එජාපය “නොදැවී” 70 යි.


ළඹෙන සතියේ දී එක්සත් ජාතික පක්ෂය තම 70 වන සංවත්සරය සමරයි. දේශපාලන පක්ෂයක් ලෙස වසර 70ක් “නොදැවී” සිටිමින් සක්‍රීයව දේශපාලනයේ නිරත වීම යනු සුළුපටු කටයුත්තක් නොවේ. එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් එජාපය එය ජයගෙන තිබේ. රටේ පරම්පරා තුන හතරක ජන ජීවිත සමඟ ගැටෙමින් එජාපය මේ සා දුරක් පැමිණි ගමන දෙස මේ සුවිශේෂ මොහොතේ පසු විපරමක් සිදුකිරීම දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකුට පාඩු නොවේ.

මූලිකවම ගත් විට එජාපය යනු කිසියම් ඓතිහාසික කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් බිහි වූ සුවිශේෂ නිර්මිතයක්ය. එජාපය එම ඓතිහාසික කාර්යභාරය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස අත්පත් කරගැනුමය. මිනිසුන්, ජාතින් අනුව බෙදමින් අධිරාජ්‍යවාදීන් පාලකයින් ක්‍රියාත්මක කළ බෙදා වෙන්කර පාලනය ගෙනයෑමේ ප්‍රතිපත්ති‍ය ආපහු හැරවීමට නම් ඊට එරෙහිව පොදු ජාතික ඒකාග්‍රතාවක්, රට තුළ ගොඩනැඟීම 1945 වසර එළඹෙද්දී අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබිණි. අසල්වැසි ඉන්දියාවේ ඒ වන විට ගොඩනැඟී තිබුණක් මෙන් ජාතික කොංග්‍රසයක අවශ්‍යතාව ඒ සඳහා මෙරටට ද වුවමනා කර තිබිණි. කෙසේ වෙතත් එය පහසු කටයුත්තක් නොවිය. ජාතික සංගමය, මුස්ලිම් ලීගය, සිංහල මහා සභාව, බර්ගර් ලීගය, යෝනක සංගමය, මැලේ සංගමය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආදි ලෙස අතිශය ඉහළ දේශපාලන ධ්‍රැවිකරණයක් ඒ වන විට ලාංකේය මහපොළොව තුළ දැකගත හැකි වූ අතර, ඒ සියල්ල එක ධජයක් යටතට ගෙන ඒම පහසු කටයුත්තක් නොවීය. තත්ත්වය තවත් දරුණු කළේ ජී. ජී. පොන්නම්බලම් වැනි නායකයන් 50 : 50 ඉල්ලීම් ඉදිරිපත් කරමින් අධිරාජ්‍යවාදීන්ගේ බෙර පදයට පාද තැබීමට සූදානම්ව සිටි බැවිනි.UNP

