මහජන බැංකුව වට්ටන්න අධ්‍යක්ෂ මණ්ඩලයේ භූතයෙක්.


මහජන බැංකුව සියුම් ලෙස විනාශ කිරීම අරමුණු කරගත් අදිසි බලවේගයක් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පවා අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. එම තත්ත්වය තුළ මහජන බැංකුව වෙනත් තරගකාරී බැංකුවක් විසින් මූල්‍යමය ලෙස ගොදුරු කර ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහජන බැංකු අභයන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මූල්‍ය සමාගම් අතර තරගකාරීත්වයක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් වුවත් රැකිය යුතු අවම සදාචාරය හෝ නොරකිමිින් සිදු කරන මෙවැනි ක්‍රියාවන් විසින් රටේ ආර්ථිකයට පාතාල ස්වභාවයක් ආරෝපණය කරන බව ආර්ථික විශේෂඥයෝ පවසති.

මහජන බැංකුවේ සිටින අභ්‍යන්තර කුමන්ත්‍රණකරුවන් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් මෙවර ‘සත්හඬ’ පුවත්පතේ ව්‍යාපාර අතිරේකයේ පළ වෙයි.

ඉන්නේ යට ඇඳුම් රහිතව නම් පේන රැළි පටිවලින් ඵලක් නැත යනුවෙන් කතාවක් ඇත. මහජන බැංකුවේ රුපියල් කෝටි 70 ක වංචාවක් ගැන කියවන බොරු ඝෝෂාකරුවන් ගැන කියන්නට ඇත්තේද එවැනිම කතාවක්ය. පසුගිය සතියේ අප මේ පිළිබඳ විශේෂ සටහනක් තැබූ අතර මේ වන විට තවත් පාර්ශ්ව ඊට මැදිහත්වී ඇත. සමීපතම සිදුවීම නම් ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රශ්නයට සම්බන්ධ වූ ආකාරය යි. ඒ අලු‍ත් සන්ධානයට සුබ පතන අප මේ කරන්නට යන්නේ රැළි පටි පෙනෙන මේ අය ඉන්නේ යට ඇඳුම් නැතිව වග පැහැදිලි කර දෙන්නටය.

මහජන බැංකුව වෙත 2000 වසර උදා වූයේ එතරම් යහපත් පසුබිමක නොවේය. ඒ ඒ වන විටත් වසර 40ක ඉතිහාසයේ අසතුටුදායක මූල්‍ය පදනමක් වාර්තා කරමින්ය. එපමණක් නොව පැවති අස්ථාවරත්වය හමුවේ බැංකුව වසා දැමීමට පවා එවකට රජය තුළ සාකච්ඡා සිදුවිණ. පසුව වහනවාද නැද්ද යන දෙගිඩියාවෙන් බැංකුව මිදුණේ 2001 වන විට බැංකුව බාරගත් නව කළමනාකරණය ගත් තීන්දු තීරණ හරහාය. එහි දී බැංකුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවූ අතර නව පරිගණක මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කිරීම එහි ප්‍රධාන අංගයක් විය. ඒ ආකාරයෙන් නවීන තාක්ෂණය ඔස්සේ තරගකාරී මූල්‍ය වටපිටාව තුළින් ඉදිරියට ගැනීමේ කටයුත්ත 2003 දී භාරවූයේ මැලේසියාවේ සිල්වර්ලේක් ඇක්සීස් සමාගමටය.

මූල්‍ය සමාගම් අතර පවතින තරගකාරී ස්වභාවය මත හැමදාමත් එකම මඟක පියවර මැන යන්නට නොහැකිය. පවතින තරගය තුළ බැංකුවේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට නම් තවදුරටත් අලු‍ත් වන තාක්ෂණය සමඟ මුහුවීම අත්‍යවශ්‍ය කොන්දේසියක්ය. ඒ බව තේරුම් ගන්නට අලු‍ත් ආර්ථික හෝ තාක්ෂණික න්‍යායක් අවශ්‍ය නැත. එය සිහිමොළය ඇති ඕනෑම අයෙකුට තේරෙන සරල සත්‍යයක් ය. 2015 අප්‍රේල් මාසය වන ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට මහජන බැංකුව පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන්නේ ඒ මත පදනම්වය.

