිරීම් සිදුවන්නේ නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්න වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ හිටපු අග විනිසුරුවරයා. එතකොට තමයි ඔහු ඒකේ විපාක දැක්කේ. එතැනින් පස්සේ නැවත වතාවක් රනිල් වික‍්‍රමසිංහට දීර්ඝකාලයක් විපක්ෂයේ රැඳී සිටින්න සිදුවනවා.

අවාසනාව
මම හිතන විදියට ජනාධිපතිනියගේ දෙවැනි ධුර කාලය සඳහා පැවැති ජනාධිපතිවරණයේදි ජයග‍්‍රහණය කිරීමේ වැඩි ඉඩකඩක් තිබුණේ රනිල් වික‍්‍රමසිංහට. නමුත් චන්ද්‍රිකාට එල්ල වුණ බෝම්බ සිද්ධිය ඉතා අවාසනාවන්ත ලෙස රනිල්ගේ අවාසියට හේතු වුණා. එම මැතිවරණය බොහොම නිදහස් සහ සාමකාමී මැතිවරණයක් කියලත් මම විශ්වාස කරන්නේ නැහැ. බෝම්බ සිද්ධිය පාවිච්චි කරලා අනුකම්පාව එක්ක තමයි ජනාධිපතිවණයට ඉදිරිපත් වුණේ. 2005ත් ජය ගැනීමේ වැඩි වාසිය තිබුණේ රනිල්ට. නමුත් පුදුමසහගත දේ තමයි ඒ වෙලාවේ ප‍්‍රභාකරන් මැදිහත් වුණා. උතුරේ ඡන්ද වර්ජනය තමයි එදා රනිල්ව පරාජයට පත් කළේ. එහෙම නැති වුණා නම් එදා රනිල්ට ජනාධිපතිවරණය දිනාගන්න තිබුණා. ඊට පසුව අවශ්‍ය නම් ඔහුට පාර්ලිමේන්තුවත් දිනාගන්න තිබුණා.

මාමගේ වළේ බෑනා වැටීම
රනිල් වික‍්‍රමසිංහගේ සමීපතම ඥාතියා නිර්මාණය කළ ව්‍යවස්ථාවට අනුව විරුද්ධ පක්ෂයට ඉතා භයානක කාල පරිච්ෙඡ්දයක් උදා වෙනවා. අවාසනාවට එහි ගොදුර බවට පත්වන්නේ රනිල්. මේ ක‍්‍රමය තුළ ඉස්සර වගේ අවුරුදු 5කට සැරයක් ආණ්ඩු මාරුවෙන්නේ නැහැ. අවුරුදු 15ක් 20ක් විතර දීර්ඝ කාලයක් විරුද්ධ පක්ෂයට වෙලා එල්ලිලා ඉන්න  ඕනේ. ඒ කාලය තුළ බොහෝ පීඩනයන්ට මුහුණ දෙන්න සිදුවනවා. සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂයේ සිටි කාලේ ඇයට බොහෝ හිරිහැරවලට මුහුණ දෙන්න සිදු වුණා. ප‍්‍රජා අයිතිය පවා අහිමි කරලා අර්බුද ඇති කළා. ඒ ආනිශංසයටම රනිල් වික‍්‍රමසිංහටත් මුහුණ දෙන්න සිදු වුණා.

තරගයට වඩා නිතරගය නම්බුයි
2010 මැතිවරණයෙන් පසුව මට රනිල් වික‍්‍රමසිංහ සමග අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණා. ‘‘මම නම් ඒ ඡන්දයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ. පුළුවන් නම් අනිත් අයත් නතර කරලා මහින්දට නිතරගයෙන්ම බලයට එන්න ඉඩ දෙනවා’’ කියලා මම ඔහුට කිව්වා. එතකොට මහින්ද තමන් දිනපු ප‍්‍රමාණය දන්නේ නෑ.  එහෙම වුණා නම් මහින්ද ඔය තරමටම රළු පරුෂ වන්නෙත් නැහැ. ඒ වෙලාවේ රනිල් මගේ කතාවෙත් ඇත්තක් තිබෙනවා කියලා පිළිගත්තා.