ඒ වන විට රටේ පැවැති ප්‍රධානතම සංවිධානයක් වූ ලංකා ජාතික සංගමය ද කොටස් කිහිපයකට කැඩී බිඳී තිබු අතර අනිවාර්යයෙන්ම එහි ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුව තිබිණි. සෝල්බරි කොමිසම හමුවේ ශක්තිමත්ව මුහුණ දෙමින්, නිදහස වෙනුවෙන් වූ උනන්දුව ඇත්තක් බවට පෙරළා ගැනීමටනම්, කැඩී බිඳී ජාතින් අනුව පිහිටුවාගෙන තිබු සංවිධාන එක් ධජයක් යටතට රැගෙන එමින්, තනි පක්ෂයක් පිහිටුවීම පැහැදිලි අවශ්‍යතාවක් ව පැවතිණි. එම කාර්යයට උර දුන් ඩඩ්ලි සේනානායක හා ජේ. ආර්. ජයවර්ධන මහත්වරු විසිරී තිබු සියලු සංවිධාන එක් බලවේගයකට ගොනු කිරීම වෙනුවෙන්, තීරණාත්මක සාකච්ඡාවක් කැඳවීමට කටයුතු කළේය. බොරැල්ලේ, බොරැල්ල ෆ්ලැට්හි අංක 11/1 හි පැවැති එම රැස්වීමේ මුලසුන ඩී. එස්. සේනානායක මහතාට හිමිවූ අතර, ඉහළ සහභාගිත්වයක් හිමිවීම තුළ එය සාර්ථක රැස්වීමක් විය. සෝල්බරි කොමිසම හමුවේ ශක්තිමත් කේවල්කරණයකට යමින්, නිදහස දිනාගැන්ම සඳහා වූ අවසන් පියවර ශක්තිමත් කිරීමට රැස්වීමට පැමිණ සිටි හැම නායකයෙකුම පාහේ එකඟ වූ අතර ඒ වෙනුවෙන් නව පක්ෂයක් බිහි කිරීම අවශ්‍ය බව සියලු දෙනා පොදුවේ පිළිගත්හ. නව පක්ෂය කෙසේ හැඳින්විය යුතු ද යන බොහෝ දෙනාට තිබු ප්‍රශ්නය මේ රැස්වීමේදී මතු කළේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාය. ඉංග්‍රීසියෙන් යොමු කළ ඒ පැනයට මුලසුනේ සිටි ඩී. එස්. සේනානායක මහතා සැහැල්ලුවෙන් මුත් ක්ෂණික පිළිතුරක් දුන්නේය.

“දැන් අපි සියලු දෙනා එකට එකතු වී සිටින බැවින් අපි එය එක්සත් ජාතික පක්ෂය කියලා හඳුන්වමු” ඉංග්‍රිසියෙන් ඩී. එස්. ගෙනා එම යෝජනාව සිංහලට පරිවර්තනය කරමින්, “එක්සත් ජාතික පක්ෂය” ලෙස නව පක්ෂයේ නම හඬ නඟා පවසා ඇත්තේ පී. ද එස්. කුලරත්න මහතාය. එසේ ඓතිහාසික කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් බිහි වූ එක්සත් ජාතික පක්ෂය, තම මංගල මහ සභා රැස්වීම 1946 සැප්තැම්බර් 06 වැනිදා සන්ධ්‍යාවේ පවත්වන ලදී. සාමාන්‍යයෙන් සිකුරාදා දින‍ය සුබ කටයුතු සඳහා ලාංකිකයන් යොදා නොගන්නා මුත්, එදින ඒ සඳහා සුදුසුම දිනය බවට ජ්‍යොතිෂඥයන් කිහිප දෙනෙකුගේම මතය වී තිබිණි. නව පක්ෂයේ මංගල මහ සමුළුව ඇල්බට් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවැති අතර, එම නිවස අනගාරික ධර්මපාල තුමාගේ පවුලට අයත් බූදලයක් විය. මෙම රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය බිහිකර ගැනීම වෙනුවෙන් වූ යෝජනාව එස්. නඩේසන් මහතා ඉදිරිපත් කළ අතර, ටී. බී. ජයා මහතා විසින් එය ස්ථිර කරන ලදී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නව පක්ෂය සියලු ජාතීන් ගොනු කරගෙන සිටි බවට එම “සුසංයෝගය” කදිම සාක්ෂියක් විය. අපේක්ෂා කළ යුතු ආකාරයටම පක්ෂ නායකත්වය හිමි වූයේ ඩී. එස්. සේනානායක මහතාටය. බ්‍රිතාන්‍ය කිරිටය විසින් ප්‍රදානය කරන ලද “නයිට්” පදවිය පිළිනොගත් ඔහු ඒ වන විට රටේ ජනතාව අතර නායකයෙකු ලෙස පිළිගැනීමට ලක්ව සිටියේය. යටත්විජිත පාලකයන් සමඟ ද ඔහුට වූයේ ශක්තිමත් සම්බන්ධයකි. සෝල්බරි ප්‍රතිසංස්කරණය යටතේ ඉක්මනින්ම මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබූ බැවින්, නිදහස පිළිබඳ ඉල්ලීම පෙරමුණට ගෙන ඒමට සමගාමීව දේශපාලනිකව තම ගොනුව ශක්තිමත් කරගැනීමට ද නව පක්ෂයට සිදුව තිබිණි. එය ඒ හැටි අපහසු කාරණයක් නොවීය. එජාපය වටා ගොනුව සිටි නායකයන් තුළ වූ පෞද්ගලික පෞරුෂය එම “තරු” ගතිය තුළ ජනතාව, එය වටා ඒකරාශි වන්නට විය. නව පක්ෂයේ පණිවිඩය සාමාන්‍ය ජනතාව අතරට රැගෙන යාම වෙනුවෙන් “සියරට” නමැති, පුවත්පතක් ද ඇරැඹුණු අතර, එහි ප්‍රථම කලාපය 1947 අප්‍රේල් 08 වැනි සිකුරාදා නිකුත් විණි. එම කලාපය එජාපයේ අනාගත ගමන්මඟ හා වැඩපිළිවෙළ පිළිබඳ “මාර්ග සිතියම”ක් විය.

