දොස්තර සංගමයේ ගල් ලෙන බිඳීම.


2015 ජනාධිපතිවරණයට දින නියම වෙද්දී හෙළ උරුමයේ චම්පිකයි උදය ගම්මන්පිලයි ආණ්ඩුවෙන් එළියට ආවේ අපි ගල්ලෙන බින්දා කියාගෙනය. ඔවුන් තමන් ආණ්ඩුවෙන් එළියට ඒම සමාන කළේ සිංහබා නාටකයටය. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ගේ ගල්ලෙන බින්දත් ඒ මහා ගල්ලෙන ආරක්ෂා කළ කුඩා ගල්ලෙන් රාශියක් තිබෙන බව මෛත්‍රි සහ රනිල් තේරුම් ගෙන සිටියේ නැත. මෛත්‍රි - රනිල් ආණ්ඩුවට එරෙහිව අවි අමෝරාගෙන ඇති මේ කුඩා ගල්ලෙන් නොහොත් රාජ්‍ය වෘත්තීය සංගම් මේ අතර ප්‍රධානය. එයිනුත් ප්‍රධාන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට පත් වූ දින සිට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය බලන්නේම ආණ්ඩුවත් එක්ක පැටලෙන්නටය. සාමාන්‍යයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සෞඛ්‍ය ඇමැති සමඟ පැටලීම ස්වාභාවිකය. එය මෙරට ආණ්ඩු ඉතිහාසයේම සිදු වූවකි. ඒත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව බලයට ආ දින සිට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය පැටලෙන්නේ අගමැති, අධ්‍යාපන ඇමැති සහ උසස් අධ්‍යාපන ඇමැති සමඟය. ඒ සෞඛ්‍ය ඇමැතිට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ගමන්මය. රජයේ වෛද්‍ය නිලධාරි සංගමය ආණ්ඩුවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම එකකි. අසල්වැසි රටක් වන ඉන්දියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම වෙනම එකකි. එහි සභාපතිවරයා ඉන්දියාවට ඉතා පහත් ලෙස අපහාස කොට මෙරටට පැමිණෙන ඉන්දීය ජාතිකයන් ඉන්දියාවෙන් බෝවන රෝග ගෙනෙන බව ප්‍රකාශ කළේ ඉන්දියානුවන් ඉන්නා තැන්වල ගැවසෙන්න එපා යැයි ජනතාවට ආයාචනයක්ද කරමිනි.


රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ඉන්දීය විරෝධය අහම්බයෙන් ඇති වූවක් නොවේ. ඒ රාජපක්ෂලාගේම ඉන්දීය විරෝධයේ සෙවණැල්ලය. 2015දී තමාව පරාජය කළේ ඉන්දියාවේ කුමන්ත්‍රණයකින් යැයි මහින්ද තුළ ඉන්දීය භීතිකාවක් හටගෙන තිබේ. ඔහු චීනයට ළංවී චීන න්‍යාය පත්‍රයට අනුව රට මෙහෙය වූයේ චීනය තමාවත් පවුලත් ආණ්ඩුවත් ආරක්ෂා කරනවා කියා හිතාගෙනය. ඔහුගේ පවුලේ අයත් චීන ව්‍යාපෘතිවලින් වාසි ගත්හ. අවසානයේදී චීන රූකඩයක් වූ රාජපක්ෂලා චීනයේ කීමට ඉන්දියාව කොනිත්තන්න පටන් ගත්හ. රාජපක්ෂලා පමණක් නොව ජේ. ආර්. සහ ප්‍රේමදාසලාත් ඉන්දියාව කොනිත්තන්න එන විට ඉන්දියාව ඉන්දියානු සාගරයේ දිය යටින් ලංකාවට ගින්දර ගෙනිච්චේය. හැබැයි ඉන්දියාවට ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ කිසිම රාජ්‍යයක ජනාධිපතිවරයෙක් මැතිවරණයකින් පරාජය කළ නොහැකිය. එය කරන්නේ එරට මහජනතාවය. මහින්දව පරාජය කළේ ඉන්දියාව නොව මෙරට මහජනතාවය. ඒ පරාජය පිළිගන්න ලැජ්ජා වී මහින්ද එය ඉන්දීය කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසයි. මහින්ද විමල් වීරවංශලා උදය ගම්මන්පිලලා පමණක් නොව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයද ඒ හංවඩුව ගහන්න පාව්චිචි කරයි.


