"ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි තැන අඩුකර නැහැ"


බුද්ධාගමට ව්‍යවස්ථාව තුල හිමි තැන අබ මල් රේණුවකින්වත් අඩු කරන්නට ආණ්ඩුවේ සූදානමක් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (18) අනුරාධපුර කලංකුට්ටිය ශ්‍රී මණ්ඩලාම විහාරස්ථාන භූමියේ අභිනවයෙන් ඉදි කෙරෙමින් පවතින චෛත්‍යය රාජයාණන් වහන්සේගේ කොත පැළැන්දවීමේ පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

කලංකුට්ටිය ශ්‍රී මණ්ඩලාරාම විහාරස්ථාන භූමියේ චෛත්‍යයරාජයාණන් වහන්සේ නමක් ඉදි කිරීම සිදු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන කැනෝලා කන්ස්ට්‍රක්ෂන් අධිපති ඩබ්ලිව්.එම් තිලක් පද්මසිරි මහතාගේ ප්‍රධාන මූල්‍ය පරිත්‍යාගයෙනි.

චෛත්‍යයෙහි කොත තැන්පත් කිරීමට සමගාමීව චෛත්‍යය ඝර්භයේ රන් ආලේපිත බුද්ධ ප්‍රථිමා වහන්සේලා ඇතුළු පූජා භාණ්ඩ තැන්පත් කිරීමද මෙහිදී සිදු විය.නොබෝ දිනකින් මෙම චෛත්‍යයරාජයාණන් වහන්සේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර බෞද්ධ ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා විවෘත කිරීමට නියමිතය.

"මේ දිනවල අපේ විහාරස්ථාන ගැන, ආගම් ගැන මහා සංඝරත්නයට අපි දැක්කා මාධ්‍ය මගින් නොයෙකුත් දෙනා නොයෙකුත් මත ප්‍රකාශ කරනවා, හැබැයි අපි ඉතාමත් පැහැදිලිව මතක් කරන්න ඕන, අපි පක්ෂ භේද, ජාති භේද, සියලු භේද පැත්තකින් තියලා මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන එක පිළිබදව අපි සියලු දෙනාම පිළිගන්නා කාරණයක්.ඒ නිසා මේ රටේ අනවශ්‍යය ප්‍රශ්න, අනවශ්‍යය මත තමන්ගේ දේශපාලන අරමුණු සාර්ථක කර ගැනීම සදහා ආගම,දහම, ජාතිය සම්බන්ධ කර ගන්නේ නැත්නම් තමයි හොද, අපි දකිනවා බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් හිමි විය යුතු ගෞරවය එදා ඉදන්ම දීලා තියෙනවා.ඒ වගේම ජාතික ආණ්ඩුව තුළත් කිසිම අඩුවක් නැතිව ඒ දේවල් ඒ ආකාරයටම ඉෂ්ඨ සිද්ධ වෙනවා.

හැබැයි අපි ජාතික සමගිය ගැන කථා කරන විට සමහරු උත්සහ කරනවා මෙන්න සමගිය ගැන කථා කරලා බෞද්ධාගමට තියෙන තැන නැති කරන්න හදන්නේ, එහෙම නැත්නම් වෙනත් දෙයක් තමයි මේ කරන්න යන්නේ කියලා තම තමන්ගේ දේශපාලන මත ගැන කථා කරනවා. ඒ නිසා අපි සියලු දෙනාටම මතක් කරන්න ඕන, අපි ජාතික ආණ්ඩුවක් විදිහට, සම්මුතිවාදී ආණ්ඩුවක් විදිහට බුද්ධාගමට ව්‍යවස්ථාව තුල හිමි තැන අබ මල් රේණුවකින්වත් අඩු කරන්න අපේ සූදානමක් නෑ.ඒ වගේම අපි ජාතික සමගිය ගැනත් කථා කරනවා, මේ රටේ යුද්ධය අවසන් වෙලා අපිට බැරි වුණ ප්‍රධානම දෙය තමයි විශ්වාසය තහවුරු කර ගැනීම, ඒ නිසා අද අපි ජාතීන් අතර විශ්වාසය ඇති කර ගැනීමටත් නායකත්වය ලබා දී තිබෙනවා ආණ්ඩුවක් විදිහට ඒකෙන් කියවෙන්නේ නෑ වෙනත් කාරණාවක්.

මෙවැනි උත්සවයක මේ කාරණාව මම මතක් කලේ අපි ඇත්ත තත්වය නොකියා ඉදීම තුළත් බොරු කියන අයට වැඩි අවස්ථාවක් තියෙනවා තමන්ගේ බොරු මතය ජනතාව අතරට යවන්න, අපි හිතන් ඉන්නවා රටේ ජනතාව ඇත්ත දන්නවා , මේවගේ දේවල් ගැන සාකච්ජා කරලාවත් නෑ.ඒ නිසා අපි මේ දේවල් ගැන ජනතාවට කියන්න ඕන නෑ කියලා අපි හිතනවා.හැබැයි අර බොරුව වුණත් සිය දහස්වාරයක් ඇහෙන විට හිතෙන්න පුළුවන් ආණ්ඩුව මේකට කට අරින්නේ නැතිව ඉන්නේ සමහර වෙලාවට ඇත්තද දන්නෙත් නෑ කියලා හිතෙන්න පුළුවන්කම තියෙනවා.ඒ නිසා මම මතක් කරන්නේ එහෙම කිසිම දෙයක් නෑ.

අපි දේශපාලන වශයෙන් මැතිවරණයකදී බෙදෙනවා ඇරෙන්න අනෙක් සෑම මොහොතකදීම එකට එකතු වෙලා රට සංවර්ධනය කළ යුතුයි.මැතිවරණයකදී මතවාදීව ගැටී අනෙක් හැම වෙලාවකදීම රට හදන්න දායක වෙමු කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.අපි අද වැඩ කරන්න ඕන අපේ කාළය වෙනුවෙන් නෙමෙයි, අපේ දරුවන්ගේ හා නූපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙනුයි" යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න මහින්දරත්න යන දේශපාලන අධිකාරියේ මහත්වරුන් හා කැනෝලා කන්ස්ට්‍රක්ෂන් අධිපති ඩබ්ලිව්.එම් තිලක් පද්මසිරි මහතා, කාන්ති කන්ස්ට්‍රක්ෂන් අධිපති දිසානායක මහතා ආරාධිත රාජ්‍යය නිළධාරීන් හා කලංකුට්ටිය මණ්ඩලාරාම විහාරස්ථානයේ දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.



Share on Google Plus

0 comments:

Post a Comment