“එක්සත් ජාතික පක්ෂය යෝජනා කරනුයේ මිරිගු දියෙන් පිරි ජලාශයක් තැනීමටවත්, ආකාස ප්‍රසාදයන් තැනීමටවත් නොවේ. ජාතියක් වශයෙන් පරිණත වීමට අවශ්‍ය අනාගත අභිවෘද්ධිය සඳහා අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළකි. බිහිසුණු දරුණු ක්‍රියාදාමයන් සහිත විප්ලවයකට වඩා මධ්‍යම ප්‍රතිපදාව සහිත දියුණුවට වන වැඩපිළිවෙළකට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ප්‍රියමනාප වනු ඇත” සියරට මංගල කලාපයෙන් තිබු එම අදහස, එජාපයේ දේශපාලන අභිලාෂයන් මනාව පෙන්වා දෙයි.

සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ පිහිටුවූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සභිකයන් තෝරා ගැන්මේ ඡන්ද විමසීම 1947 වසරේ ජූලි හා අගෝස්තු මාසවලදී පැවතිණි. අද මෙන් එක් දිනයක නොව, කඩින්කඩ, දින කිහිපයකදී ජූලි හා අගෝස්තු මාසවලදී මැතිවරණය පැවැත්විණි. ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් මැතිවරණ සටනට පිවිසි එජාපය මාස කිහිපයක් ඇතුළත රටට නිදහස ලබා දෙන බවට පොරොන්දුවක් මැතිවරණයේදී ලබා දුන්නේය. පැවැති තත්ත්වය තුළ එය ආකර්ෂණීය පොරොන්දුවක් වුවද වමේ පක්ෂ එය පතුරු ගැසුවේය. එම සියලු කථා පාර්ලිමේන්තුවට යන තෙක් පමණයි යන්න කියමින් ඔවුහු යූඑන්පීයට අලුත් අර්ථකථනයක් ද සැපයූහ. Until the New Parliament ලෙස ඔවුහු යූඑන්පියේ තේරුම ද වෙනස් කළහ.

අපේක්ෂකයන් අනූඅට දෙනෙකු සමඟ එජාපය මැතිවරණ සටනට පිවිසුණු අතර, අවසන් ප්‍රතිඵල නිකුත් වෙද්දී ඊට මන්ත්‍රී ධුර 42ක් හිමිව තිබිණි. කෙසේ වෙතත් එය අපේක්ෂා කළ මට්ටමේ ප්‍රතිඵලයම නොවීය. පාර්ලිමේන්තු බලය සඳහා අවශ්‍ය පැහැදිලි බලයක් හිමිකර ගත නොහැකි වුවද ස්වාධීන අපේක්ෂකයන් විසිඑක් දෙනෙකු මැතිවරණය ජයගෙන තිබු බැවින් ඉන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් නව රජය පිහිටුවීමට එජාපය තීරණය කළේය.