2015 අයිති රනිල්ට
2015 දී රනිල්ට අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා. 2015 ඡන්ද අයිතිය තිබුණේ රනිල්ට. එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් සියලූ අයිතීන් තිබුණේ ඔහුට. ඔහු ලංකාවේ ලොකුම පක්ෂයේ නායකයා. නමුත් ඔහුට වෛර කරන ඉතාම සුළු පිරිසක් ලංකාවේ හිටියා. ඒ පිරිස ඉතාම ප‍්‍රබල විදියට පොදු අපේක්ෂකයා කියන රාමුව හදන්න මැදිහත් වුණා. අනෙක් අතට රනිල්ට කවදාකවත් දිනන්න බැහැ කියලා ඔහු සම්බන්ධයෙන් අසුබවාදී ප‍්‍රතිරූපයක් හදලා තිබුණේ. ඒක ඉතාම ලොකුවට වැඩ කළා. ඒත් මගේ මතය ඒක නෙමෙයි. දැන් බලන්න සිරිමාවෝ බණ්ඩාරනායක තමන්ගේ මුළු ජීවිත කාලෙම වගේ පරාජය වුණා. මේ දේශපාලනය ක‍්‍රමය හදලා තියෙන්නේ ජයග‍්‍රාහකයාට පරදිනකල් හැම එකක්ම ජයග‍්‍රහණය කරන්න පුළුවන් විදියට. එහෙම නොවන විශේෂ තත්ත්වයන් ඉතාම කලාතුරකින් තිබෙන්න පුළුවන්. ඇත්තටම දේශපාලන ක‍්‍රමය තුළින් ලැබෙන පරාජයන් මුළුමනින්ම නායකයා නිසා සිදුවනවා කියලා මම හිතන්නේ නැහැ. ඒක දිගින් දිගටම සිදුවන දෙයක්

අවුල්සහගත නිමාව
2015 ලංකා දේශපාලන ව්‍යුහයේ තිබුණේ  අවුල්සහගත නිමාවක්. පොදු අපේක්ෂකයෙක් එන්න  ඕනේ. සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩ කොටසක් ක‍්‍රියාත්මක කරලා ඔහු ගෙදර යන්න  ඕනේ. පොදු අපේක්ෂකයාට දිනන්න ප‍්‍රධාන පක්ෂ උදව් කරන්න  ඕනේ. මහින්ද පරාජය කළ අපේක්ෂකයා විසින් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව ඒ පාර්ලිමේන්තුවේම ආධාරයෙන්, පාර්ලිමේන්තුවට බලය පවරන සහ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන 17 වැනි සංශෝධනයේ තිබුණු කොමිෂන් සභා බලගන්වන ආකෘතියක් තමයි තිබුණේ. මගේ විශ්වාසයට අනුව මේක මුළුමනින්ම මනෝරාජික විකාර රූපී ආකෘතියක්. අවසාන මොහොතේ මෛත‍්‍රීපාල එළියට ආවා. එතනදී රනිල්ටත් ගන්න තීන්දුවක් තිබුණේ නෑ. මෛත‍්‍රී ජනාධිපති ධුරයට පත්වුණා. නමුත් ඔහුට තිබුණේ සීමිත ජන බලයක්. මොකද ඔහු පක්ෂයක් නියෝජනය කළේ නැහැ. ඔහු පක්ෂයක නායකයකුත් නෙමෙයි. ඔහු විකල්පව ගොඩනැ`ගුණු නායකයෙක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙක් කල්පනා කළේ නෑ කවදා හරි මොහු තමන්ගේ නායකයා වෙයි කියලා. ඒක අහම්බයක්. අහම්බයෙන් වුණත් මෛත‍්‍රීපාල ජයගත්තා. නමුත් තිබුණ ප‍්‍රශ්නය තමයි ඔහුට සේනාවක් සිටියේ නැහැ. ඔහු රටේ සේනාධිනායක. නමත් ඔහුට සේනාවක් නැහැ. ඒක ලොකු අවුලක්. ඔහුව බලයට ගේන්නේ යූඇන්පී එක. නමුත් යූඇන්පීය සමහර අවස්ථාවල ප‍්‍රධානියා වුණේ නැහැ. ජනාධිපති ළ`ගට ළං වෙච්ච උදවිය අතරත් තද රනිල් විරෝධීන් හිටියා. මේ සියල්ලන්ම තමන්ගේ රනිල් විරෝධී වැඩපිළිවෙළ ලොකුවට ගෙනිච්චා. රනිල් අද ගතකරන්නේ ඓතිහාසික අවුල්සහගත වටපිටාවක.

