'ඉගිල්ලෙන මාළුවෝ' සිට 'දැවෙන විහඟුන්' දක්වා


සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ 'දැවෙන විහඟුන්' චිත්‍රපටය (Burning Birds) විසි එක් වන බුසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරී අංශය සඳහා තේරී තිබේ.

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'අනන්ත රාත්‍රිය' සහ අරුණ ජයවර්ධනගේ 'නිකිණි වැස්ස' යන චිත්‍රපටවලින් පසු සිංහල ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් බුසාන් උළෙලේ තරඟකාරී අංශයට තෝරා ගැනුණු පළමු අවස්ථාව මෙයයි.

"බුසාන් සිනමා උළෙලට චිත්‍රපටයක් තේරුණා කියන්නේ, සිනමා කර්මාන්තයේ සිටින අයගේ අවධානයක් දිනා ගැනීමේ අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. මීට අමතරව පුද්ගලික ගත්තොත් මෙය විශාල ජයග්‍රහණයක්," සංජීව පුෂ්පකුමාර කියා සිටියේ සාකච්ඡාවකට එක් වෙමිනි.

සංජීව පුෂ්පකුමාරගේ කුළුඳුල් සිනමා නිර්මාණය වූ 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටයට ජාත්‍යන්තර අවධානයට ලක් වූ නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ පළ වූයේ වෙනස් ආකාරයේ ප්‍රතිචාරයක්.

''කිසියම් අභිලාශයක් එක්ක තමයි මම සිනමාවට ඇතුල් වුණේ. ඒ නිසා ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ඇති වෙච්ච ක්‍රියාවලිය පිළිබඳ මට කණගාටුවක් නැහැ.''

''දේශපාලන අර්ථයෙන් කලාකරුවන්ට තිබෙන නිදහස පිළිබඳ කනගාටු වෙන්න පුළුවන්. නමුත් සිනමාකරුවෙක් වශයෙන් මම කනගාටු වෙන්නේ නැහැ. ඒක මගේ ජීවිතයේ එක සිදුවීමක් පමණයි.''

ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටය හරහා ලැබුණු අන්තර්ජාතික පිළිගැනීම සිය දෙවන සිනමා නිර්මාණය සඳහා අඩිතාලමක් වූ බවයි සංජීව පුෂ්පකුමාර පවසන්නේ.

''මගේ ඉගිල්ලෙන මාළුවා චිත්‍රපටය සිනමා උළෙල කීපයක දී පෙන්නන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව තුලින් අන්තර්ජාතික වශයෙන් මගේ නිර්මාණවලට හොඳ පිළිගැනීමක් තිබුනා," ඔහු පැවසීය.

''ඒ හරහා මට හැකිවුනා ප්‍රංශයේ කාන් (Cannes) සිනමා උළෙලදී මේ චිත්‍රපටය සඳහා තිර රචනය ලියන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ආයතන කීපයක දී මේ චිත්‍රපටය සඳහා මට අනුග්‍රහය ලැබුණා.''

තමන් විදේශීය සිනමා උළෙල ඉලක්ක කොට චිත්‍රපට නිර්මාණය කරන බවට ඇතැමුන් දරන මතය නිවැරදි නොවන බවත් නවක සිනමාවේදී සංජීව පුෂ්පකුමාර පේනවා දෙයි.

''අපි විදේශීය රටවලට චිත්‍රපට කරනවා කියලා බොහෝ අය හිතන්නේ. ඒක සම්පූර්ණයෙන්ම මුසාවක්. සිනමාකරුවෙකු විදිහට පවතින්න අවශ්‍ය නම්. කිසිම කෙනකුට තමාගේ රටේ චිත්‍රපටයක් පෙන්නන්නේ නැතිව ඒක කරන්න බැහැ.''

''තමන්ගේ රට තුළ ලැබෙන ආශ්වාදය සිනමාකරුවෙකුට වැදගත් වෙනවා. නමුත් අපේ රටේ තිබෙන යාන්ත්‍රණය හේතුවෙන් අපිට විශාල කාලයක් බලා ගෙන ඉන්න වෙලා තිබෙනවා.''

අනිකුත් රටවල මෙන් එවැනි අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු සිනමාකරුවන් එක්ව සංසදයක් බවත් සිනමා අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර වැඩිදුරටත් කියා සිටියේය.

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යා‍ම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මපි‍්‍රය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, පි‍්‍රයංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිසක් දැවෙන විහඟුන් සඳහා රංගනයෙන් දායක වෙති.

-BBC



Share on Google Plus

0 comments:

Post a Comment