මාලදිවයින හොල්ලන ‘රහසිගත පාරාදීසය’


මාලදිවයින් අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වී තිබේද යන ප්‍රශ්නය ද අල්ජසීරා හෙළිදරව්වත් සමඟ යළිත් පැන නඟී. ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාගෙන් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට මුදල්, යාන - වාහන මෙන්ම නිවාස ද ලැබී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බැවිනි. දුරකථනවල තිබූ ඇතැම් කෙටි පණිවිඩ පවා ඉදිරිපත් වී ඇත.

මාලදිවයිනේ දේශපාලනය යළිත් කැළැඹී තිබේ. ජනාධිපති අබ්දුල්ලා යමීන්ට ඇ. ඩො. බිලියන 1.5 ක දූෂණ - අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා එල්ල කරමින් අල් ජසීරා නාලිකාව සිදුකළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව ඊට හේතුවයි. රහසිගත පාරාදීසය මැයෙන් ඉදිරිපත් වූ එම වාර්තාමය වැඩසටහනට පසුබිම් වී ඇත්තේ හිටපු උප ජනාධිපති අහ්මඩ් අදීබ් සතුව පැවැති ස්මාර්ට් ජංගම දුරකථන 3 කින් සහ තවත් රහසිගත ලියැවිලි විශාල ප්‍රමාණයකින් ලබාගත් තොරතුරු බව අල් ජසීරා නාලිකාව සඳහන් කර ඇත. ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරයාගේ නියෝග මත එම ඩොලර් මිලියන ගණනක් පරිවහනයට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනෙකුගේ රහසිගත සංවාද හඬ පට ද ඊට අයත්ය. ජනාධිපති ඝාතන තැත සම්බන්ධයෙන් උප ජනාධිපතිවරයා මේ වන විට සිටින්නේ සිර භාරයේය.

ජනාධිපතිවරයා ද මීට සම්බන්ධ අමාත්‍යවරු සහ සමීපතමයන් මෙම වංචාව සිදුකිරීමට සැලසුම් කර ඇත්තේ මහ බැංකුව හරහාය. ඊට සිංගප්පූරුවේ, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ රහසිගත ව්‍යාපාරිකයන් කිහිපදෙනකුගේ සහාය ලබාගෙන තිබේ. ඩොලර් මිලියන 100 ක් දක්වා වූ මුදලක් බැගින් ගුවන් මඟින් යාමේදී රැගෙන යාමට ද එය මාලදිවයින් මූල්‍ය අධිකාරිය හරහා යොදාගැනීමට ද ඔවුන් සැලසුම් කර තිබිණි.

මීට සම්බන්ධ එක් මැලේසියානු ව්‍යාපාරිකයකු වන ෆයිද්සාන් හසන් මුණගැසීමට අල් ජසීරා වාර්තාකරුට අවස්ථාව ලැබිණි. මෙවැනි කාර්යයන් සඳහා අත්දැකීම් ඇති දේශපාලන සම්බන්ධතා ‍සහිත අයකු ලෙස වාර්තාකරු මෙහිදී පෙනී සිටියේය. කොපමණ මුදලක් රැගෙන යාමට තිබේදැයි විමසමින් හසන් ඔහුට එකඟ වී ඇත්තේ තමා මත්ද්‍රව්‍ය හෝ අවි ජාවාරමේ නොයෙදෙන බව ද පවසමිනි.

හෙළිදරව්වෙන් පසු හසන් තමන්ට ඇති චෝදනා ප්‍රතික්ෂේප කර සිටී. වාර්තාකරු ඉදිරිපත් කරන තොරතුරු වැරැදි ඒවා බව ඔහුගේ ප්‍රතිචාරය වී තිබේ.

රහසිගත පාරාදීසය විකාශනය වීමෙන් පසු මාලදිවයින් රජය අල්ජසීරා නාලිකාවට දන්වා ඇත්තේ මෙවැන්නක් සම්බන්ධයෙන් ජනාධිපති යමීන් හෝ ඔහුගේ රජයේ කිසිදු තැනැත්තකුට එරෙහිව වරදක් කළ බවට සාක්ෂි නොමැති බවය. එමඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම හෙළිදරව්වට අදාළ කාරණා ජනාධිපති යමීන් මේ වසරේ පෙබරවාරි මස සිදුකළ පුළුල් විමර්ශනයකට සම්බන්ධ ඒවා බවයි.

