මහජන බැංකුවේ ගනුදෙනු ගැන විමර්ශනයක් ඕනෑ.


මේ යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්වන්නට පසුගිය රජයට එල්ල වුණු වංචා දූෂණ පිළිබඳ චෝදනා විශාල වශයෙන් හේතු විය. මේ නිසාම ඔවුන්ගේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රධාන වූයේ ඒවා පිළිබඳ නිසි පරීක්‍ෂණ පවත්වා ක්‍රියාකරන බවයි. නමුත් මේ අයට පොරොන්දු පරිදි දූෂිතයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට නොහැකි වී තිබීම සම්බන්ධයෙන් ජනතාව පාර්ශ්වයෙන් එල්ලවන්නේ බරපතළ චෝදනාවකි. රජය පාර්ශ්වයෙන් අගමැතිවරයා මීට කියා ඇත්තේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත යුත්තේ 200%ක් තහවුරු කරගෙන යැයි කියාය. නැතිනම් තම ආණ්ඩුව නීතිය අයුතු ලෙස භාවිත කරන බවට චෝදනා එල්ල විය හැකි යැයි ඔහු කියා සිටියේය. ඒ අර්ථයෙන් ගත් කල පෙනෙන්නේ කල්ගත කිරීමේ කාර්යය පැහැදිලි කිරීමට ආණ්ඩුව උත්සාහ ගන්නා බවකි.

නමුත් දූෂිතයන් පිළිබඳ ක්‍රියාකිරීමේදී දේශපාලනඥයන්ට විරුද්ධව තරමක් දුරට ක්‍රියාත්මක වන ආකාරයක් දැකිය හැකිය. පැහැදිලි කළ යුතු කරුණු වන්නේ වංචාව ඇත්තේ දේශපානඥයන් තුළ පමණක් නොවන බවයි. නිලධාරී යාන්ත්‍රණය තුළද වංචාව ඇති බව චෝදනා පවතී. මේ ආණ්ඩුවට එල්ලවන චෝදනාව වන්නේ ඒ නිලධාරීන් නිසි ලෙස අධිකරණයට නොපමුණුවා ඔවුන් බේරීමට උත්සාහ දැරීමයි. එහිදී නිලධාරීන් පාර්ශ්වයෙන් කියන්නේ තමන් තීන්දු ගත්තේ දේශපාලනඥයන්ගේ අනුදැනුම මත බවයි ඒ නිසා ඔවුන් අධිකරණය හමුවට පමුණුවන්නේ නම් රාජකාරී කටයුතු කළ නොහැකි බවට ඔවුන් කියා තිබේ. මහ බැංකුව විසින් රජයේ ආයතනවලට පත්කළ නිලධාරීන් ඒවායින් ඉල්ලා අස්වීමට කළ තර්ජන හරහා එය පැහැදිලි වේ. නමුත් ප්‍රශ්නය වන්නේ දේශපාලනඥයන්ගේ අණ ප්‍රතික්‍ෂේප නොකොට නිලධාරීන් ක්‍රියාත්මක කිරීමය. ඒවාට දිය යුතු හොඳම දඬුවම නිශ්චිත කටයුත්තක් නැති අංශයකට මාරු කර දැමීමය.

වංචා දූෂණ සම්බන්ධයෙන් විමසා බැලීමේදී වර්තමාන ආණ්ඩුවට එල්ල වූ ආකාරයක් දැකිය හැකිය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිද්ධියේ සිට ඇතැම් අමාත්‍යවරුන් තමන්ගේ අමාත්‍යාංශවල ටෙන්ඩර් වෙනත් ඇමැතිවරුන්ට දීමත් අමාත්‍යාංශවල උපදේශක තනතුරු තම හිතවතුන්ට පිරිනෑමීමත් වැනි චෝදනා මේ ආණ්ඩුවට විරුද්ධවද එල්ල වී ඇත. නමුත් ඔවුන් ඒවාට මුහුණ දෙන්නේ විනිවිද දක්නාසුලු ආකාරයකට නොවේ.

