ජනපති පියාගේ උදහසට ලක්වූ නාස්තිකාර දියණිය.



-ෆවුස් මොහොමඩ් 

දැඩි මතධාරී ජන නායකයකු ලෙස වසර 27ක් පුරා උස්බෙකිස්තානයේ ජනාධිපතිධුරය දරමින් සිටි ඉස්ලාම් කරිමෝව් පසුගියදා ඇතිවූ හදිසි හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්විය. ත්‍රස්ත මර්දන ප්‍රතිපත්තියක් ගෙන ගිය මේ 78 හැවිරිදි ජනාධිපතිවරයා සිය ප්‍රතිරූපය මෙන්ම පාලන තන්ත්‍රය ගැනත් දැඩි පිළිවෙතක් අනුගමනය කළ අතර ඔහුගේ නායකත්වයට අභියෝගයක් වූ සියලුම පුද්ගලයන් තරාතීරම නොබලා සිරගත කිරීමට කටයුතු කිරීමෙන් දැඩි විවේචනයට පත්වූ නායකයකු විය.

මීට වසර කිහිපයකට පෙර ඔහුගෙන් පසුව නායකත්වයට පත්වනු ඇතැයි කවුරුත් අනුමාන කළ තම වැඩිමල් දියණිය ගුල්නාරාගේ මූල්‍ය දූෂණ හා ඇය බලය අනිසි ලෙස භාවිත කිරීම නොරිස්සූ හෙතෙම ඇය නිවාස අඩස්සියේ තැබීමට දෙවරක් සිතුවේ නැත. අනතුරුව සිය දේශපාලන කටයුතු සඳහා සමීපයට ගත්තේ ඔහුගේ බාල දියණිය ලෝලාවය.

වසර 2014 දී උස්බෙකිස්තානය කැළඹූ සුරූපි ගුල්නාරාගේ නිවාස අඩස්සියේ උණුසුම නැවත මතුවූයේ ඉස්ලාම්ගේ අභාවයත් සමගිනි. උස්බෙකිස්තානයට දින තුනක ශෝක කාලයක් උදා කරමින් පෙරේදා හිටපු ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවය ඔහුගේ ජන්ම භූමිය වූ සමාර්කාන්ද් හී පැවැති අතර ඊට ඔහුගේ වැඩිමල් දියණිය සහභාගි නොවීම කාගෙත් අවධානය යොමු වූ කාරණාවක් විය. සැබැවින්ම 44 හැවිරිදි මේ සුන්දර ගැහැනිය ජීවතුන් අතර සිටින්නේදැයි යන්න මේ වනවිට කාගෙත් සැකයට තුඩු දුන් මාතෘකාවක් බවට පත්වූයේ ඒ සමගිනි.

උස්බෙකිස්තානයේ කුමරිය නමින් එකල කාගෙත් ආදරයට පාත්‍රවී සිටි ගුල්නාරා දැන් හඳුන්වනු ලබන්නේ සිරගත කළ කුමරිය නමිනි. මේ සුන්දර ගැහැනියගේ ජීවිතය එක් අතකින් එහෙම පිටින්ම විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍යමය ශෝකාන්තයක් බඳුය. ඉස්ලාම් කරිමෝව්ගේ අවමංගල උත්සවයත් සමග කවුරුත් කතාබහ කරන්නට වූයේ නිවාස අඩස්සියේ පසුවන බවට විශ්වාස කළ ගුල්නාරා ගැනය.

සිය ආධිපත්‍යයට එරෙහි වන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ ඉස්ලාම් සිය වැඩිමල් දියණියට දුන් දඬුවම පිළිබඳ ඇයගේම බාල සොයුරිය සහ මව වන ටට්යානා මුනිවත රැකිමත් ඇතැමුන්ගේ සැකයට හේතුවී තිබේ.

ගුල්නාරා ගැන උස්බෙකිස්තාන වැසියන් පමණක් නොව බොහෝ රටවල අවධානය යොමුවූයේ ජීවිතයෙන් සමුගත් හිටපු ජනාධිපතිවරයාගෙන් පසුව එරට මුල්පුටුවට පත්වීමේ ආසන්නතම පුද්ගලයා බවට ඇය පත්වී සිටි නිසාවෙනි.

ජනපතිවරයාගේ මේ නාස්තිකාර දියණිය උසස් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව සිය ජනපති පියාගේ රජයේ බලවත් භූමිකාවකට පණ පොවමින් එරට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ උපදේශිකාව බවට පත්වූයේ 23 හැවිරිදි වියේදීමය. අනතුරුව ඊට වසර තුනකට පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ උස්බෙකිස්තාන තානාපතිවරිය ලෙස සිය බල පරාක්‍රමයේ දිග පළල පෙන්නුම් කරමින් පියාගේ අවෑමෙන් පසුව එරට ජනපතිධුරයට පත්වීමට ආසන්නතම පුද්ගලයා බවට පත්වූවාය.