අල් - ජසීරා නාලිකාව සතුව මේ පිළිබඳ සාක්ෂි කිසිවක් හෝ තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ද ඉන් දන්වා ඇත. අල් ජසීරා නාලිකාව වැනි ආයතනයක් ජනමාධ්‍යවේදයේ ඉහළ ප්‍රමිතීන් නොතකා හැරීම ගැන කනගාටු වන බව ද මාලදිවයින් රජය යොමුකළ ප්‍රතිචාරයේ සඳහන්ය.

අල් ජසීරා වාර්තාමය වැඩසටහන මඟින් පුද්ගලයන් තිදෙනෙකු ජනාධිපතිවරයාට, ජනාධිපති ආර්යාවට, ජ්‍යෙෂ්ඨ විනිසුරන්ට සහ තවත් දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිපදෙනෙකුට මුදල් බෑග රැගෙන ගිය අන්දම දැක්විණි. සමස්ත ක්‍රමයම දූෂිතයි යනුවෙන් එක් අයකු පවසන අතර හිටපු උප ජනාධිපතිවරයාගේ රියැදුරු ලෙස හැඳින්වෙන තැනැත්තා පවසන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් යනුවෙනි. එම මුදල් ප්‍රමාණය රැගෙන යාමට තරම් අසීරු බරක් බව ද ඔහු කියා සිටී. තමන් ජනාධිපතිවරයාට ඇ. ඩො. 100,000 ක් රැගෙන ගියේ කෙසේදැයි අනතුරුව ඔහු විස්තර කරයි.

උප ජනාධිපතිවරයාගේ ජංගම දුරකතන තොරතුරුවලින් පැහැදිලි වන්නේ බලය කොපමණ අයුතු ලෙස භාවිත වී තිබේද යන බවය. රූපවාහිනී නාලිකාවක් පුපුරවා හැරීමට පොලිස් කොමසාරිස්වරයාට උපදෙස් දුන් අයුරු, තමන්ට එරෙහි දූෂණ අක්‍රමිකතා ගැන විමර්ශන කළ එවක විගණකාධිපතිවරයා ඉලක්ක කළ ප්‍රහාරය වැනි සිද්ධි ගණනාවක් මේවා අතර තිබේ.

බලයෙන් පහ කළ හිටපු ජනාධිපති අහමඩ් නෂීඩ්ට ත්‍රස්තවාදී චෝදනා එල්ල කරමින් 13 අවුරුදු සිරදඬුවමක් නියම කිරීමට අදාළ නියෝගය ලබා දී ඇත්තේ ද ජනාධිපතිවරයාම බව ඉන් හෙළිදරව් වී ඇත. නෂීඩ්ගේ දඬුවම් නියෝගය ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ අයුරු සහ ඔහු ලබාදෙන නියෝග ද මීට ඇතුළත්ය. හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකිරීම සිදුවූයේ ප්‍රශ්නගත අයුරිනි. එය දියත් වූ ආකාරය ගැන තොරතුරු සමහරක් ද මීට අයත්ය.

මාලදිවයින් අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වී තිබේද යන ප්‍රශ්නය ද අල්ජසීරා හෙළිදරව්වත් සමඟ යළිත් පැන නඟී. ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාගෙන් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ට මුදල්, යාන - වාහන මෙන්ම නිවාස ද ලැබී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බැවිනි. දුරකථනවල තිබූ ඇතැම් කෙටි පණිවිඩ පවා ඉදිරිපත් වී ඇත. 2008 දී බලයට පත් හිටපු ජනාධිපති නෂීඩ් 2012 දී ධුරයෙන් නික්ම යන්නේ දැඩි පීඩනයක් යටතේය. තම රටේ ඇති දූෂිතම ආයතනය අධිකරණය බව ඔහු ප්‍රකාශ කර තිබේ. තම සිර දඬුවම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම කනගාටුදායක බව ද ඔහු පවසා ඇත. දේශපාලනික දඬුවම් වන මේ සියල්ල ජනාධිපතිවරයාගේ අණ පරිදි සිදුවන ඒවා බව ඔහු කියා සිටී. මං ඒ බව කිව්වා. ඔබ දැන් එය සනාථ කර තිබෙනවා යනුවෙන් ඔහු පවසන්නේ මෙම හෙළිදරව්ව ගැනය. කෙසේ වුවද මේ ගැන මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්මන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.