එහි දී අධ්‍යක්ෂ මණ්ඩලය විශේෂ අවධානයක් යොමුකර ඇත්තේ වියදම් අවම කිරීම සහ ආරක්ෂාකාරී ලෙස දත්ත හුවමාරුව සිදුකර ගැනීම කෙරෙහිය. එතෙක් බැංකුව භාවිතා කළ සිල්වර්ලේක් ඇක්සීස් පද්ධතියම ඒ සඳහා යොදා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන්නේ ඒ අනුවය. සිහිමොළ අවුල් නොවූ කිසිවෙකුට මේ තීරණ සම්බන්ධව ප්‍රශ්නයක් නැගෙන්නට නොහැකිය. මන්ද අධ්‍යක්ෂ මණ්ඩලයේ එම තීරණය ඩිජිටල්කරණය පිළිබඳ විශේෂඥයන් ද අනුමත කර ඇති නිසාය.

2015 අගෝස්තු මාසයේ දී සිල්වර්ලේක් ඇක්සීස් සමාගම සමඟ අදාළ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කරන්නේ ඒ අනුවය. රැළි පටි පෙනුණත් යට ඇඳුම් රහිතව කටයුතු කරන අය මේ ගැන දන්නවාද අපි දන්නේ නැත. එහෙත් අප දැන් එය ලියා ඇති නිසා ඒ නොදන්නා අයට මෙන්ම දැන දැන නොදන්නවා මෙන් හැසිරෙන අයට ද දැනගැනීමට හැකියාව ඇත.

එහි දී අදාළ ඩිජිටල්කරණ කටයුත්ත IBM (Platform) පදනමක් මත සිදු කළ යුතු බවට සිල්වර්ලේක් ඇක්සීස් සමාගම දැනුම් දී ඇත. එසේම අදාළ පද්ධතිය වෙනුවෙන් අවශ්‍ය දෘඩාංග සඳහා වන ලැයිස්තුවද 2016 සැප්තැම්බර් මාසය වන විට IBM ආයතනය විසින් සිල්වර්ලේක් වෙත ලබා දී ඇති අතර පසුව ඔවුන් අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් බැංකුවේ සැපයුම් අංශය වෙත එය යොමුකර ඇත. මෙරට ඇති IBM නියෝජිත කාර්යාලයෙන් ඒ සඳහා සුදුසුකම් ඇති දෘඩාංග සැපයුම්කරුවන් විමසීමට බැංකුව ක්‍රියා කරන්නේ ඉන් අනතුරුවය.

එහි දී ප්‍රධාන සැපයුම්කරුවන් තිදෙනෙකු ඒ සඳහා නිර්දේශ කිරීමට IBM ආයතනය ක්‍රියා කර ඇති අතර ඒ සවුත් ඒෂියන් ටෙක්නොලජීස්, බ්ලූ චිප් හා ජස්ට් ඉන් ටයිම් යන සමාගම් තුනය. ඒ අනුව IBMහි ලැයිස්තුගත තවත් සැපයුම්කරුවන් තිදෙනෙක් ද ඇතුළත් වන පරිදි සැපයුම්කරුවන් 6 දෙනෙකු වෙතින් අදාළ දෘඩාංග වෙනුවෙන් මිල ගණන් කැඳවීමට බැංකුව කටයුතු කර ඇත.