වසර 2008 දී නියෝජ්‍ය විදේශ ඇමැතිනි ලෙස උස්බෙකිස්තාන රජයේ අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව මේ සුරූපි තරුණිය ලොව පුරා විවිධ රටවල ආකර්ශනීය ප්‍රතිරූපයක් ඇති කරගත්තාය.

උස්බෙකිස්තානයේ මෙන්ම සෙසු රටවලත් ගුල්නාරාගේ ජනප්‍රියත්වය ඉහළයාමට බෙහෙවින් බලපෑ කාරණාවක් වූයේ ඇයගේ ආකර්ශනීය රූ සපුව පමණක්ම නොවීය. කුඩා වියේ සිටම ගායනයටත්, මෝස්තර නිරූපනයටත් දැඩි ඇල්මක් දැක්වූ ඇය ඇමැතිවරියක ලෙස පත්වීමට වසර දෙකකට පෙර නිකුත් කළ ඇගේ පළමු ගී තැටියත් ඊට වැඩි බලපෑමක් ඇති කළේය.

වසර 2006 දී ඇය මේ ගී තැටිය නිකුත් කළේ ‘ගූගූෂා‘ නමිනි. එය ජනපති පියා ඇය ආමන්ත්‍රණය කළ සුරතල් නාමයයි. දේශපාලන විචාරකයන් කියන පරිදි ඇය මේ ගී තැටිය එලිදැක්වූයේ උස්බෙකිස්තානයේ ඇති ඇගේ ජනප්‍රියත්වය තවත් ඉහළ දමාගැනීමේ උපක්‍රමයක් ලෙසටය. මේ ගීත ඇල්බමය එරට ජනතාවට මිළ දී ගැනිමට රජයෙන් බල කළ බවට ද ආරංචි පැතිර ගියේය. එය කෙසේවුවත් එරට තරුණ කොටස් අතරේ ගුල්නාරාගේ ගීත ඇල්බමයට වඩා ඇගේ මනස්කාන්ත රූ සපුවට වැඩි ආකර්ශනයක් යොමුවූ බව කවුරුත් කියති.

දේශපාලනයට මෙන්ම අලෙවිකරණයටත් උපන් හපනියක වූ ගුල්නාරා සියලු දේශපාලන ක්‍රියාකාරකම් අතරතුරදීම ස්විට්සර්ලන්තයෙන් ආනයනය කරනු ලැබූ මිල අධික රන් ආභරණ සහ අත් ඔරලෝසු අලෙවි කිරීමේ ව්‍යාපාරයකට ද අත ගැසුවාය.

සිය දේශපාලන භූමිකාව ඒ සඳහා ඇයට කදිම තෝතැන්නක් බවට පත්වූ අතර රජයේ සියලු ආනායනික බදු මග හැර තම ව්‍යාපාරය නිදහසේ කරගෙන යාමට ඇය සමත්වූවාය. ඒ සියල්ල මැද මෝස්තර නිර්මාණයත්, නිරූපණයත් සිය ජීවිතයේ තවත් කොටසක් බවට පත්කරගත් ගුල්නාරා ඉන් විදෙස් වෙළෙඳපොලේ වෙනම ප්‍රතිරූපයක් මවා ගැනීමටත් සමත්වූවාය.

පාසල් අධ්‍යාපනය හදාරන අතරතුරදීම නිව්යෝක් නුවර රන් ආභරණ මෝස්තර නිර්මාණය පිළිබඳ පාඨමාලාවක් හැදැරීමට ගිය ෙගුල්නාරා එහි දී මන්සූර් මක්සූඩි නමැති අමෙරිකානු ව්‍යාපාරිකයකු සමග ඇතිකරගත් පෙම් පළහිලව්වක් මත යුග දිවියට ඇතුලත් වෙද්දී අවුරුදු 19ක නව යොවුන් වියෙහි පසුවූ යුවතියකි.

ඇය මුල් වරට මවක වූයේ විසි හැවිරිදි වියෙහි පසුවෙද්දීය. ඇගේ පළමු දරුවා පුතකු විය. ඇය ඔහුට තැබුවේ පියාගේ නමය. අනතුරුව ඉමාන් නමින් දියණියක බිහි කිරිමෙන් පසුව ඕ සැමියා හැර දමා දරු දෙදෙනාත් කැටිව නැවත උස්බෙකිස්තානය බලා ගියාය.

ඇයට උස්බෙකිස්තාන උසාවියකින් දික්කසාද වීමේ අයිතිය ලැබුණත් අමෙරිකානු සැමියා එය පිළිගත්තේ නැත. ඔහුට අවශ්‍ය වූයේ දරු දෙදෙනා තම අයිතියට ගැනීමටය. ඒ සඳහා නිව්යෝක් නුවර උසාවියක ඔහු විසින් ගොනු කරනු ලැබූ දික්කසාද නඩුවට ඇය පැමිණියේ නැත. කෙසේවුවත් නිව්යෝක් නුවර උසාවියෙන් ඔහු දරු දෙදෙනාගේ භාරකරත්වය ලබාගත්තේය.