බලතල නොබෙදීමේ අවුල
මම පොෟද්ලිකව මේ නායකයන් දෙපළටම චෝදනා කරනවා. මෛත‍්‍රීට වගේම රනිල්ටත් ආරම්භයෙදීම බලතල බෙදාගන්න ඉඩ තිබුණා. ඒ සඳහා කිසියම් හා හූවකුත් සමාජයේ තිබුණා. ජේ.ආර් ජයවර්ධන මේ ආණ්ඩු ක‍්‍රමය හදන්න ආදර්ශය ගත්තේ ප‍්‍රංශයෙන්. ප‍්‍රංශයේ ඩිගොල් ක‍්‍රමය සාර්ථක වුුණේ ඩිගොල් ඉන්නකල් විතරයි. ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පත් වූ අවස්ථාවල විශාල ගැටුම් නිර්මාණය වුණා. අන්තිමට ඔවුන් සිදු කළ වැදගත්ම දෙය විදියට මම දකින්නේ නායකයෝ දෙපළකට වැඩ කරගෙන යන්න පුළුවන් නෛතික වටපිටාවක් ගොඩනැ`ගීම. ජනාධිපති කියන්නේ රාජ්‍යයේ නායකයා. අගමැති කියන්නේ ආණ්ඩුවේ නායකයා. අගමැති තමයි ආණ්ඩුවේ කටයුතු සහ එදිනෙදා කටයුතු සියල්ල පවත්වාගෙන යන්නේ. එයාට පුළුවන් තමන්ගේ කැබිනට් මණ්ඩලය තෝරගන්න. ජනාධිපතිට බැහැ කැබිනට් මණ්ඩලය විසුරුවන්න. විදෙස් ගිවිසුම්, යුද, ආරක්ෂාව ආදිය සම්බන්ධ තීරණ ගන්නේ ජනාධිපති. මම මූලිකවම හිතන්නේ ලංකාවෙත් මේ දේ විය යුතුයි. අගමැතිත් මේ ප‍්‍රතිංස්කරණය වෙනුවෙන් පෙනීසිටිය යුතුව තිබුණා. අතර මැද කඹ අදිනවට වඩා ඒකයි විය යුතු. හදිසියේ හැදුණු එක එක ව්‍යාපාරත් මේකට සම්බන්ධ වුණා. නමුත් රට පාලනය කරන්නේ පුරවැසි ව්‍යාපාර නෙමෙයි. මේ අකෘතිය මහ අවුල්සහගත ආකෘතියක්. මේ ආකෘතියේ ජනාධිපතිගේ කාර්යය මොකක්ද කියලා පැහැදිලි නැහැ. සමහර තීරණවලදි දෙන්නා දෙපැත්තට යන අවස්ථා තිබෙනවා.