ආණ්ඩු බලය හිමිකර ගත් එජාපය මැතිවරණ සමයේ දී පොරොන්දු ප්‍රකාර වූ ආකාරයටම මාස හයක් ඇතුළත රටට, ඩොමිනියන් තත්ත්වය, ලබාගැන්මට කටයුතු කළේය. අසල්වැසි ඉන්දියාවට ඒ සඳහා ලේ හැලීමට හා විශාල මිලක් ගෙවීමට සිදුවූ මුත්, උපක්‍රමික ගනුදෙනුවක් තුළ මෙරටට නිදහස ලබාගැන්මට මහාමාන්‍ය ඩී. එස්. සේනානායක ඇතුළු එජාප නායකයන්ට හැකියාව හිමි විණි. එය සුවිශේෂී ජයග්‍රහණයක් විය. ඉන්දියාව නිදහස හිමිකර ගනිද්දී, පාකිස්තානය යනුවෙන් වෙනම රටක් බිහි වුවද එක රටක් ලෙස එක ධජයක් යටතේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීමට අපට හැකියාව ලැබිණි.

නිදහස සාක්ෂාත් කරගැන්මට අවැසි නායකත්වය සැපයු එක්සත් ජාතික පක්ෂය මේ රටේ සමාජ ආර්ථික ප්‍රගමනය වෙනුවෙන් පශ්චාත් නිදහස් සමයේ කළ දෑ යළි යළි සිහිපත් කිරීම අවශ්‍ය නොවන තරම්ය. ඊට අදාළ ලාභ අලාභ ගිණුම සැකසීමේදී සිදුවිය යුතු දෑ මෙන්ම නොසිදුවිය යුතු දෑ ද සිදුව තිබේ. කෙසේ වෙතත් එක් දෙයක් නම් පැහැදිලිය. ඒ නිදහසින් පසු මෙරට සමාජ දේශපාලන ආර්ථික හැඩතල නිර්මාණයේදී එජාපයෙන් තරම් මැදිහත් වීමක් සෙසු එකඳු හෝ පක්ෂයකින් සිදු නොවුණ බවය. දේශපාලන නිදහස මෙරටට ලබාගැන්මට නායකත්වය සැපයු එජාපය නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ජනතාවට සහතික කිරීම රජයක මූලික වගකීම ලෙස තදින් විශ්වාස කළේය.

අධිරාජ්‍යවාදි ගැති පක්ෂයක් ලෙස වාමාංශිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුවද මහරජවරුන්ගෙන් පසු මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට එජාප රජය වෙතින් හිමි වූ “තල්ලුව” සුළුපටු නොවේ. ඒ කටයුත්තට අදාළව ස්වර්ණමය යුගය වූයේ ඩී. එස්. සේනානායක යුගයයි. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිටම කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම පිළිබඳ අදහස් සේනානායක මහතාට විය. අගමැති වූ පසු ඒ කටයුතු ඔහු තවත් වේගවත් කළ අතර, කෘෂිකර්මාන්තයට අදාළ යටිතල පහසුකම් සඳහා ආයෝජනය වැඩි කිරීමට ආරම්භයේ සිටම කටයුතු කළේය. ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය වැනි වාරි ව්‍යාපෘති පමණක් නොව රටේ ජල විදුලි බලය නිපදවීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා ලක්ෂපාන වැනි බලාගාර පිහිටුවීම ද ඊට සමාන්තරව ඇරැඹිණි.