මීට අමතවර මේදිනවල කතාබහට ලක්වන බරපතළ වංචාවක් වන්නේ මහජන බැංකුවේ දෘඪාංග මිලදී ගැනීමට මිලියන 700ක් වියදම් කිරීමය. මහජන බැංකුව රාජ්‍ය බැංකුවකි. එනිසා එයට ඇති වගකීම වැඩියි. නමුත් මෙහිදී ඔවුන්ට බරපතළ චෝදනාවක් එල්ල වී ඇත. එහිදී පිළිගත හැකි පැහැදිලි ටෙන්ඩර් පටිපාටියකින් තොරව කිසියම් එක් සමාගමකට වාසිවන ආකාරයට ඉතා විශාල මුදලක් වැය කර ටෙන්ඩරයක් කඩිනමින් ලබාදී තිබේ. ඒ පිළිබඳ එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්ම චෝදනාවක් එල්ල වී තිබේ. දැන් ඒ ගැන මහජනයාගේ නිරීක්‍ෂණයට සහ සාකච්ඡාවටද බඳුන් වී ඇත.

විශේෂයෙන්ම යහපාලනය මුල්කොට ගෙන ආණ්ඩුවක් පත්වූ වකවානුවක ඒ සම්බන්ධයෙන් පාරදෘශ්‍ය ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට වගකීම තිබිණි. නමුත් මේ අවස්ථාවේ එය සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත. අගමැතිතුමාටද මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති නිසා මහජනතාව ඒ පිළිබඳ පැහැදිලි විමර්ශනයක් බලාපොරොත්තු වීම සාමාන්‍ය කරුණකි.

විශේෂයෙන්ම මහජන බැංකුව පිළිබඳ කියද්දී කිවයුතු තවත් වැදගත් කාරණාවක් ඇත. එය මහජන බැංකුවට සහ ලංකා බැංකුවට යන දෙකටම පොදුය. පසුගිය කාලය තිස්සේම ඔවුන්ට චෝදනාවක් එල්ල වූයේ අධික වශයෙන් ණය දී ඒවා කපා හැරීමේ කාර්යය නිරත වී සිටීම පිළිබඳවය. මේ ආකාරයට ඔවුන් රුපියල් මිලියන 100 ඉක්මවා ණය දී ඒවා කපා හැරීමට කටයුතු කර තිබේ. මුදල් ඇමැති රවි වරක් පෙන්වා දුන්නේ එසේ කරන රාජ්‍ය බැංකු දිළිඳු ගොවීන්ගේ කෘෂිකාර්මික ණය කපා නොහැර නඩු දමන්නේ ඇයි දැයි කියාය. මෙහිදී මා මතුකරන වැදගත් කාරණය වන්නේ මෙයයි. වරින්වර පත්වන ආණ්ඩුවල දේශපාලන අරමුණු සඳහා මේ බැංකු අරමුදල් පාවිච්චි වී ඇත. මේ යහපාලන ආණ්ඩුවට ඇති වගකීම වන්නේ දැන්වත් ඒ තත්ත්වය නවතා දැමීමයි. ඒ නිසාම අතයට ගනුදෙනුවක් සිදු කළ මේ ටෙන්ඩර් චෝදනාවද ආණ්ඩුව ඉතා බැරෑරුම්ව සලකා බැලිය යුතුය.