අප සොයා බලා තහවුරු කරගත් ආකාරයට දින 14ක කාලයක් අදාළ මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති අතර ඒ බැංකුවේ මිලදී ගැනීමේ ප්‍රතිපත්ති අනුව යමින්ය. වඩාත් වැදගත් කාරණය වන්නේ අදාළ මිල ගණන් කැඳවීම් සිදු කර ඇත්තේ මුද්‍රා තබන ලද ඉල්ලු‍ම්පත් හරහා වීමය. එහි දී අදාළ කාලය තුළ මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ ජස්ට් ඉන් ටයිම් සමාගම පමණය. ඒද පසුව බැංකුව අන්තර්ජාලය හරහා තෝරාගත් අමතර සැපයුම්කරුවකු නොව පළමු අවස්ථාවේදීම ෂඊඵ සමාගම නිර්දේශ කළ සැපයුම් සමාගමක්ය.

රැළි පටි පෙනුණත් යට ඇඳුම් රහිතව කටයුතු කරන පිරිසෙන් එක් කොටසක් වැඩ අල්ලන්න ගන්නේ මෙතැන් සිටය. ඔවුන් පළමුව රැළි පටි වන්නම පටන් ගන්නේ අදාළ ටෙන්ඩර් පටිපාටිය දෝෂ සහිත බව පවසමින්ය. ඊට මැදිහත් වන්නේ ධම්මික පෙරේරාගේ සමාගම්වල උපදේශකයකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ඇතුළු තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුය. ඊට සමගාමීව මෙරට එක් මුද්‍රිත මාධ්‍යක් ද ඒ ගැන පුවතක් පළකරමින් රැලි පටි වන්නමට එක්විය. අදටත් ඒ වන්නමේ සිටින්නේ මේ අය පමණය.

කෙසේ වුවත් මේ විස්තර පත්තරවල පළවීම ගැන අපට ගැටලුවක් නැත. ඒ මාධ්‍යවල හැටිය. එහෙත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ වාර්තා වීමටත් පළමුව ඒවා තවත් පාර්ශ්වයක් අතට පත්වේ නම් එය ගැටලුසහගතය. ඉතා පැහැදිලිව තවමත් මේ ටෙන්ඩරය සඳහා කිසිදු සැපයුම්කරුවකු තෝරාගෙන නොමැත. ඒ, මෙම අධ්‍යක්ෂ මණ්ඩලය තුළ දෙදෙනකුගේ විරෝධයක් සඳහන් වීම නිසාය. එහෙත් අද වන විට රැළිපටි වන්නමේ උදවිය හැසිරෙන්නේ ටෙන්ඩරය අදාළ එකම ගැනුම්කරුවා වෙත ලබා දී ඇති ආකාරයටය. එපමණක් නොව මහජන බැංකුවේ මේ සිදුවීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ දැනුම් දීම හරහා විශේෂ පරීක්ෂණයක් සිදු වන බවට පුවතක් ද පළකෙරිණ. එහෙත් එවැනි පරීක්ෂණයක් අදටත් කැඳවා නැත. මේ පිළිබඳව අප පසුගිය සතියෙ කරුණු සහිතව හෙළි කළෙමු.

ඒ නිසා සිදු වූයේ රැළිපටි වන්නම ලත්තැනම ලොප්වීමය. ඒ ඔවුන් ඉතා සූක්ෂ්ම ලෙස තම යට ඇඳුම් රහිත රැළිපටි වන්නම තවත් පාර්ශ්ව වෙත කොන්ත්‍රාත් දෙමින්ය. ඒ වෙනුවෙන් පළමුව සූදානම් කෙරුණේ මරාගෙන මැරෙන ජෝකියෙක්ය. ඔහු ගැන අප මොකුත්ම කියන්නේ නැත. ඒ වෙනුවට බැංකු සේවක සංගමයේ හිටපු සභාපතිවරයකු වන රුසිරුපාල නම් ඔහු ගැන ජවිපෙ වසන්ත සමරසිංහ කියන මේ කතාව අප ඔබට ගෙන එන්නෙමු.