ඩී. එස්. සේනානායකයන් සැපයු එම ආරම්භයේ ඉදිරියටම ගිය එජාපය, තමන් පාලන බලයේ සිටි සැම අවස්ථාවකදීම සුබසාධකවාදය ශක්තිමත් කිරීමට කටයුතු කළේය. ඒ තමන්ට බලය ලබා දෙන්නා වූ ජනතාවට සේවය කිරීමේ වගකීමක් ඇති බවට එජාපය විශ්වාස කළ බැවිනි. නොමිලේ පාසල් පොත්, නොමිලේ පාසල් නිල ඇඳුම්, පාසල් සිසුනට දිවා ආහාරය, ජනසවිය, ඇඟලුම් කම්හල්, නිදහස් වෙළෙඳ කලාප, මහවැලිය, නිවාස වැඩපිළිවෙළ, මහපොළ, තරුණ සේවා සභාව, ආදි රට තුළ අදත් කථා කරන මේ සියල්ලම එජාපයේ නිර්මාණයන්ය. පිටස්තර ලෝකයෙන් වැඩී තිබු රටක් යළි පිටස්තර ලෝකයට 1977 දී විවෘත කළේ එජාපයයි. විවෘත ආර්ථිකය හඳුන්වාදීම සම්බන්ධයෙන් ප්‍රබල විවේචන එල්ල වූමුත්, අද එය රටේ සමාජ දේහයට සිදුකර ඇති බලපෑම සුළුපටු නොවේ. පැහැදිලිවම එය පිටතින් ඇති දියුණු ලෝකය සමඟ ශ්‍රී ලංකාව යා කළේය. එදා විවෘත ආර්ථිකය හඳුන්වා දුන් සමයේ මෙරට තිබුණු පරිගණක ගණන දුසිමකටත් වඩා අඩුය. ඒ කිහිපය ද තිබුණේ මහ බැංකුවේ හා විභාග දෙපාර්තමේන්තුවේ ය. නමුත් අද පරිගණකයක් නොමැති නිවසක් සොයා ගැනීම සෑහෙන දුෂ්කර වී තිබේ. ජංගම දුරකථනය, පරිගණකය බවට පරිවර්තනය වී ඇත. තත්ත්වය ඒ තරමටම වෙනස් වී තිබේ. එම තාක්ෂණික පිම්ම පැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේ එජාපය බව තර්ක විරහිතය.

හැත්තෑ වසරක එජාප දේශපාලනය පිළිබඳ යළි ආපසු හැරි බැලීමක් සිදුකිරීමේදී දැකගත හැකි තවත් සුවිශේෂ කාරණයක් වනුයේ, එය දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා කෙටි මාර්ග නොසෙවූ පක්ෂයක් බවය. ශ්‍රී ලංකාවේ ජනප්‍රියවාදී දේශපාලනය තුළ ජාතිවාදය, යනු හොඳින් අලෙවි කළ හැකි කාරණයක් වුවද එජාපය එය මුල සිටම ප්‍රතික්ෂේප කළේය. ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය ධුරය දරන සමයේ, “පංච මහා බලවේගය” විසින් විකල්ප දේශපාලනයක් බිහි කිරීම වෙනුවෙන් වූ තම සැලැස්ම රැගෙන පළමුව මුණගැස‍ුණේ ඩඩ්ලි සේනානායක මහතාවය. එම ඉල්ලීම ඉදිරිපත් කරමින්, ඒ සඳහා අවශ්‍ය නායකත්වය සපයන ලෙස ඉල්ලා සිටි මොහොතේ ඩඩ්ලි සේනානායක මහතා එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළේ එම දේශපාලනය හරහා තාවකාලික දිනුමක් ලබාගත හැකි වුවද, එය රටට ජයග්‍රහණයක් ලබා නොදෙන බව කියමිනි. මේ අවස්ථාවේදී එක් ප්‍රකට බටහිර කියමනක් සිහිපත් වේ. “දේශපාලනඥයා ඊළඟ මැතිවරණය අරමුණු කරගනී. රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරපුර අරමුණු කරගනී.” එජාපයේ මුල් කාලීන නායකයන් තුළ එම ගුණය නොඅඩුව දක්නට ලැබිණි. පසුගිය කාලයේ දී පවා අතිශය අවාසිදායක තත්ත්වයන් මධ්‍යයේ වුවද ජාතිවාදී නොවීමට එජාපය වග බලාගත් බව මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුය. ඒ නිසාම වසර ගණනාවක් විපක්ෂයට වී සිටීමට සිදු වුවද තම පූර්වගාමි නායකයන් පවත්වාගෙන ආ ප්‍රතිපත්තිය ඉදිරියටම රැගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේය.