අවුල නිර්මාණය කළේ ජනාධිපති
මම විශ්වාස කරන විදියට යූඇන්පී එක කියන්නේ ඒ තරම් විනයක් තිබුණ පක්ෂයක් නෙමෙයි. නමුත් අවම වශයෙන් මේ සභාගයට ගියාට පසුව හෝ ඔවුන් අපි මේක පෙරළනවා කියලා කෑගහන්නේ නැහැ. අපි ඊළ`ගට බලය ගන්නවා කියන්නේ නැහැ. ප‍්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්නේ නැහැ. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒක වෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එකතුවෙලා ඉන්න කණ්ඩායම මේ ආණ්ඩුව හදන්න උදව් කළේ නෑ. නමුත් එයාලා හැම තිස්සෙම කියනවා අපි මේක පෙරළලා අපේ ආණ්ඩුවක් හදනවා කියලා. ජනාධිපතිවරයා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීම මේ සමස්ත ව්‍යාපාරයම අවුල් කරන්න හේතු වුණා කියන එකයි මගේ පුද්ගලික අදහස. මොකද ඒක සමස්ත න්‍යායපත‍්‍රයේ තිබුණේ නෑ. ජනාධිපතිතුමා පරාජය කරන්නේ මහින්ද රාජක්ෂව විතරක් නෙමෙයි. ජනාධිපතිතුමා පරාජය කරන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයම. ඔහු පරාජය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුණු ආධිපත්‍යය. ජනාධිපති කියන්නේ බොහොමයක් ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කෝපයට හේතුවෙලා සිටි කෙනෙක්. ඒ කෝපය වහාම පහවෙන්නේ නෑ. සාමාන්‍ය ක‍්‍රමය වුනේ නිල කාලයක් අවසන් වෙලා ඊළ`ග ජනාධිපතිවරණයෙන් දිනන කෙනාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හිමි වනවා කියලා. ඒත් මේ ආණ්ඩු පෙරළීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත සිදු වූ දෙයක් නෙමෙයි. පක්ෂ නායකයෙක්ව අවසාන වශයෙන් අනුමත කරන්නේ බිම් මට්ටමේ සාමාජිකයා. මෛත‍්‍රීට එවැනි අනුමැතියක් තිබුණේ නෑ. මේ නිසා විශාල අර්බුදයක් නිර්මාණය වුණා. ඒ අවුල ආණ්ඩව කෙරෙහි වගේම රනිල් වික‍්‍රමසිංහ කෙරෙහිත් බලපෑවා.

වැඩි බලය රනිල්ට
මේ නායකයෝ දෙන්නටම එකිනෙකා සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. ජනාධිපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගන්නකොටම ස්වභාවයෙන්ම රනිල් හිතන්නේ තමන්ගේ ඊළ`ග තරගකාරයා මෛත‍්‍රී ය කියලා. යූඇන්පීයේ නායකයා රනිල් ය කිව්වම ජනාධිපතිටත් ස්වභාවයෙන්ම එවැනි හැ`ගීමක් ඇතිවනවා. මීට අමතරව මෙයාලට හිතවත් කණ්ඩායම් විවිධ කතා පතුරවනවා. මම පෞද්ගලිකවම හිතන දේ තමයි මේ ආණ්ඩුවේ වැඩි බලයක් රනිල්ට දිය යුතුව තිබුණා. ජනාධිපති රාජ්‍ය නායකයා සේ කටයුතු කරන අතරේ රනිල්ට ආණ්ඩුවේ කටයුතු කරගෙන යන්න බලය දෙන්න තිබුණා.
රනිල්ට ලොකු ආර්ථික දර්ශනයක් වගේම ආර්ථික හීනයකුත් තිබෙනවා. මම හිතනවා ලංකාවේ දේශපාලකයෝ අතර එවැනි ආර්ථික හීනයක් තියෙන්නේ රනිල්ට විතරයි. ආර්ථික හීනයක් තිබූ පමණින් රට ගොඩන`ගන්න බැරි බව ඇත්ත. ලංකාව අද දවසේ තිබෙන්නේ පරිපූර්ණ අර්බුදයක. අපි අවුරුදු 30ක් එක දිගට ලේ හැලූවා. මිනිස්සු විශාල සංඛ්‍යාවක් මැරුණා. ඒක ලක්ෂයක් කියලා ගණන් හැදුවත් වැඩිහිටි ජනගහනයෙන් හැම දාහකටම සීයක් මියගිහින් තියෙනවා. ඒක ඉතාම බරපතළයි. ලෝක මට්ටමෙන් ගත්තත් ඉතාම බරපතළයි. ජීවත්ව සිටින කිහිපදෙනත් අධ්‍යාත්මික වශයෙන් මියැදුණ මිනිස්සු. ඒ කියන්නේ මේ සමාජයේ ඉන්නෙ නියම ප‍්‍රකෘත්ති මිනිසා නෙමෙයි. මේ අර්බුදය තුළ සියලූම දේශපාලන ආයතන පල් වුණා. කුණුවෙලා ගඳගහන්න ගත්තා. කිසිම තැනක නීතියක් නැහැ. මට තවමත් එවැන්නක් පේන්නත් නැහැ. මම කියන්නේ නැහැ මේ හැම අංශයක්ම පැය 24න් හදන්න පුළුවන් කියලා. නමුත් තවමත් එවැනි දර්ශනයක් පෙන්නුම් කරලා නැහැ. තවමත් රට තියෙන්නේ අන්තිම දහජරා තැනක.

