අවුරුද්දක් ඉවරයි! මෙතැනින් කොතැනට ද?


අලුත් පාර්ලිමේන්තුව පත් වී අවුරුද්දක් ඉවරය. මෛත්‍රී – රනිල් ආණ්ඩුවට අවුරුදු එකහමාරක් ඉවරය. ප්‍රශ්නය ආණ්ඩුව තවම දෙකට පාස් නොවී හෝඩියේ ද යන්නය.

පසුගිය වසර තුළ ආණ්ඩුව විසින් දිනා ගෙන ඇති දේ සැලකිය යුතු තරම් ය. ඉන් වැදගත්ම ජයග්‍රණයන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන ස්වාධීන ආයතන පද්ධතියක් 19වන සංසෝධනය යටතේ පිහිටුවීමයි. එනයින් ආණ්ඩුව දෙකේ පන්තියට සමත් වී ඇතැයි කීම වරදක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සහතික වන්නේ යහපත් දේශපාලනඥයින් නිසාම නොවේ. මන්ද යත් එවැනි අය විරල නිසා ය. බලය විසින් දූෂණය ඇති කරයි යන්න චිරාත් කාලයක් පුරා උරගා බැලීම් විසින් සනාථ කර ඇති නියමයකි. බලය විසින් ඇති කරන්නේ භෞතික දූෂණය පමණක් නොවේ. එය විසින් අධ්‍යාත්මික දූෂණය ද ඇති කරයි. එය අපි නව පාර්ලිමේන්තුවට වසරක් පිරෙන මෙම අවස්ථාවේදී අපේ ඇස් පනා පිට අත් දකිමින් සිටිමු. (උදාහරණ: ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල)

ස්වාධීන සහ බලවත් ආයතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බලය තුලනය සහ සංවරණය කරන යාන්ත්‍රණ වෙති. මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, දූෂණ සෙවීමේ කොමිසම, තොරතුරු නිදහසේ කොමිසම, අතුරදහන්වූවන් පිළිබඳ කාර්යාලය යනාදිය එවැනි යාන්ත්‍රණ වෙයි.

මෙම ආයතන මහජනයාගේ අයිතින් රැකදීම පිණිස යොදා ගැනීම සිවිල් සමාජය වෙත පැවැරෙන වගකීමයි. නිදසුනක් මෙසේ ය‍. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල විසින් සිය හෙංචයියන් 45 දෙනෙකුට මාසික රු.65,000ක දීමනා ඇති උපදේශක තනතුරු පිරි නැමීමට එරෙහිව රෑකියා විරහිත උපාධිධාරීන්ට මානව හිමිකම් කොමිසමට පැමිණිළි කිරීමට සිවිල් සමාජ බලවේග සහාය විය යුතුව තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක දේශපාලන බලය සම තුලනය කැරෙන එවැනි ආයතන ශක්තිමත් වන්නේ එකී ආයතනයන්හි සිමා පුළුල් කරමින් මහජනයාගේ අයිතීන් උදෙසා ක්‍රියා කරන ශක්තිමත් සිවිල් සමාජ බලවේග ඇති විට පමණි. මෙරට එවැනි සක්‍රීය සිවිල් බලවේගය දැකිය හැකි එක් ක්ෂෙත්‍රයක් නම් පරිසර සුරැකීමය. මානව හිමිකම් ක්ෂෙත්‍රෙයහිද එවැනි බලවේග ක්‍රියාකාරී නමුත් ප්‍රමාණවත් යැයි කිව නොහේ. ස්ත්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන් නම් එවැනි මූලිකත්වයන් දක්නට ඇත්තේම නැති තරම් ය.

මහා ජනයාගේ සැම අයිතියක්ම ආවරණය වන පරිදි රාජ්‍ය පිළිගැනීම සහිත ස්වාධීන ආයතන රටාවක් ගොඩනඟා ගැනීමට, ආණ්ඩුව සමඟ එක්ව අප සමත් වන්නේ නම් 2015 ජනවාරියෙහිදී සහ අගෝස්තුවෙහිදී මෙරට ජනයා රාජපක්ෂ අත්තනෝමතිකත්වය පෙරළා දැමීමෙන් පෙන්වන ලද අපේක්ෂාවන් මල්පල ගැන්වීමක් බවට එය පත් වනු ඇත.

යුද ගැටුමට අදාළව මානව හිමිකම් ක්ෂෙත්‍රයෙහි ඇති කිරීමට නියමිත සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය, හානිපූර්ණ යාන්ත්‍රණය සහ අධිකරණමය යාන්ත්‍රණය යන එවා විසින් මෙරට ජනවාර්ගික සංහිදියාව සඳහා අත්‍යවශ්‍ය පදනමක් නිර්මාණය කැරෙනු ඇත.

අප එතැනින් නතර නොවිය යුතුය‍. මෙරට මහා ජනයාගේ එදිනෙදා ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වන පොදු ප්‍රවාහනය, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය වැඩි දියුණූ කිරීම අරමුණූ කරගත් එවැනි යාන්ත්‍රණයන් පිහිටුවන ලෙස ද අප කියා සිටිය යුතුය.

මහජනයා දිනපතා විඳවන මෙරට මගී ප්‍රවාහනය දෙස බැලූ විට නම් ආණ්ඩුව තවම ඉන්නේ හෝඩියේ ය. සමහර විට ඊටත් පහළිනි. ඒ හා සමාන වැදගත්කමකින් යුතු අධ්‍යාපනය සහ සෞඛ්‍ය දෙස බැලූවද ආණ්ඩුව තවම හෝඩියේය. මෙම ක්ෂේත්‍ර තුනෙහිම කිසිදු සාධනීය වෙනසක් හෝ සැබෑ වෙනසකට මුල පිරීමක් හෝ දක්නට නැත.