එජාප දේශපාලනය රටේ වැඩි පිරිසකගේ හද මන බැඳ ගැනීමට හේතු වී ඇති තවත් කාරණයක් වනුයේ සෑහෙන මට්ටමක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ තුළ පැවතීමය. මේ කාරණය පිළිබඳ විවිධ විවේචන යම් යම් මට්ටමින් පැවතිය හැකිමුත්, රටේ සෙසු දේශපාලන පක්ෂවලට සාපේක්ෂව එජාපය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක බව පෙනෙන්නට ඇත. පක්ෂ නායකයාට පවා අභියෝග කළ හැකි තරමට එහි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ය. ඒ සම්බන්ධ උදාහරණ අනන්තවත් පෙන්වා දිය හැකිය. එය අප වැනි දේශපාලන සංස්කෘතිය මනාව වර්ධනය නොවු රටක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන තත්ත්වයකි.

“උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය” ලෙස කියමින් දේශපාලන විවේචන නිරතුරුවම එජාපයට එරෙහිව එල්ල වුවද නිදහසින් පසු යුගයේ නිර්ධන පන්තියෙන් පැමිණි පුද්ගලයකු මෙරට රාජ්‍ය නායක ධුරයට පළමුව රැගෙන ඒමේ ගෞරවය හිමි වනුයේ එජාපයටය. ඒ රණසිංහ ප්‍රේමදාස මහතාව රටේ ජනාධිපති පුටුවට රැගෙන එමිනි. බැරැක් ඔබාමාව බලයට එන තෙක් බලා සිටීමට ඒ වෙනුවෙන් ඇමෙරිකාවට සිදුවූ මුත්, එජාපයේ මැදිහත් වීමෙන් නවසීය අනූව දශකය ඇරැඹීමටත් පෙරම, එය මෙරට මහපොළොවේ ඇත්තක් බවට පත්විණි. ග්‍රාමීය නිර්ප්‍රභු දේශපාලන නායකයන්ට දේශපාලන හිණිම‍ඟේ ඉහළට නැඟීමට ඇති අවස්ථා, එජාපය පුළුල් කිරීම සාධනීය මුත් දේශපාලනය වැනි ගරු සේවාවක් දැරීමට කිසිසේත්ම නුසුදුස්සන් ද ඒ හරහා ඉදිරියට පැමිණීම නිෂේධනාත්මක තත්ත්වයක් විය. කෙසේ වෙතත් එය පවතින සමාජ ක්‍රමය තුළ නොවැළැක්විය හැකි කාරණයක් වී තිබේ. දේශපාලනයට නොගැළපෙන එබඳු “ලුම්පන්” පන්තියක් සමාජ ක්‍රමය තුළ පොදුවේ තහවුරු වීම දේශපාලන පක්ෂ බේදයෙන් තොරව අතීත පූර්වගාමී නායකයන්ට කළ අපහාසයක් මය.