අල් - ජසීරා වාර්තාමය වැඩසටහන විකාශනය වීමත් සමග එරට පුවත්පත් කාර්යාලයක් සහ මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වැටලීමට මාලදිවයින් බලධාරීන් පියවර ගත් බව ගාඩියන් වාර්තාවක සඳහන් විය. ඒවාට සම්බන්ධ විදේශිකයන් කිහිපදෙනකුගේ ගමන් බලපත්‍ර අවලංගු කළ බව ද වාර්තා විය. මෙම වැඩසටහනට දායක වූ බව පැවසෙන මාලදිවයින් මාධ්‍යවේදීන් දැනටමත් රටින් පිටවී හමාරය. රජය ඔවුන්ට අනතුරු අඟවා ඇත්තේ නීතිය ඉදිරියට පැමිණීමට සිදුවනු ඇති බවටය. මෝල්ඩීවියන් ඉන්ඩිපෙන්ඩන්ට් නමැති මෙම පුවත්පත හිටපු ජනාධිපති නසීඩ්ට සම්බන්ධතා ඇති එකක් ලෙස සඳහන්ය.

අදාළ රාජ්‍ය නොවන සංවිධානය ක්‍රියාත්මක වී ඇත්තේ ද එම ගොඩනැගිල්ලේ සිටය. ‘ගාඩියන්’ වාර්තාවට අනුව පුවත්පතට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මුදාහැර තිබේ. අල් ජසීරා හෙළිදරව්වට පුවත්පතේ වත්මන් සංස්කාරක ෂහීනා රෂීඩ් සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත. වැඩසටහන විකාශනය වීමට පෙර ඇය කොළඹට පලා ආ බව ‘ගාඩියන්’ වාර්තාවේ දැක්වේ. තමන්ම ඉලක්ක කෙරෙනු ඇතැයි දැන සිටි බව ඇය පවසා තිබිණි. පුවත්පත් කාර්යාල පරිශ්‍රය තවදුරටත් ආරක්ෂිත තැනක් නොවන බව ද ඇය පවසා තිබිණි.

මාලදිවයින් විකාශන කොමිසම මීට දින කිහිපයකට ඉහත දී නිකුත් කළ නිවේදනයකින් පැවසුණේ අදාළ වාර්තාමය වැඩසටහන පිළිබඳ තමන්ට පැමිණිලි ලැබී ඇති බවය. මීට සම්බන්ධ වූවන් අපහාස චෝදනාවන්ට වරදකරුවන් විය හැකි බව ද ඉන් පැවසිණි. මීට මාසයකට පෙර අපහාසය සිවිල් වරදකට අමතරව අපරාධමය වරදක් බව ද හඳුන්වමින් දැඩි නීති සම්මත කිරීමට මාලදිවයින් රජය පියවර ගත්තේය. ඊට වරදකරු වන අයට මාස 6 ක් දක්වා සිරදඬුවම් නියම විය හැකිය. මෙය අදහස් ප්‍රකාශනයට එරෙහිව සෘජුවම එල්ල වූ පහරක් ලෙස හඳුන්වමින් එක්සත් ජාතීන්ගේ නියෝජිත ඩේවිඩ් කායේ ද විවේචනය කර තිබිණි. මෙය මාධ්‍යයට මෙන්ම සිවිල් සමාජයට ද අහිතකර ලෙස බලපාන්නා වූ පියවරක් බව ඔහු පෙන්වා දී ඇත.