මාධ්‍ය සෙල්ලම
මේ පටු දේශපාලනය ඇතුලේ ඉතාම නරක සෙල්ලමක් කරමින් ඉන්නේ ලංකාවේ ජනමාධ්‍යය. කිසිම මාධ්‍ය ආයතනයකට ලොකු දර්ශනයක් තියෙනවා කියලා මට පේන්නේ නැහැ. පෞද්ගලික න්‍යාය පත‍්‍රවලට අනුව ක‍්‍රියාත්මක වන බවක් තමයි පෙනෙන්නේ. ඇත්තටම මේ අවස්ථාව 2015 දී හොඳට හෝ නරකට රනිල්ටයි ලැබෙන්න තිබුණේ. එහෙනම් ඔහුට මේ අත්හදාබැලීීම මේ වගේ පීඩාකාරී වටපිටාවක නොඉඳ කරන්න තිබුණා. ඒ නොලැබීම රටේ අවාසනාවක් කියලයි මම නම් හිතන්නේ. මේ විදියට අවුල්කාරී වටපිටාවක වැඩ කරද්දි ඔහුට මේ කාර්යය එපා වන්න පුළුවන්. ධෛර්යය හීනවන්න පුළුවන්. මොකද මේ වගේ වටපිටාවක වැඩ කිරීම අතිශය අසීරුයි. රනිල්ට සාර්ථක අග‍්‍රාමාත්‍යවරයෙක් ලෙස ඉතිහාසයට එකතුවන්න පුළුවන්කම ලැබෙන්නේ මේ අවුල් මැද්දේ රට හොඳ තැනකට ගෙනාවොත් පමණයි.

මට සැකයි
රනිල්ට එරෙහිව කාලයක් තිස්සේ තිබෙන චෝදනාවක් තමයි බටලන්ද සම්බන්ධ සිද්ධිය. මේ සම්බන්ධයෙන් මමත් රාවයේ සිටි කාලේ ලියලා තියෙනවා. කෙසේ වුණත් රනිල් එම චෝදනාවට මුහුණ දුන්නා. ඔහු උසාවියට ගිහින් සාක්ෂි ඉදිරිපත් කළා. ඔහුගේ සාක්ෂිය වුණේ ‘‘මම එහෙම දෙයක් දන්නේ නැහැ. මා නොදැනුවත් එහෙම දෙයක් වන්න පුළුවන්කමක් නැහැ’’ කියලා. ඒ වෙලාවේ ඔහුව හරස් ප‍්‍රශ්න අහලා හිර කරන්න කාටවත් බැරිවුණා. ඒ නිසා මේ චෝදනාව අදට වලංගු නැහැ. ලංකාවේ ජනමාධ්‍ය විශාල වශයෙන් රනිල්ට ගහන්න අවස්ථාවක් හදාගන්න මැදිහත් වුණා. අර්ජුන මහේන්ද්‍රන්ගේ සිද්ධිය ගත්තේ රනිල්ට ගහන්න කිසිම දෙයක් නැති අවස්ථාවක. නමුත් මේ තියෙන අවුල් සහගත තත්ත්වය ඇතුළේ  ඕනෑතරම් බොරු නිර්මාණය කරලා සමාජගත කරන්න පුළුවන්ය කියන එකත් එක්ක මට සැකයක් තියෙනවා. ජනමාධ්‍යයකට එහෙම කරන්න පුළුවන්. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන්ගේ සිද්ධිය එලෙස ගොතාපු ගුණ්ඩුවක්ද යන සැකය මට තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ගේ සිදුවීමේ සදාචාරාත්මක ප‍්‍රශ්නය වුණේ ඔහුගේ බෑනා මේ ගණුදෙනුවට සම්බන්ධ වුණා කියන එකනේ. නමුත් ඔහු මේ සීන් එකට අලූතින් ඇතුළු වුණා නෙමෙයි. ඔහු කලින් ආණ්ඩුව සමයේ ඉඳලම මේ ගනුදෙනුවලට සම්බන්ධවෙලා හිටියා. මේ දේවල් දිහා බැලූවම මට ඇත්තටම චූටි සැකයක් තිබෙනවා. රනිල් දැඩි ස්වරයකින් මොහුව අවසානය දක්වාම ආරක්ෂා කළානේ. ඔය කියන චෝදනා ඔප්පුවෙලා තියෙනවා නම් රනිල් වගේ කෙනෙක් එවැනි පුද්ගලයෙක්ව ආරක්ෂා කරයිද යන ගැටලූව පැනනැ`ගුනා. අවංකවම ඒ නිසා මට සැකයක් තියෙනවා.