තවත් කරුණක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ යුතුය. මේ සම්මුතිවාදී ආණ්ඩුව ජනවාරි 08 වැනිදා රාජපක්‍ෂ ආණ්ඩුව බලයෙන් පහකරන්නට දියත් කළ දේශපාලන ව්‍යාපාරය මේ වන විට අමත කර ඇත. ආණ්ඩුව ආරම්භයේදීත් මා ප්‍රශ්නයක් මත කළේ ආණ්ඩුව විපක්‍ෂයක් නැතිව යනවාද ඉන් ඇති විය හැකි දේශපාලන පල විපාක මොනවාද යන්න පිළිබඳයි. කොහොම නමුත් ඉතා ඉක්මනින් පිහිටු වූ සම්මුතිවාදී ආණ්ඩුව ඊට අපට යම් පිළිතුරක් ලබා දුන්නේය. මේ සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික කටයුත්ත සම්පූර්ණයෙන්ම එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය අතට පත්වී තිබේ. මහජනතාව අපේක්‍ෂා කළේ මෙය නොවේ. මේ ආණ්ඩුව පවත්වා ගෙන යෑමේදී මෛත්‍රි - රනිල් දෙදෙනාම අවධාරණය කළේ රටේ ප්‍රශ්න විසඳන්න මේ ආකාරයට ආණ්ඩු හැදීම අවශ්‍ය යැයි කියාය.

සම්මුතිවාදය පිළිබඳ මේ අදහස වික්‍රමසිංහ මහතා ගන්නේ දියුණු බටහිර ධනේශ්වර රටවල ආණ්ඩු ස්වරූපය සලකා බලාය. ඒ රටවල රටේ ලිබරල් ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළෙඳපොළ ආර්ථිකය රට ගෙනියන මූලික ප්‍රතිපත්ති බවට එකඟතාවක් ඇත. සුබසාධනය කරා යොමුවන්නේ ඒ අතරය. රනිල් වික්‍රමසිංහ මහතා අදහස කරන්නෙත් ලංකාවේ එවැනි ආණ්ඩුවක් පැවැතියහොත් රට දියුණු වනවා කියාය. නමුත් ගැටලුව වන්නේ ලංකාවේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එකඟතාව තිබුණද රටේ ආර්ථිකය තනිකරම වෙළෙඳපොළට පැවතිය යුතුය යන තත්ත්වය පිළිබඳ එකඟතාවක් නොමැති වීමය. 77දී ජේ.ආර්. ජනාධිපතිවරයා නිර්වාදී ආර්ථිකය දියත් කළ දා සිට ඒ පිළිවෙතට ලංකාවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කළ බව අපට මතකය . චන්ද්‍රිකා මහත්මිය විවෘත ආර්ථිකය "මානුෂික මුහුණුවරක් සහිත" යනුවෙන් වෙනස් කළේ ඒ නිසාය. රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට එද්දී කීවේ "අපි පෞද්ගලික අංශය සමඟ තරගයට රාජ්‍ය අංශය දමනවා යැයි කියාය. තවත් විටෙක රනිල් වික්‍රමසිංහ මහතා කීවේ වෙළෙඳපොළට බලපෑම් කළ හැක්කේ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගෙනාවොත් පමණක් යැයි කියාය. මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ ලංකාව කළ වෙළෙඳපොළ ආර්ථිකයට හැමදාමත් විරුද්ධ වී ඇති බවකි. නමුත් සම්මුතිවාදී ආණ්ඩුව තුළ මේ ඝට්ටනය තවමත් පෙනෙන්නට තිබේ.

එ.ජා.ප 70 වැනි සංවත්සරයේදී මෛත්‍රි තදින් අවධාරණය කරමින් කීවේ තමන් පෙනී සිටින්නේ සිවිල් සංවිධාන 46ක් සමඟ අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍රයක් අත්පත් කිරීම වෙනුවෙන් කියාය. මේ පොදු න්‍යාය පත්‍රයෙන් මූලිකව අවධාරණය කරන්නේ සමාජ සාධාරණය පිළිබඳ ප්‍රශ්නයයි.
ඒ අනුව ජනාධිපතිවරයා මේ කාරණය පැහැදිලි කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවන එජාපය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලනය අතර වෙනසයි. මා දිගින් දිගටම කියන්නේ තම තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කිරීමේ ගැටලුව දෙගොල්ලන් අතර පැවැතියද ඔවුන් එක්ව සැමරුවද සම්මුතිවාදී ආණ්ඩුවේ නායකයන් අතර මේ මතවාදය වෙනස පවතිනවා යැයි කියාය.

