“Hiru” හොඳම නළුවා සරත් : නිළිය කෞෂල්‍යා.


මෙරට සිනමා තාරකාවන් මෙන්ම බොලිවුඩයේ සුපිරි සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවති සම්මාන රාත්‍රිය විවිධ නර්තනාංගවලින් මෙන්ම ගැයුම් වැයුම්වලින්ද වර්ණවත් වී තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සම්මාන උළෙලක් සඳහා භාවිතා කළ නවීනතම තාක්ෂණයෙන් යුතු ආලෝකකරණ පද්ධතියක් ඊට යොදා තිබුණු අතර, දියුණුම ශබ්ද පරිපාලන පද්ධතියක් සහ කැමරා පද්ධතියක් ද ඊට යොදාගැනුණා.

2014 සහ 2015 වසරවල තිරගතවූ චිත්‍රපට 40 කට මෙන්ම එම වර්ෂවල නිෂ්පාදනය කෙරුණු කෙටි චිත්‍රපට 100 ක් අතරින් තෝරාගත් නිර්මාණ වෙනුවෙන් මෙහිදී සම්මාන පිරිනැමුවා.

ඒ අනුව හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ ප්‍රසන්න විතානගේ සම්මාන දිනාගත් අතර, හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූයේ හෝගානා පොකුණ චිත්‍රපටයයි.

වසරේ හොඳම නළුවා ලෙස තණ්හා - රතී - රඟා චිත්‍රපටයේ සරත් කොතලාවල සම්මානයට පාත්‍රවුණා.

හොඳම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ බොරදිය පොකුණ චිත්‍රපටයේ රඟපෑ කෞෂල්‍යා ප්‍රනාන්දුයි.

ජූරියේ විශිෂ්ඨ සම්මානය මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑ ජැක්සන් ඇන්තනීට හිමිවුණා.

ජනප්‍රිය නළුවා ලෙස ප්‍රවේගය චිත්‍රපටයේ රඟපෑ හේමාල් රණසිංහ සම්මානයට පාත්‍ර වූ අතර, ජනප්‍රිය නිළිය වූයේ එම චිත්‍රපටයේම රඟපෑ උදාරි පෙරේරායි.

ජනප්‍රිය ළමා නළුවා ලෙස හෝගානා පොකුණ චිත්‍රපටයේ රඟපෑ ත්‍රිශාක්‍ය කුමාරතුංග සම්මාන හිමිකරගත්තා.

හොඳම සහය නළුවා ලෙස ඇඩ‍්‍රස් නෑ චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරාත්, හොඳම සහය නිළිය ලෙස මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපෑ කුසුම් රේණුත් සම්මානයට පාත්‍ර වුණා.

මේ වසරේදී හොඳම විකට රංගනය සහ හොඳම ප්‍රතිවීර රංගනය සඳහා නව සම්මාන දෙකක් හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අනුව හොඳම විකට රංගනයට හිමි සම්මානය හෝගාණා පොකුණ චිත්‍රපටයේ රඟපෑ ජයලත් මනෝරත්න හිමිකරගත් අතර හොඳම ප්‍රතිවීර රංගනයට හිමි සම්මානයට හිමිකම් කියනු ලැබුවේ එම චිත්‍රපටයේ රඟපෑ දයාදේව එදිරිසිංහයි.

හොඳම තිර රචනයට හිමි සම්මානය ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ ප්‍රසන්න විතානගේට හිමිවූ අතර හොඳම කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මාන හිමිකරගත්තේ ඇඩ‍්‍රස් නෑ චිත්‍රපටයේ චන්න දේශප්‍රියයි.

හොඳම සංස්කරණයට හිමි සම්මානය හෝ ගානා පොකුණ චිත්‍රපටයේ තිස්ස සුරේන්ද්‍ර ට හිමිවුණා.

හොඳම වේෂ නිරූපණය ඇඩ‍්‍රස් නෑ චිත්‍රපටයේ හර්ෂ මංජුලට හිමිවූ අතර, හොඳම රංග වස්ත්‍ර නිර්මාණයට හිමි සම්මානය අනගාරික ධර්මපාල චිත්‍රපටයේ හීනටිගල ප්‍රේමදාස විසින් හිමිකරගත්තා.

හොඳම සටන් අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත්තේ ඇඩ‍්‍රස් නෑ චිත්‍රපටයේ වසන්ත කුමාරවෙලයි.

ජනප්‍රියම ගීතයට හිිමි සම්මානය හිමිවූයේ හෝ ගානා පොකුණ චිත්‍රපටයටයි.

ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන හිරු ජීවන ප්‍රණාම සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණියයි.

ඊට අමතරව ඩී.බී. නිහාල්සිංහයන් රන් උත්තමාචාර සම්මානයෙන් පිදුම් ලැබුවා.

එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවිධාන වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ එකම සම්මාන උළෙල වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් සිනමා සම්මාන උළෙල 2014 වසරේදී ආරම්භ වූයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.

සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය සිනමාව නව මානයකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්මේ ප්‍රවේශය 2014 වසරේදී හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඞ්ස් ලෙස ආරම්භ කළ බවයි.

Share on Google Plus

0 comments:

Post a Comment