නූතන මිනිහෙක්
රනිල් වික‍්‍රසිංහ කියන්නේ ලෝකය ගැන හොඳ අවබෝධයක් ඇති, නූතන වටිනාකම් සමග පදනම් වෙච්චි නායකයෙක්. ඔහු පන්සිල් ගන්න පුළුවන්. පන්සල් යන්න පුළුවන්. නමුත් ඔහු නූතන වටිනාකම් එක්ක ගනුදෙනු කරන නූතන මිනිහෙක්. ඔහු සිල් මාතාවන්ට කතාකරන නායකයෙක් නෙමෙයි.

ආර්ථික දැක්ම
ලංකාව කියන දුපත හැමදාම වැදගත් වුණේ පිහිටීමට තිබෙන උපායමාර්ගික වැදගත්කම නිසා. අපි තේරුම්ගත යුතු එක යථාර්ථයක් තමයි අපි ඉන්නේ ඉන්දියාවේ කටේ. ඉන්දියාව ඉස්සර කලාපීය බලවතා පමණයි. අද ඉන්දියාව මහා බලවතකු වීමට නැ`ගී සිටින රාජ්‍යයක්. අද ලෝකයේ ලොකු තැනක් චීනයත් අත්පත්කරගෙන සිටිනවා. චීනය ලෝක බලවතා වන බවටත් කතාවක් තිබෙනවා. ලෝකයේ අනාගත බලය යන්නේ හිටපු බලවතුන්ගේ අනුමැතිය ලැබෙන පාර්ශ්වයකට කියලයි මගේ විශ්වාසය. ඔවුන් කවදාකවත් චීනයට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. මොකද ඔවුන්ට ඉන්දියාව සමග ගනුදෙනු කරන්න පහසුයි. ඉන්දියාවේ ආර්ථිකය චීනයට වඩා කුඩා වුණත් ඉන්දීය වෙළෙඳපොළ ඉතා විශාලයි. ඒ වගේම ඉන්දියාව කියන්නේ ශීඝ‍්‍රයෙන් මධ්‍යම පන්තිය වර්ධනය වන රටක්. චීනය ගත්තොත් තවමත් ඒකාධිපති බල ව්‍යුහයන් ක‍්‍රියාත්මක වන රටක්. දශක දෙකකට පසු චීනය ලෝකයේ මහලූම රට බවට පත්වනවා. ඒ වෙද්දි ඉන්දියාව ලෝකයේ තරුණම රට බවට පත්වනවා. මම හිතන්නේ නෑ චීනය සමග අපි විරුද්ධවාදී තැනකට යා යුතුයි කියලා. නමුත් අපි අපේ අසල්වැසියා සමග ගැටුම් ඇතිකර නොගත යුතුයි. අසල්වැසියා අපහසුතාවට පත්වන තීරණ නොගත යුතුයි. ජේ.ආර් ගේ කාලයෙත් ආර්ථිකය විවෘත කරන්න ගියාම විශාල චෝදනා ආවා. ඇත්තටම විවෘත කරපු ගමන් එවැනි පසුබෑමකුත් තිබුණා. නමුත් විවෘත්ත ආර්ථිකය නිසා දේශීය කර්මාන්ත විනාශ වීමකට වඩා නවීන වීමක් සිදු වුණා. ලංකාවේ අතින් වියන ඇඳුමක් අද අපිට ගන්න බෑ. ඒවා ගන්නේ හොඳ සල්ලිකාර පන්තියක්. ඒ නිසා මම කියන්නේ ජේ.ආර් එදා කරපු දේ හරි. ඉන්දියාව කියන්නේ විශාල වෙළෙඳපොළක්. ඒකට අපේ වෙළෙඳපොළ කිසිම අභියෝගයක් නෙමෙයි. අපි එයාලගේ ප‍්‍රාන්තයකටත් වඩා කුඩා රටක්. නමුත් විවිධ වෙළෙඳ ගිවිසුම් නිසා අපිට වාසිසහගත තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා. මං කියන්නේ එට්කා වගේ ගිවිසුමකින් ලංකාවේ වෙළෙඳපොළ ඉන්දියාවට ගොදුරු වීමේ අවදානමක් නැතිව නෙමෙයි. නමුත් ආත්මවිශ්වාසය සහ හැකියාව තියෙනවා නම් අපිට මේ වෙළෙඳපොළ ජයගැනීම අසීරු කාර්යයක් නෙමෙයි. අපිට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ 15ක් හෝ 20ක් හඳුනගන්න පුළුවන් නම් ලංකාව හිතාගන්නවත් බැරි තරම් ඉස්සරහට යනවා. අපි දැනගන්න  ඕනේ අපේ ශක්තීන් ගැන. වෙළෙඳපොළ හරි ලොකුයි ලංකාව ඥානවන්තයි නම් ඒකෙන් කෑල්ලක් අල්ලගන්න පහසුයි.