මේ අනුව ඉන්ටර්පෝල් පොලීසිය විසින් ඇයට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීමට පියවර ගත් අතර ඉන් උරණ වූ ගුල්නාරාගේ ජනපති පියා සිය අකීකරු බෑණාට දන්වා සිටියේ උස්බෙකිස්තානයට පැමිණියහොත් සිරගත කරන බවය. ඉන් නොනැවතුණු ජනපති ඉස්ලාම් සිය රටෙහි පදිංචිවී සිටි මක්සූඩ්ගේ ඥාතීන් කිහිපදෙනකුම අල්ලා සිරගත කිරිමට කටයුතු කළේය. ඔහුගේ තවත් ඥාතීන් කිහිපදෙනකු රටින් පිටුවහල් කරනු ලැබීය.

මෙලෙස ඉතා උණුසුම් මුහුණුවරක් ගත් ගුල්නාරාගේ දික්කසාද නඩුව 2008 දී සමථයකට පත්වූයේ දරු දෙදෙනාගේ අයිතිය පමණක් නොව අමෙරිකානු ඩොලර් මිලියන 60ක වන්දියකුත් ඇයට සිය සැමියාගෙන් ලැබීමෙන් පසුවය.

එය ඇගේ පෞද්ගලික ජිවිතයේ කවුරුත් දන්නා පැත්තය. සිය දික්කසාදය සමථයකට පත්වෙද්දී ඕ උස්බෙකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති සෝඩික් සෆෝවේව් සමග පෙම් සම්බන්ධතාවක පැටලී සිටි බවත්, දෙදෙනා හොර රහසේම විවාහ වී සිටි බවත් රහසක්ව තිබිණි. ඔහු ඒ වනවිට සිය පළමු බිරියගෙන් දික්කසාද වී සිටියේය. මුලු මනින්ම දේශපාලන අරමුණක් ඔස්සේ කෙරුණු මේ විවාහයට ජනපති ඉස්ලාම්ගේ පූර්ණ ආශිර්වාදය හිමිවී තිබිණි. ඉන් පසුව ගුල්නාරා සිය පියාගේ අවෑමෙන් උස්බෙකිස්තානයේ ජනපති පුටුවට යනු ඇතැයි අනාවැකි පිල අනාවැකි පළවෙන්නට පටන් ගත්තේය.

සිය ගායනයත්, මෝස්තර නිරූපනයත්, ආකර්ශනීය රූ සපුවත් දේශපාලන ජීවිතයට මෙන්ම තවත් බොහෝ දේවල්වලට නොමසුරුව පාවිච්චි කළ ගුල්නාරා රාජතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා ලොව පුරා බොහෝ රටවල ඇතිකරගත්තේ ද ඒ හරහාය.

සිය පියාගේ දේශපාලන බලයෙන් මෙසේ දහසින් බැඳි පියලි මැද ගෙවමින් සිටි ගුල්නාරාගේ අති සුඛෝපභෝගී ජීවන රටාවට කණකොකා හඬන්නට පටන්ගත්තේ සිය පියාගේ දේශපාලන බලයට එරෙහිව ට්විටර් වෙබ් අඩවියෙන් ප්‍රකාශ කිහිපයක් නිකුත් කිරීමත් සමගය.

ඒ වනවිටත් පෞද්ගලික රූපවාහිනී නාලිකා කිහිපයක්, ධනවත් ව්‍යාපාර මෙන්ම සුබසාධන ව්‍යාපෘතී රැසකුත් වහාම අත්හිටවූ ජනපති පියා ඇය නිවාස අඩස්සියට පත් කිරීමට පියවර ගත්තේය.කොහොමටත් ආරම්භයේ සිටම තම අකීකරු දියණියගේ අධිවේගී ගමන ගැන කිසිදු පැහැදීමක් නොතිබූ ඇගේ මව ටට්යානාත්, බාල සොයුරිය 38 හැවිරිදි ලෝලාත් ගුල්නාරා වෙනුවෙන් ඉදිරිපත් වූයේ නැත.

ගුල්නාරා නිවාස අඩස්සියට පත්වීමත් සමග ඊට මාස කිහිපයකට පෙර ඇය විසින් සන්නිවේදන සමාගම් කිහිපයකින් අල්ලස් මුදල් ගැනීමේ සිදුවීමක් ද අනාවරණය විය. උස්බෙකිස්තානු රජයේ සියලු වරප්‍රසාද ලබාදීමට ඇය මෙසේ ලබාගත් අල්ලස් මුදල ඩොලර් බිලියනයක් බව එරට පුවත්පත් හෙළිදරවු කළේය. එහෙත් ඒ සියලු චෝදනා ඇය විසින් ප්‍රතික්ෂේප කළ අතර තමා නිවාස අඩස්සියට පත්වීමට මූලික හේතුව වූයේ පියාගේ දැඩි මතධාරී දේශපාලන ප්‍රතිපත්තියට විරෝධතා පළ කිරිම පමණක් බව කියා සිටියාය.

එහෙත් මියයනතුරුම පියාගෙන් ඇයට සමාවක් නම් නොලැබිණි.





Share on Google Plus

0 comments:

Post a Comment