“රාජපක්ෂලාටවත් අපිට සල්ලි දෙන්න බැරි වුණා. මේ චෝදනා කරන අයගේ ඉතිහාසය අපි දන්නවා. රුසිරුපාල කියන බැංකු සේවක සංගමයේ හිටපු සභාපති 1975/76 කාලේ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති ලෙස ඉද්දීම ලංකා බැංකු සභාපති වෙනවා. 1972 ස්ට්‍රයික් එකෙත් ඔහු හිටියා. රුසිරුපාල බැංකු වෘත්තීය සංගමය පාවා දීලා විතරක් නැවතුණේ නෑ. අන්තිමට වෘත්තීය සමිතිවලට සිද්ධ වුණා බැංකු සේවක සංගමය ඔහුගෙන් බේරාගන්න”

ඉතින් ඒ රුසිරුපාල වෙතින් රාජ්‍ය බැංකුවක් සඳහා චරිත සහතික ගැනීමට අවශ්‍ය යයි අප සිතන්නේ නැත. ඒ ඉහත සටහන ඔහු වෙනුවෙන් චරිත සහතිකය නිකුත් කර ඇති නිසාය. මේ චරිත සහතිකය රුසිරුපාල වෙත පිරිනමන්න වසන්ත කටයුතු කරන්නේ රුසිරුපාල මාධ්‍යක් වෙත ජවිපෙ පදනම් කරගෙන දෙන විවේචනයක් පදනම් කරගෙනය. එනම් මහජන බැංකුවේ කෝටි ගණනක වංචාව ගැන ජවිපෙ කතා නොකරන්නේ ඔවුන් බැංකුවෙන් සල්ලි ලබා ගත් බවට රුසිරුපාල පැවසීමය.

ඒ අනුව වසන්ත රුසිරුපාල වෙත චරිත සහතිකයක් නිකුත් කරනවා පමණක් නොව එතැන් පටන් මහජන බැංකුව අවදානමේ දැමීමේ කර්තව්‍යට ද ඔහු උරදෙයි. රුසිරුපාල පමණක් නොව වසන්තලාද රැළි පටි පෙනෙන නමුත් ඉන්නේ යට ඇඳුම් රහිතව බව ඔප්පු කරන්නට වෙහෙසෙන්නේ එතැන් පටන්ය.

ඒ ඇරඹෙන්නේ රාඩා වංචාවට චෝදනා ලැබුවකුගේ මාධ්‍යක් වෙත දෙන සම්මුඛ සාකච්ඡාවෙන් පමණක් නොවේය. ඔවුන් දුරදිග යන්නේ ඊට අදාළව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ද යන බවට සපත කරමින්ය. ඒ හමුවේ අපද බලා සිටින්නේ වසන්ත දූෂණ විරෝධයේ තවත් පියවරක් ලෙස මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීම වළක්වා එහි වංචාවක් සිදුව ඇති බව ඔප්පු කරනතෙක්ය.

සැබැවින්ම අප තහවුරු කරගෙන ඇති ආකාරයට මහජන බැංකුවේ කෝටි ගණනක වංචාවක් ගැන කියමින් මේ වන විට දියත්ව තිබෙන්නේ එම බැංකුව වැට්ටවීමේ කුමන්ත්‍රණයක්ය. ඒ වෙනුවෙන් සූදු අන්තුවකුගේ පුතකු මුල් පියවර තබා ඇති අතර ඔහුගේ පළමු උත්සාහය වූයේ තමන්ගේ හිතවත් සමාගමකට අදාළ ටෙන්ඩරය ලබා දීමය. අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණ වාර්තා වූ සැණින් ඔහු එය තවත් පාර්ශ්ව වෙත හෙළිකරන්නට කටයුතු කර ඇත්තේ ද ඒ අනුවය. ඒ කාර්ය වැරැදී ගිය තැන ඔහු කරන්නේ කෝටිපති ව්‍යාපාරික සහ මෙරට මූල්‍ය සමාගම් කිහිපයක්ම හිමි සිය සැබෑ ස්වාමියාගේ අවශ්‍යතාව වෙනුවෙන් පහසුකම් සලසන්නට පටන් ගැනීමයි. ඒ ප්‍රශ්න රැසක් ඇති කිරීම හරහා මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ කටයුත්ත වළකාලීමය.

