තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වුණා - ඩිලී.


ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමන්ට අසාධාරණයක් වුණ බව ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් පැවැසීය.

රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි මාසයේදී සිම්බාබ්වේ සංචාරයක නිරත වෙන බවත් එම සංචාරය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියක් බවත් එම තරගාවලියේදී නවකයෙකුට අවස්ථාවක් දෙන ලෙස තේරිම් කමිටුව තමන්ගෙන් ඉල්ලූ බවත් ඩිල්ෂාන් පැවසීය.

"ලබන මාසේ සිම්බාව්වේ සංචාරයක් තියෙනවා. මම සාකච්ඡාවක් පැවැත්වුවා. ක්‍රිකට් වලින් අයින් වෙන්න ඉස්සෙල්ලා ක්‍රිකට් තේරිම් කමිටුවත් සමග. ඔවුන් ඉල්ලා සිටියා ඒ තරගාවලියට එක්වෙන්න එපා. නවකයෙකුට අවස්ථාවක් දෙන්න ඕන කියලා. මම ඒ වෙලාවේ එකග වුණා. මාස හයක් මට ක්‍රිකට් නෑ. ඒ සංචාරය මම යන්නේ නැත්නම්. නවකයෙකුට අවස්ථාව දෙන එක හොඳයි. මම ඒක හැමදාම කරපු දෙයක්. නමුත් මම ඉන්න කාලයත් එක්ක හරි අමාරුයි ආයෙත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට එන්න. ඒ අය මොන විදියට හිතුවද දන්නේ නෑ. නවකයෙක් බලන්න ඕන කියලයි. එයාලගේ සැලසුම් දන්නේ නෑ. නමුත් මගේ පැත්තෙන් ඒක අසාධාරණයි."

තමා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ වත්මන් තේරීම් කමිටු සනත් ජයසූරිය කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේදී බවත් ඔහුගේ අවසන් තරගයට තමන් නායකත්වය දුන්නත් තම අවසන් තරගය නැරඹීමට සනත් පැමිණ නොසිටි බවද ඩිල්ෂාන් සඳහන් කළේය.

තමා නායකත්වයේ සිටින කාලයේදී ජ්‍යෙෂ්ඨයින් ඉවත් නොකළ බවත් ජ්‍යෙෂ්ඨයින් සිටියදී නවකයින්ට අවස්ථාව දුන් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Share on Google Plus

0 comments:

Post a Comment