ඒ අනුව මෛත්‍රිගේ ජනතාවාදී අදහස් සහ වික්‍රමසිංහයන්ගේ නව ලිබරල්වාදී දේශපාලන ප්‍රතිපත්ති කළ ගැටුමක් පවතී. සම්මුතිවාදී ආණ්ඩුව තුළ ඒ ගැටුම උත්සන්න මේ තර්ජනයක්ද තිබේ.
තවත් විශේෂයෙන්ම ඉදිරිපත් කළ යුතු කරුණක් ඇත. ඒ ව්‍යවස්ථාව සම්බන්ධ කාරණාවයි. ව්‍යවස්ථාවක් රටකට අලුතෙන් හදනවා කියන්නේ ඉතා බැරැරුම් කාරණාවකි. රටේ මූලික නෛතික රාමුව ඒ හරහා සකස් කෙරේ. නමුත් ඒ බැරැරූම් කාරණයට අවශ්‍ය කාලය හරියාකාරව ගන්නවාද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබේ. එක්තරා ආකාරයක කඩිමුඩියක් අපිට පෙනෙන්නට ඇත. තවද මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යන ක්‍රියාවලිය ජනතාවට විනිවිද සුළු භාවයකින් පෙනෙන්ටද නැත. එබඳු තත්ත්වයක් තුළ ව්‍යවස්ථා ප්‍රතිපත්තිකරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වේ වාර්තාව පදනම් කොට ගෙන යම් යම් ආන්දෝලනාත්මක විවාද රට තුළ මතුවී ඇත.
එහිදී මතුවන එක් කාරණාවක් වන්නේ ආගම පිළිබඳ කාරණාවයි. ලංකාවේ පවතින ව්‍යවස්ථාවේ සඳහන්ව ඇත්තේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන අතරේ අනෙක් ආගම් රජය විසින් ආරක්‍ෂ කරනු ලබන බවකි. නමුත් මීට පක්‍ෂව සහ ප්‍රතිපක්‍ෂව මහජන අදහස මතුවිය. රජය ආගම පිළිබඳ කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකී සිටිය යුතු යැයිද එහිදි අදහසක් මතු විය. ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීම ඒ අයගේ එක් ප්‍රකාශයකි. අනෙක සියලු ආගම්වලට සමානව සැලකිය යුතුයි යනුවෙන් මේ වගන්තිය සංශෝධනය කිරීමයි.

කෙසේ වෙතත් මෙම අදහස්වලින් බොහෝ දුරට පැහැදිලි වන්නේ ඉදිරියට එන ව්‍යවස්ථාවක් තුළින් බුද්ධාගමට ඇති තැන නැති කිරීමක් බලාපොරොත්තු වන බවය. මා අවධාරණය කරන්නේ මේ කාරණය ගැන පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළ යුතු යැයි කියාය. නමුත් මා දරන පෞද්ගලික මතය ඊට තරමක් වෙනස්ය. ඒ පසුගිය වකවානුවේ සිදුවූ වාර්ගික ගැටුම් නිසාය. ඒ නිසා අනාගතයේ රාජ්‍ය කිසියම් ආගමකට සුවිශේෂීව රාජ්‍ය අනුග්‍රහයක් නොදක්වා ආගම්වල හොඳට හෝ නරකට බලපෑම් කිරීමෙන් රාජ්‍ය වැළකී සිටීම ඉතා සුදුසු යැයි සිතිය හැකියි.

සටහන : චාමිකා මුණසිංහ

Share on Google Plus

0 comments:

Post a Comment