රාජපක්ෂ පවුලේ සොහොනට රජයේ මුදල් යෙදවූ ජයනාත් කොළඹගේ FCIDයට.


හිටපු නාවික හමුදාපතිවරයෙකු වන ජයනාත් කොළඹගේ මහතා රාජ්‍ය මුල්‍ය වංචාවක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ඇත.

පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ මුදල් රුපියල් මිලියන 61ක් යොදාගෙන රාජපක්ෂ පවුලේ සුසාන භූමියක් සහ ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ ඉදිකිරිම පිළිබඳ කෙරෙන විමර්ශනවලට අදාලව ඔහුගෙන් ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 61ක් පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙන් ලබාගෙන ඇතත් ව්‍යාපෘතියේ ඉදිකිරීම් සියල්ල සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගිනි. ඒ සඳහා ඇතැම් දිනවල නාවුක භටයන් 200ක් පමණ යොදාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත.

වීරකැටිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා නාවුක හමුදාවෙන් ලබාදුන් ශ්‍රම දායකත්වයේ වටිනාකම රුපියල් මිලියන 29.5 බව විමර්ශනවලදී තහවුරු වී ඇති බැවින් පෞද්ගලික ඉදිකිරීමක් සඳහා නාවුක භටයින් යෙදවීම පිළිබඳ කොළඹගේ මහතාගෙන් ප්‍රශ්න කරන බව පැවසේ.

ජයනාත් කොළඹගේ හිටපු නාවුක හමුදාපතිවරයා මහාපරිමාණ වංචා කිහිපයකට චෝදනා ලැබ සිටියි. 

ඇවන්ගාඩ් සමාගමට නාවුක හමුදාව සතුව පැවති මුහුදු ආරක්ෂණ සේවය පවරන්නේද ඔහු නාවුක හමුදාපතිව සිටි සමයේදී ය. ජයනාත් කොළඹගේ මහතා, ඇවන්ගාඩ් වංචාව පිළිබඳ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ එක් චුදිතයෙකුද වන්නේ ය.

Share on Google Plus

0 comments:

Post a Comment