සාමාන්‍යයෙන් මෙයට පෙර පත්වූ රජයේ වෛද්‍ය නිලධාරි සංගම් සහ සභාපතිවරු වර්ජනය කරන බවට තර්ජනය කොට හෝ වර්ජනය කර ආණ්ඩුව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගත්හ. ආණ්ඩුව විසඳුම් දෙන්නේ නැති නම් ආණ්ඩුවට කාලයක් දී අවසන් නිවේදන නිකුත් කළහ. මහින්දගේ කාලයේත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වී සිටියේ වත්මන් සභාපතිය. යුද කාලයේදී යුද්ධයෙන් තුවාල ලබන සෙබළුන් ගැන හිතා වර්ජනය කරන්න එපා යැයි මහින්ද කියන විට මේ සභාපති හිස නවා එය පිළිගත්තේ මහින්ද වර්ජන මර්දනය කරන්න යුද්ධය පාවිච්චි කරනවා යැයි විපක්ෂය කියද්දීය. යුද්ධයට පසු 2011 වෛද්‍ය සංගමය වර්ජනයක් දියත් කරන්න යද්දී මහින්ද අධිකරණ නියෝගයක් ගෙන එම වර්ජනය නතර කළේය. එතකොටත් සභාපති සහ වෛද්‍ය සංගමය මීයට පිම්බාසේ සිටියේය. ඒත් දැන් සෞඛ්‍ය ඇමැති රාජිත, වෛද්‍ය මාරුවීම් තමන්ට අවශ්‍ය විදියට කරන්නේ නැතැයි කියා වෛද්‍ය සංගමය රාජිතටත් පුතාටත් පවුලටත් මඩ ගහන්නේ දේශපාලනඥයන් වගේය. රාජිතගේ පවුලට එරෙහි පෝස්ටර් අලවන්නේ වෛද්‍ය සංගමය දේශපාලන පක්ෂයක් වගේය. මෙයට පෙර වෛද්‍ය සංගමය රටේ ජනාධිපතිට හා අගමැතිට එරෙහිව වචනයක්වත් කියා නැත. දැන් අගමැති එල්ල කර මඩ ගහන්නේ වෛද්‍ය සංගම් සභාපතිතුමා රටේ විපක්ෂ නායකයා කියා හිතාගෙනය. අධ්‍යාපන ඇමැති හොරෙක් කියා පෝස්ටර් ගහන්නෙත් ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂයක් ලෙසය.


අනෙකුත් වෘත්තීය සංගම්වලට මෙන්ම වෛද්‍යවරුන්ටද ප්‍රශ්න තිබේ. ඒවා ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කර විස¼දා ගත යුතුය. එහිදී අනෙක් වෘත්තීය සංගම්වලටත් වඩා වෛද්‍යවරු හැසිරිය යුතු ක්‍රමයක් තිබේ. හේතුව වෛද්‍යවරුන්ට රටේ තියෙන ඉහළ පිළිගැනීමය. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය හැසිරෙන්නේ විපක්ෂයේ කටකාර දේශපාලනඥයන් වගේය. ඔවුන් රෝගීන්ගේ ජීවිත බිල්ලට දී ආණ්ඩුව සමඟ හැප්පෙන්නේත් තීරු බදු රහිත වාහන මිලට ගන්න, සුපිරි පාසල්වලට ළමුන් දමා ගැනීම වැනි අතිශය පෞද්ගලික කාරණාවලටය. වෛද්‍යවරුන්ව වෛද්‍යවරු කරන්න වියදම් කරන්නේ රටේ අහිංසක ජනතාවය. වෛද්‍යවරු වෛද්‍ය උපාධිය ගන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එසේ නම් ආපිට ජනතාවට සේවය කර ඒ වන්දිය ගෙවීම ඔවුන්ගේ යුතුකමකි. එසේ නොමැතිව ජනතාවට හිමි සුපිරි පාසල් ඉල්ලා සිටීම ජනතාවට හිමි විය යුතු තීරු බදු ජනතාවට අහිමිකොට සුපිරි වාහන ගන්න බලපත්‍ර ඉල්ලීම තමන්ට කන්න දුන් අත සපා කෑමකි.