දේශපාලනය “කටගැස්මක්” කර නොගැන්මට නිදහසින් පසු යුගයේ සිටි අතීත නායකයන් කටයුතු කළේ ක්‍රියාවෙන්ම ඒ සඳහා අවශ්‍ය ආදර්ශ සපයමිනි. සිවු වරක් රටේ අගමැතිකම් කළ ඩඩ්ලි සේනානායක මහතා මිය යද්දී ඔහුගේ බැංකු ගිණුමේ ශේෂය ලෙස තිබුණේ රුපියල් හාරසීය ගණනකි. උපතින්ම මහා ධනවතෙකු වූ ඩඩ්ලි කිසි දිනෙක දේශපාලනය උදර පෝෂණයට හෝ තම හිතවතුන්ගේ ප්‍රයෝජනයට යොදාගත්තේ නැත. 1965 දී ඩඩ්ලි සේනානායක මහතා බලයට පැමිණි අවස්ථාවේ ශ්‍රීලනිප රජයන් යටතේ ජනසතු කරන ලද ආයතන පළමු අයිතිකරුවන්ටම ලබා දෙනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කළ ද එසේ වූයේ නැත. ඒ වෙනුවට ටී. ඒ. සුගතදාස මහතා යටතේ ජනසතු සේවා අමාත්‍යාංශය පිහිටුවා ඉහත කී ආයතන දියුණු කිරීමේ වගකීම පවරන ලදී. තවත් සමාරම්භක එජාප නායකයකු වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාව මේ අවස්ථාවේදී සිහිපත් වේ. 1961 ඔක්තෝබර් මස 26 වැනි දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ආර්. එස්. පැල්පොල මහතා වෙත, කන්නන්ගර මහතා යැවූ ලිපිය අපට පෙන්වා දෙනුයේ අවංක දේශපාලන නායකයකු පිළිබඳ කථාන්දරය මිස වෙනකක් නොවේ. මේ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි.

“රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලයකටත් වඩා වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත් වී තිබෙන අසරණ තත්ත්වයන් නිසා හදිසි මූල්‍යාධාරයක් අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි. මාගේ මේ ඉල්ලීම, ඉදිරිපත් කිරීමට හේතු සාධක වශයෙන්, පහත සඳහන් කරුණු කිහිපය ඔබතුමා ඉදිරියේ තැබීමට මම අදහස් කරමි. ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයින්ගෙන් හා හිතවතුන්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍යය රැකගැන්ම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී. මිත්‍රයින්ගෙන්, නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ, රජයේ ඇමැති තනතුරක් දැරු මා වැන්නෙකුට කිසිසේත්ම තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මගේ විශ්වාසයයි” එසේ කියමින් එම ලිපියෙන් කන්නන්ගර මහතා රජයෙන් ක්ෂණික සහනයක් ඉල්ලා තිබිණි.

මේ රටට, අධ්‍යාපනයට සුවිශේෂි සේවාවක් ඉටුකළ කන්නන්ගර මහතාට අවසානයේ අත්ව තිබූයේ එබඳු දුක්ඛදායක ඉරණමකි. ඒ ඔහු දේශපාලනය තම උද්ඝෝෂණයට යොදා නොගත් බැවිනි. එම ඉල්ලීම පිළිබඳ සානුකම්පිත වෙමින් රුපියල් දසදහසක පාරිතෝෂික දීමනාවක් ගෙවූ අතර, පසුව මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් පිරිනමන ලදී. පසුව එය රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කළේය.