බස් අයිතිකරුවන්, රියදුරන් සහ සහායකයින් මගීප්‍රවාහණය සලකන්නේ බල්ලන් මරා හෝ හම්බ කර ගත යුතු ජාවාරමක් ලෙස ය. ඔවුනට නීතියක් හෝ රීතියක් කියා දෙයක් නැත. මහා ජනයාට සැලකෙන්නේ කෑලි බෑලි ලෙසය. මගී ප්‍රවාහන සේවය පුද්ගලීකරණය කර දශක හතරකට පසුවත් මගියාට නිසි ටිකට් පතක් දීම සහතික කිරීමට බැරි වී ඇති මෙරට දේශපාලන නායකයින් ලැජ්ජා විය යුතු නැත්ද? එපමණක් නොව රුපියල් නමයේ ටිකට් පතක් ගත විට මෙම බස් රථවලඉතිරි රුපියල ලැබෙන්නේම නැත. රුපියල් 24 යනු පුද්ගලික බස් ජාවාරමට අනුව රුපියල් 25කි. ඉතිරි රුපියල ඉලලුවොත් සිදු වන්නේ බස් කොන්දොස්තර අතින් ආත්මය කුඩුකර ගැනීමට ය.

පොදු ප්‍රවාහන පුද්ගලික බස් රථවලට කාල සටහනක් කියා දෙයක් නැත. ඹ්නැම හන්දියක විනාඩි දහයක් පහළොවක් නතර කර ගෙන සිටීම හෝ පාරේ අනෙක් වාහන බියවද්දමින් නලා හඬවමින් පිම්මේ යෑම රියදුරාගේ කැමැත්ත පරිදිය. මං තීරු කපා ගෙන වමටත් දකුණටත් රේස් පැදීම එම රියදුරන්ට සෙල්ලමකි. බස් රථය පණ ගැන්වීම හෝ තිරිංග තද කිරීම කැරෙන්නේ ද එක හැල්මටය. මගීන්ගේ පහසුව තුට්ටුවකට ගණන් ගැනෙන්නේ නැත.

තංගල්ල – යාපනය මාර්ගයේ තරුණ බස් රියදුරකු මට කීවේ පුත්තලම පසු වූ විට තමා බසයේ වේගය 120 ඉක්මවා වැඩි කරන බවත් එවිට තමාගේ ඇගෙහි පවා හිරිගඩු පිපෙන බවත් ය‍. මුලු ගමනම තමා තනියම එලවන බවත් එවිට රුපියල් 4000ක් ලැබෙන බවද ඔහු කීවේ ය‍. මේ අපේ ජීවිත සමඟ සෙල්ලම් කිරීමක් නොවේද?

අප කුරුණෑගල නගරයට දුම්රිය පොළක් සහ අතුරු දුම්ර්ය මාර්ගයක් ඉල්ලා උද්ඝෝෂණ කළේ 1994 පටන්ය. කොළඹ කුරුණෑගල මාර්ගයේ ගමන් කරන දහස් ගණනාවක් මගීන්ට යහපතක් වී මාර්ග තදබදයටද පිළියමක් විය හැකිව තිබූ එම ඉල්ලීම බස් හිමියන්ගේ දේශපාලන හයිය හමුවේ කණු බක්කියට ගියේ ය‍.
අධ්‍යාපනය ගැන කියන්නට අවශ්‍ය නැති තරම් ය. රටක අනාගතය තීරණය කරන මෙම විෂය බාර දී ඇත්තේ කෝඩුකාර අකිල විරාජ්ට ය. ජාතික අධ්‍යාපන ආයතනයේ උපදේශක සභාවෙන් මහාචාර්‍ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්‍ය නිර්මාල් රංජිත් පළවා හැරීමෙන් අකිල විරාජ් පෙන්වන ලද්දේ තමා කවුද යන්න ය. වික්‍රමසිංහලා සහ විරාජ්ලා නියෝජනය කරන අධ්‍යාපන ක්ෂෙත්‍රයෙහි ප්‍රභූවාදය අහෝසි නොකොට මෙරට අධ්‍යපනය පෙරට ගත නොහැකි ය.

මහජන සේවයක් ලෙස ලොව පුරා පවතින පොදු ප්‍රවාහොනය මෙරට අද පැවතෙන්නේ තනි තනි ජාවාරම්කරුවන්ගේ සහ කප්පම් මාෆියාවක රාජධානියක් ලෙසය. නිදහස්යැයි කියන අධ්‍යාපනය ජාවාරම්කාර ටියුෂන් කඩ විසින් බිලි ගෙන තිබේ. පොදු සෞඛ්‍ය සේවය දිගින් දිගටම පිරිහී යන අතර ශක්තිමත්ව වැඩි එන්නේ ගිනිකන විශේෂඥ ජාවාරම සහ පුද්ගලික වෛද්‍ය සේවා සහ රෝහල් ය. මෙම ක්ෂෙත්‍ර තුනෙන් කවර හෝ දියුණුවක් ඇත්තේ පොදු සෞඛ්‍ය සේවාවෙහි පමණි.

පොදු ප්‍රවාහනය, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය මහජන සේවාවන් ලෙස නව දැක්මකින් නව ජවයකින් වැඩි දියුණූ කිරීමට ආණ්ඩුව සමත් වනු ඇත්ද නැත්ද යන්න අප මිනිස් කරට සරිලන ශිෂ්ටාචාරවත් සමාජයක් කරා ගමන් කරන්නේද යන්න මැනෙන එක් මිනුම් දන්ඩක් බවට පත් වනවා ඇත.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

Share on Google Plus

0 comments:

Post a Comment