වාර්තා කිරීම මෙන්ම විවේචනය කිරීම ඉන් පැහැදිලිවම අනතුරේ හෙළා ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයාගේ අදහසය. නැඟී ඇති චෝදනා පිළිබඳ ප්‍රතිචාර දක්වනතුරු වාර්තාමය වැඩසටහන විකාශනය කිරීම පමා කරන ලෙස අල් - ජසීරා නාලිකාවෙන් කළ ඉල්ලීම නොතකා හැර තිබිණි. මෙහි අලුත් යමක් නැතැයි පවසා තිබූ රජය මීට අදාළ චෝදනා ගණනාවක් ගැන විගණකාධිපතිවරයා විමර්ශන කර තිබූ බව ද තවදුරටත් විමර්ශන සිදුවෙමින් ඇති බව ද පවසා තිබිණි.

මේ වන විට හිටපු ජනාධිපති නෂීඩ් එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබමින් පසුවේ. මෙම හෙළිදරව්වත් සමඟ ඔහු සහ තවත් විපක්ෂ ක්‍රියාකාරිකයන් කිහිපදෙනකුගේම ගමන් බලපත්‍ර අවලංගු කිරීමට රජය ක්‍රියාකර තිබේ. මාලදිවයින් රජය හිටපු ජනාධිපතිවරයාට චෝදනා කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිත කළ බවටය. ගමන් බලපත්‍ර අවලංගු කිරීම ගැන ඔහු පවසන්නේ එය දේශපාලන අරමුණකින් ‍කරන ලද අවමන් සහගත ක්‍රියාවක් බවය.

වසර 30 ක් බලයේ සිටි මයුමුන් අබ්දුල් ගයුම්ගේ පාලනය නිමා කරමින් 2008 දී නෂීඩ් බලයට පත්වීමත් සමඟ එරට තුළ ප්‍රජාතන්ත්‍රීය වෙනස්කම් ඇතිවීමට පටන් ගත් බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. ඔහු දේශගුණ විපර්යාස පිළිබඳ මෙන්ම මානව හිමිකම් ගැන ද හඬ නඟන ප්‍රබල ක්‍රියාකාරිකයෙකු විය. 2012 දී ඔහු කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් නෙරපා හැරීමට සැලැස්වීම මෙන්ම ඔහු අත්අඩංගුවට ගත් ආකාරය ලෝක අවධානයට පාත්‍ර විය.

හිටපු ජනපති ගයුම්ගේ ඥාති සහෝදරයා වන වත්මන් ජනාධිපති යමීන් 2013 දී බලයට පත්වූයේ ආන්දෝලනාත්මක මැතිවරණයකිනි. ඔහු බලයෙන් පහකිරීම පිළිබඳ විපක්ෂ කණ්ඩායම් ක්‍රියාත්මකව සිටින බවට වාර්තා පළවී තිබේ. ඉකුත් වසරේ ජූනි මාසයේදී ඔහු ගමන් ගත් අධිවේගී යාත්‍රාවේ බෝම්බයක් අටවා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට හිටපු උප ජනාධිපති අහමඩ් අදීබ් ඇතුළු කිහිපදෙනකුට චෝදනා එල්ල විය. ශ්‍රී ලංකාවේදී ද එහි සැකකරුවකු අත්අඩංගුවට ගැනිණි. එම ප්‍රයත්නයේදී ජනාධිපති ආර්යාව සුළු තුවාල ලබා තිබිණි. හිටපු උප ජනාධිපතිවරයාට 15 අවුරුදු සිරදඬුවමක් නියම වී ඇති අතර ත්‍රස්තවාදය යටතේ ද චෝදනා එල්ල වී තිබේ. ඊට දඬුවම් ලෙස ද 10 අවුරුදු සිරදඬුවමක් නියම වී තිබිණි. කෙසේ වුවද එම ඝාතන ප්‍රයත්නය පිළිබඳ සිදුකළ එෆ්. බී, අයි. විමර්ශනයේදී යාත්‍රාවේ පිපිරීම බෝම්බයක් නිසා සිදුවූවක් නොවන බව සනාථ විය.

දේශපාලන කුමන්ත්‍රණ මාලදිවයිනට අලුත් දෙයක් නොවුණද එහි උද්ගතව ඇති කැළැඹිලි සහගත දේශපාලන වාතාවරණය රමණීය සංචාරක පාරාදීසයක් ද වන එහි අනාගතයට හිතකර නොවන බව නම් ඉතා පැහැදිලිය.

ධම්මික සෙනෙවිරත්න - දිනමිණ


Share on Google Plus

0 comments:

Post a Comment