එජාපයේ හැත්තෑ වසරක ඉතිහාසය දේශපාලනය කිසිදා රැකියාවක් හෝ ධනෝපායාන මාර්ගයක් කර නොගත් මෙබඳු පුද්ගල චරිත ගණනාවකින් අලංකාරව පවතී. මේ කාරණය තවත් විස්තර කළහොත් ජේ. ආර්. ජයවර්ධන මහතා කිසි දිනෙක අරලියගහ මන්දිරය තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත්තේ නැත. රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව ද තත්ත්වය එසේමය. කරු ජයසූරිය මහතා තමනට හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර 05ක් භාරගත්තේ නැත. එම මාහැඟි ආදර්ශ අදත්, ඒ ලෙසම පවතිනවා ය කියා අප කියන්නේ නැත. ධන බලය, මැර බලය දේශපාලන ක්‍රමය තුළ තහවුරු වීමත් සමඟ එදාට සාපේක්ෂව තත්ත්වය සෑහෙන වෙනස් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය පිළිබඳ අතීතාවර්ජනයක් සිදුකරන මේ මොහොතේ ඔවුන් වෙතින් වූ අඩුපාඩු ද සඳහන් නොකළහොත්, එය මේ සටහන ඒක පාක්ෂික එකක් බවට පත් කරයි. විධායක ජනාධිපති ක්‍රමය මේ රටට හඳුන්වා දීමට ගත් තීරණය ඔවුන් වෙතින් වූ බරපතළ අත්වැරැද්දකි. වර්තමනයේදී එජාපය එය පිළිගෙන එය නිවැරැදි කිරීමට ඉදිරිපත්ව සිටීම සතුටට කරුණකි. ජනවාර්ගික අවිශ්වාසය බරපතළ ලෙස වැඩි කිරිම ඇතුළු ගැටලු රැසක් නිර්මාණය කිරීමට විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීමට ගත් තීරණය හා එහි අතුරු ප්‍රතිඵල සෑහෙන දුරට බලපෑවේය. විධායක ජනාධිපති ක්‍රමය යනු වඳුරෙකුට දැලි පිහිය ලබාදීමක් බව පසු කාලයේදී මනාව රටට පෙනී යන ලදී. අසූවේ වැඩ වර්ජනය, 83 කළු ජූලිය වැනි කුප්‍රකට සිදුවීම්වලදී එජාපය දැක්වූ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් තදබල විවේචන සමාජගතව පවතී. සර්ව සම්පූර්ණ පක්ෂ ලොව නැතුවා සේ එජාපය වෙතින් ද අඩුපාඩු සිදු නොවූවා නොවේ. අඩුපාඩු සිදු විය. එහෙත් වඩාත් වැදගත් වනුයේ ඒ අඩුපාඩු නිවැරැදි කරගනිමින් ඉදිරිය බලා යෑමට එජාපය තීරණය කර තිබීමය.

සෑහෙන කලකට පසු එජාපය යළි ආණ්ඩු බලයට පත්ව සිටී. දශකයකට ආසන්න කාලයක් පැවැති අශීලාචාර පාලනයක් පරාජයට පත්කරමින්, ජනතාව එජාපය බලයට රැගෙන ආවේ, විශාල බලාපොරොත්තු, ප්‍රාර්ථනා පෙරදැරිවය. එබැවින් ජනතාව තුළ දැල්වුණු ඒ අහිංසක ප්‍රාර්ථනාවට සාධාරණයක් ඉටුකිරීමේ යුතුකමක් වත්මන් එජාප නායකයන්ට ඇත. සහිතකවම එජාපයේ ඉදිරි අනාගතය නොඑසේනම් එයට ගමන් කළ හැකි දුර තීරණය වනුයේ, ඒ සම්බන්ධව පෙන්වන හැකියාව අනුවය.

වටපිටාවේ දුර්වලතා හා සීමාසහිතකම් නිසා ඇතැම් විට අපට එජාපය සැබෑ ප්‍රමාණයට වඩා විශාලව පෙනෙනවා විය හැකි ය. නමුත් එක් දෙයක් නම් තර්ක විරහිතය. ඒ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රගමනය වෙනුවෙන් එජාපය සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ පක්ෂයක් බව ය. එය අප පමණක් නොව එජාපයේ දේශපාලන සතුරන් පවා පිළිගන්නා කරුණකි.

-චාමර ලක්ෂාන් කුමාර
© Colombo Telegraph

Share on Google Plus

0 comments:

Post a Comment