සාමාන්‍යයෙන් වෛද්‍යරු සමඟ හැප්පෙන්න දේශපාලනඥයන් බයය. රනිල් වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති සමඟ හැප්පෙද්දී රනිල්ගේ සහායට එජාප මන්ත්‍රිවරු ආවේ නැත. ඔවුහු නොදැක්කා වගේ අහක බලා සිටියහ. රාජිතයි පවුලයි වෛද්‍යවරු සමඟ හැප්පුණේ කාගේවත් හයියක් නැතිවය. වෛද්‍යවරු රාජිතටයි පවුලටයි මඩ ගහද්දී රාජිත නිහඬ විය. හැබැයි අධ්‍යාපන ඇමැති අකිල වෛද්‍ය නිලධාරි සංගමය තමන් එක්ක පැටලෙන්න එද්දී කඩුව අතට ගත්තේය. ඔහු තමාට වෛද්‍ය සංගමය එල්ල කළ සුපිරි පාසල් සටන් පාඨය වෛද්‍ය සංගමයටම දමා ගැහුවේ සංගමයේ කුහකත්වය රටට හෙළිදරව් කරමිනි. ඉන්දියාව, බි්‍රතාන්‍ය සමඟ පමණක් නොව කොළඹ කුරුඳුවත්ත සමඟත් මාධ්‍ය සමඟත් හැප්පෙන්න බය නොවුණු ප්‍රේමදාස වෛද්‍යවරු වැඩ වර්ජනයකට සූදානම් වන වේලාවේ සෞඛ්‍ය ඇමැතිට උපදෙසක් දුන්නේය.


මේ වැඩවර්ජනය වැරැදියි තමයි. හැබැයි වැඩවර්ජනයක් කළාම මට හමුදාව දම්මල අනෙක් ඕනෑම සේවයක් දුවවන්න පුළුවන්. ඒ වුණාට හමුදාවට ‍GMOA වැඩේ කරන්න බැහැ. සුළි සුළඟට පොල් ගසුත් නැවෙනවානේ. අපි ඒක හින්දා පොඩ්ඩක් ඔළුව පාත් කරමු. මුන් එක්ක අපිට හැප්පෙන්න බැහැ...

මේ ප්‍රේමදාස ඔහුගේ සෞඛ්‍ය ඇමැතිට කී කතාවය. හැබැයි අකිල සුළි සුළඟට නැවුණේ නැත. ඔහු මේ අසාධාරණය රටට කියන්න ඕනෑ කියල තීරණය කළේය. ඔහු බය නැතිව ඒ ගත් තීරණයට ඔහුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය සංගම් පමණක් නොව අනෙකුත් වෘත්තීය සංගම්ද සහාය පළ කළහ. එහෙම බලන කොට මෛත්‍රි - රනිල් ආණ්ඩුවට පුපුරවාගන්න බැරි වූ ‍දොස්තර සංගමයේ ගල්ලෙන අකිල පුපුරවා තිබේ. පුපුරුවන්න ඔහු පාවිච්චි කළේ ‍දොස්තර සංගමයම ආණ්ඩුව පුපුරවන්න ගෙන ආ සුපිරි පාසල් ඩයිනමයිට්ය.

උපුල් ජෝෂප් ප්‍රනාන්දු

Share on Google Plus

0 comments:

Post a Comment