කොටි ආයුධත් එක්ක පාතාල කල්ලි 40ක් රට පුරා සැරිසරයි.


යුද සමයේ සොරාගත් ගිනි අවි කුලියට දෙමින් ක්‍රියාත්මක වන පාතාල කල්ලි 40ක් පමණ නගර හා ගම් මට්ටමින් යළි හිස ඔසවාගෙන එන බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

එවැනි පාතාල කල්ලි සමඟ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පාතාල නායකයන් මෙහෙයුම් සිදුකරනු ලබන්නේ ජංගම දුරකතන මඟින් බව මෑතදී සිදුකරන ලද රහස්‍ය පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පාතාලයේ තුවක්කුකරුවන් සිදුකරන ඝාතනවලදී සැකකරුවන් ලෙස පාතාල කල්ලි නායකයකු අත්අඩංගුවට පත්වූ පසු ඔහු පාවිච්චි කළ ගිනි අවිය වෙනුවට වෙනත් ගිනි අවියක් පොලිසියට ඉදිරිපත් කිරීමේ රහස් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පරීක්ෂණ අංශවලින් හෙළි කරගෙන තිබේ.
මේ බව හෙළිකරගෙන තිබෙන්නේ අධිකරණයේ අවසරයක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල නායකයකුගෙන් ප්‍රශ්න කිරීමකදී බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඩී.එල්. කේ. නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද මේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ගිනි අවි හුවමාරුවට සම්බන්ධ ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

මේ අතර පසුගිය මාස කීපය තුළදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින්ද පාතාල නායකයන් 27 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන කීප දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කොට තවත් කීප දෙනකු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යයි.

Share on Google Plus

0 comments:

Post a Comment