සරලව නම් යම් ලෙසකින් මහජන බැංකුව ඩිජිටල්කරණය කළහොත් ඒ හරහා ඔවුන් අත්කර ගනු ලබන තත්ත්වය වඩාත් දැනෙන්නේ සිය සැබෑ හාම්පුතාටය. ඒ තුළ අවදානමේ වැටෙන්නේ සහ දැඩි තර්ජනයකට මුහුණ දෙන්නට සිදු වන්නේ හාම්පුතාගේ එක් මූල්‍ය සමාගමකට නොව ඔහු සතු මූල්‍ය සමාගම් කිහිපයකටමය. එනිසා වඩාත් වැදගත් කටයුත්ත ලෙස ඔවුන් තක්සේරු කරන්නේ බැංකුව ඩිජිටල්කරණය වීම වැළැක්වීමට අමතරව ඒ වෙත ඇති ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ දමා බැංකුව අඩපණ කිරීමය. එවිට හාම්පුතාගේ බැංකුව පියවර කිහිපයකින් ඉදිරියට එනවා පමණක් නොව එයින් ඉවත්වන තැන්පත්කරුවන් රැසකගේ අවධානය සිය හාම්පුතාගේ බැංකුවට යොමුකරන්නට පහසු වෙයි. ඒ තුළ තමන්ට හිමි පන්ගුවද ඔවුන් දනී. පැහැදිලිවම ඒ වෙනුවෙන් රාඩා ගනුදෙනුකරුවාගේ මාධ්‍ය පමණක් නොව වසන්තගේ දූෂණ විරෝධී භූමිකාව එකට සිඳ ගැනීමට තාත්තලා පුතාලා කටයුතු කර ඇත.

ඉතින් වසන්තද දැන දැන ලගින්නේ මේ පිය පුතු මැද්දේය. ඒ මැද්දේ රැඳුණු වසන්ත තමාද රැළි පටි පෙනෙන මුත් ඉන්නේ යට ඇඳුම් විරහිතව බව ඔප්පු කර සිටින්නේ මාධ්‍ය වෙත ඔවුන් ඉල්ලන ලෙස සැපයුම ලබා දෙන ඉතා බාල මැදිහත්වීමක් හරහාය. එහි දී ටෙන්ඩරය වෙනුවෙන් මිල ගණන් ඉදිරිපත් කළ සමාගමේ අතීත කෙරුවාව ගැන මනස්ගාත කිහිපයක් හැර අදාළ ගනුදෙනුවේ ටෙන්ඩර් හෝ අදාළ ව්‍යාපෘතිය තුළ සිදුව ඇති වංචාව ගැනවත් පැහැදිලිව කියන්නට වසන්ත සමත් වන්නේ නැත. අවම වශයෙන් සිය පළමු සම්මුඛ සාකච්ඡාව තුළ ටෙන්ඩරය කැඳවා ඇත්තේ මෘදුකාංග වෙනුවෙන් ද දෘඩාංග වෙනුවෙන් ද යන්න ගැනවත් පැහැදිලි අදහසක් වසන්තට නොමැති බව පැහැදිලිය. අනෙක් අතට බැංකුවක් මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීම සම්බන්ධව සහ ඒ ගැන වන බැංකුවේ පුරෝකථනයන් පවා ප්‍රශ්න කරන තැනකට වසන්ත වැටී ඇත්තේ ධනවාදී සමාජ ක්‍රමයක මූල්‍ය ආයතනවල හැසිරීමට අදාළ මූලික කරුණුවත් නොදන්නා නිසා විය නොහැකිය. ඒ හමුවේ අයවැය යෝජනා හරහා රාජ්‍ය බැංකු අවදානමේ වැටෙද්දී ඒ වෙනුවෙන් මාරාන්තිකව පෙනී සිටින වසන්ත මේ කාරණයේ දී රාජ්‍ය බැංකුවක් අවදානමේ හෙළීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් පෙනී සිටින ආකාරය ගැන අපට නම් පුදුමයක් නැත. මන්ද ධම්මික පෙරේරා ඇතුළුව මෙරට අංක එකේ කෝටිපතියන්ගේ මෙහෙයුම් හමුවේ වසන්ත පමණක් නොව ඔහු නියෝජන කරන දේශපාලන ව්‍යාපාරය පවා කොච්චර හීලෑද යන්න ඔවුන් ඔප්පු කර ඇති නිසාය. අවම වශයෙන් එය එසේ නොවන බව පැවසීමට නම් ධම්මික පෙරේරාගේ කෙරුවාවන් ගැන කර ඇති ප්‍රකාශයක් වත් ඔවුන් සතුව තිබිය යුතුය.

