නාමල්ගේ නඩුව කල් යයි - ගෝඨාභය ඇතුළු 8කට නොතීසි.


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද විභාගයට ගැනිණි.

ඒ, හෙලෝ කෝප් ආයතනයේ සහ එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවකි.

එම නඩුවේ සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළේය.

නඩුව දෙසැම්බර් 8 දක්වා කල් තැබිණි.

මේ අතර ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (01 දා) නොතීසි නිකුත් කළේය.

පසුගිය 2012 අගෝස්තු හත් වැනි දා හා 2015 ජනවාරි අට වැනි දා අතර කාලයේ මෙම පාඩුව සිදු කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයට දැන්වීය.

ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ සහ ජයරත්න පෙරේරා මෙහි සැකකරුවෝය.

එම පිරිස අතර හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් ද වෙති. ඒ හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් කොළඹගේ, අද්මිරාල් ජයන්ත පෙරේරා යන අයයි.

Share on Google Plus

0 comments:

Post a Comment