ගිය ආණ්ඩුවේ කළු සල්ලි බිල්ඩින් කන්දක් යට.


රාජපක්ෂ රෙජීම පාලන  සමයේ දී කොළඹ නගරයේ ප‍්‍රධාන පෙළේ අතිසුඛෝපභෝගී හෝටල් සහ සුපිරි නවාතැන් (එපාර්ට්මන්ට්) ඉදිකිරීම් කටයුතු සිදු කළ සමාගම් වෙතින් ‘කොමිස් මුදල්’ වශයෙන් එම හෝටල්වල සහ සුපිරි නවාතැන්වලින් කොටස් පවරාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි  වාර්තා වේ.

එහි දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන්නේ එක් නිවාස ඒකකයක්  ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 - 8 ක අවම මිලක් යටතේ වන  සුපිරි නවාතැන් වෙතය. ඊට අදාළව පසුගිය කාලයේ දී කොළඹ හා තදාසන්න ප‍්‍රදේශයන්හි සුපිරි නවාතැන්  ඉදිකළ සමාගම්  පිළිබඳව ද තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇති බවත් එසේම මේ වන විට කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට ඉදිකෙරෙන සුපිරි නවාතැන්  සඳහා අත්තිකාරම් මුදල් ගෙවා ඇති පුද්ගලයන් 325 දෙනකුගේ පමණ තොරතුරු සොයා බලන්නට ගෙන ඇති  බවත්  වාර්තා වෙයි.

එසේම  ඉඩමක් හෝ  කිසිදු මුදලක් ආයෝජනය නොකර ඉදිකිරීම් සැලසුම් පෙන්වා ලබා ගත්  අත්තිකාරම් මුදල් හරහා මහා පරිමාණයේ  ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගම් කිහිපයක් සම්බන්ධව ද සොයා බැලීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇති අතර මෙවැනි ඉදිකිරීම් සිදු කරන බොහෝ දෙනකු  පසුගිය කාලයේ දී රාජපක්ෂවරුන් සමඟ කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ අය බව ද හෙළිව ඇත.

මෙම පරීක්ෂණ කටයුතුවල දී අදාළ  ආයෝජනවල රාජපක්ෂවරුන්ගේ මුදල් ඇත්දැයි සොයා බැලීමට ද නියමිත බවත්  ඉදිරියේ දී මතු වන අවශ්‍යතා මත අදාළ සමාගම් හිමිකරුවන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට තීරණය කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

- සංජය ලියනගේ
SathHanda

Share on Google Plus

0 comments:

Post a Comment