මේ හිරිකිත ‘ඇත්ත’ අපි වසන්තට පෙන්වා දෙන්නේ නොදැන හෝ තක්කඩි කටයුත්තකට මැදිහත්වී ඇත්නම් ඒ ගැන යළි සිතා බලන්නට අවස්ථාවක් දෙන්නටය. නැත්නම් මූලධාර්මික ලෙස දූෂණ විරෝධය වෙනුවෙන් පෙනී සිටින වසන්ත ඇතුළු ඔහුගේ පෙරමුණ මේ මොහොතේ දී මාධ්‍ය අවකාශය ලැබීමේ පදනමින් සමහර අති දූෂිත ව්‍යාපාරිකයන් අමතක කර කටයුතු කරන්නේ කෙසේද ගැටලුසහගතය. හොරකම නම් කෝකත් හොරකමය. වංචාව නම් කෝකත් වංචාවය. ඊටත් වඩා වැදගත් වන්නේ මිලියන 13ක තැන්පත්කරුවන් ඇතුළුව රාජ්‍ය බැංකුවක් අවදානමේ හෙළන්නට ඉදිරිපත් වී ඇති ලැජ්ජාසහගත ආකාරය යි. අවම වශයෙන් බැංකු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘති තුළ මහජන බැංකුව ඒ වෙනුවෙන් වැය කරන්නට බලාපොරොත්තු වන මුදලට වඩා මේ වන විටත් වියදම් කර ඇති බැංකු ගැන වසන්ත සහෝ දන්නේද? දන්නෙ නැත්නම් ඒවාද ඇති බව දැනගත යුතුය. ඊටත් වඩා වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයකු ලෙස මහජන බැංකුව වට්ටන්නට දත කන අධ්‍යක්ෂ මණ්ඩල භූතයාගේ අවශ්‍යතාව නිවැරැදිව වටහාගත යුතුය. නමුත් දැනට දක්නට ඇත්තේ මාධ්‍ය ඔස්තාර් මුදලාලිලාගේ සිට සූදු අන්තු පියවරුන්ගේ සහ මූල්‍ය සමාගම් සමඟ සෙල්ලම් කරන පුතාලගේ පාර්ශ්වයේ සිට ඉන්නේ යට ඇඳුම් රහිතව නම් පේන රැළි පටි පෙන්වමින් සිටින බවය. අවසන් වශයෙන් අප මේ කාට කාටත් දැනුම් දෙන්නේ මේ විවේචනය මෙන්ම විග්‍රහය සංවාදයට විවෘත බවය. මේ මල් පමණක් වන අතර පලතුරු ද සූදානම්ව ඇත.

- කාශ්‍යප කොතලාවල්
sathHanda

Share on Google Plus

0 comments:

Post a Comment