ශක්තිමත් නායකයෙක් 
රනිල් විධායක ජනාධිපති ක‍්‍රමය හරි දඩබ්බර විදියට ආරක්ෂා කරපු කෙනෙක්. නමුත් ඔහු එක් අවස්ථාවකදී විධායක ජනාධිපති ධුරය අත්හරිනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යන්න  ඕනේ කියලා ඔහු තීන්දු කළා. ඒක විප්ලවකාරී තීන්දුවක්. ඇත්ත වශයෙන්ම මම හිතන දෙයක් තමයි දරද`ඩු පාලකයන් අපට අවශ්‍ය නැහැ. නමුත් අපට ශක්තිමත් පාලකයන් අවශ්‍යයි.

රනිල්ගේ හොඳ නරක සියල්ලම තීරණය කරන්න සිදුවන්නේ මේ අර්බුදය ඇතුළේ ඔහුට කොන්ද කෙළින් කරගෙන නැ`ගිිටින්න පුළුවන්ද? මේ අවුලෙන්ම රට ගෙනියන්න පුළුවන්ද කියන හැම දේම මේ ව්‍යාකූල තත්ත්වය මත රඳා පවතිනවා. රනිල් කියන්නේ ලිබරල් අදහස් ඇති නවීන මනුස්සයෙක්.  දැන් මේ රට කාන්තාරයක්. මේ කාන්තාරයේ ඉතිරිවෙලා ඉන්නවා නම් කවුරුහරි එයින් එක්කෙනෙක් තමයි රනිල්. මම හිතන්නේ එවැනි වෙනත් කෙනෙක් ඇත්තෙම නැතිතරම් කියලා. මේ අවුල්සහගත වෙලාවේ රනිල්ට බලය ලැබුණා නම් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ අයිිතිය තියෙන්නේ රනිල්ට. ඔහුට බලය නොලැබී යාම රටේ අවාසනාවක්.

-he.lk

Share on Google Plus

0 comments:

Post a Comment