මෛත්‍රි-රනිල් වෙන් වෙන තැන.


1947 මහ මැතිවරණයට එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක එ.ජා.ප. යෙන් තරග කළේ එ.ජා.ප. නායක ඩී.ඇස්. සේනානායක සමඟ එකඟතාවයකින්ය. බණ්ඩාරනායක හිතුවේ ඩී. ඇස්. මහලු නිසා ඩී.ඇස්. පළමුව අගමැති වී පසුව තමාට අගමැති ධුරයට හිමිකම් කියන්න පුළුවන් වෙයි කියාය. ඩී. එස්. ගෙන් පසු බණ්ඩාරනායක අගමැති වූවා නම් ඩී. ඇස්. ගෙන් පසු එ.ජා.ප. නායකත්වයට පත් වන්නේ බණ්ඩාරනායකය. එහෙම වුණා නම් ශ්‍රී ල.නි.ප.ය කියා පක්‍ෂයක් බිහි වන්නේ නැත. ඒත් ඩී.ඇස්. අගමැති වූවාට පසු තම පුත් ඩඩ්ලි අගමැති ධුරයට පත්කර ගන්න හීන මැව්වේය. ඔහු බණ්ඩාරනායක වගේම ජේ‍යෂ්ඨයන් වූ අගමැති ධුරයට හිමිකම් කී සර් ජෝන්ව බණ්ඩාරනායකට ගහන්න පාවිච්චි කළේය. බණ්ඩාරනායකට වැඩේ තේරී කලින්ම ආණ්ඩුවෙන් ඉවත් විය.

මේ ඓතිහාසික කතාව මතකයට එන්නේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කරන්න එකට එක් වූ මෛත්‍රි සහ රනිල් ඊළඟ ජනාධිපතිවරණය හෝ ව්‍යවස්ථාව වෙනස් කොට එන මහ මැතිවරණයේදී කුමක් කරයිද යන්න ගැන හිතන විටදීය.

1947 ඩී. ඇස්. සහ බණ්ඩාරනායක එකට එක් වූයේ සුද්දගෙන් ආණ්ඩුව ගන්නටය. 2015 මෛත්‍රි සහ රනිල් එකට එක් වූයේ මහින්දගෙන් ආණ්ඩුව ගන්නටය. ජනාධිපතිවරණයට පෙර මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය ගන්න බලාපොරොත්තුවක් තිබුණේ නැත. මෛත්‍රිට ශ්‍රී ල.නි.ප. නායකත්වය ගන්න සිද්ධ වූයේ ජනාධිපතිවරණයට පසු ශ්‍රී ල.නි.ප. ජේ‍යෂ්ඨයන් කළ ඉල්ලීමක් නිසාය. මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය නොගත්තා නම් එක්කෝ ව්‍යවස්ථාව වෙනස් කොට මෛත්‍රි බල රහිත ජනාධිපති ධුරය දරන්න ඉඩ තිබිණි. ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි නම් මෛත්‍රි සිය නිල කාලය අවසන් වූ විට විශ්‍රාම යෑමට ඉඩ තිබිණි. ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන දිනයේ තමා යළි ජනාධිපතිවරණයට තරග නොකරන බව කීවේ එහෙයිනි. ඒත් එතකොට ඔහු ශ්‍රී ල.නි.ප. නායකත්වයට පත් වී තිබුණේ නැත. ඔහු ශ්‍රී ල.නි.ප. නායකත්වයට පත් වූයේ එම ප්‍රකාශයට පසුවය. ඒත් මෛත්‍රි මෑතකදීත් තමා යළි ජනාධිපතිවරණයකට තරග නොකරන බව කීවේය. හැබැයි ව්‍යවස්ථාව වෙනස් වුවහොත් ජනාධිපතිවරණයක් එන්නේ නැත. එන්නේ මහ මැතිවරණයකි. තමා මහ මැතිවරණයට තරග නොකරන බව මෛත්‍රි කියා නැත.

ඒ කියන්නේ ඊළඟ මහ මැතිවරණයට මෛත්‍රි - රනිල් අගමැති සටනට එයිද...?

මෛත්‍රි සහ රනිල් 2015 ජනාධිපතිවරණයට ජනාධිපති ධුරය සහ අගමැති ධුරය බෙදා ගන්න ගිවිසුම් ගහන විටම දින්නා නම් ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුත්තේ කෙසේ දැයි සාකච්ඡා නොකළා නම් පුදුමය. හැබැයි මෛත්‍රි ශ්‍රී ල.නි.ප. නායකත්වය භාර ගැනීමේ බලාපොරොත්තුවක් නොතිබූ ඒ වේලාවේ දෙදෙනා අතර එකඟතාව වන්නට ඇත්තේ ව්‍යවස්ථාව වෙනස් කොට මෛත්‍රි බල රහිත ජනාධිපති වී රනිල් බලතල සහිත විධායක අගමැති වී ඊළඟ මහ මැතිවරණයටත් තරග කරන්නටය. දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇත.

මෛත්‍රි ඊළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට තරග කරනවා නම් මෛත්‍රිගේ පළමු කාර්යය රාජපක්‍ෂලාගේ දේශපාලනය අවසන් කොට ඒකාබද්ධ විපක්‍ෂය විනාශ කිරීමය. එවිට ඔහු ශ්‍රී ල.නි.ප.ය ශක්තිමත් කරගත හැකිය. එලෙස නැතිව මෛත්‍රි ශ්‍රී ල.නි.ප.යෙන් තරග කරද්දී මහින්ද හෝ ඔහු නම් කරන අයෙක් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉල්ලුවොත් ඡන්ද කැඩෙයි. මෛත්‍රි රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හැර අගමැති ධුරයට ශ්‍රී ල.නි.ප.යෙන් අයෙක් පත්කර ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හැදුවොත් රාජපක්‍ෂලාගේ දේශපාලනය එතැනින් ඉවරය. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු බහුතරයක් මෛත්‍රි පිටුපස සිට ගන්නවා ඇත. එවිට රාජපක්‍ෂලා යූ. ඇන්. පී. වේදිකාවට නැග්ගත් පුදුම විය යුතු නැත.

බැසිල් 1983 මහ මැතිවරණයේදී ඒ වැඩේ කළේය. 1982 ජනාධිපතිවරණයට අනුර අපේක්‍ෂකයා කර ගන්න මහින්ද සහ බැසිල් ලොකු උත්සාහයක් ගත්හ. ඒත් විජය - චන්ද්‍රිකා පිල ජයගෙන කොබ්බෑකඩුව අපේක්‍ෂකයා කර ගත් විට මහින්ද සහ බැසිල් කොබ්බෑකඩුව පරද්දන්න බැහැලා වැඩ කළහ. කොබ්බෑකඩුවට අත ලකුණ නොලැබෙන තත්ත්වයක් ඇති වී තිබුණේ අත ලකුණට මැතිනිය සහ මෛත්‍රිපාල අතර නීතිමය සටනක් තිබූ නිසාය. කොබ්බෑකඩුවට අත ලකුණ නොලැබුණහොත් දිනේෂ්ගේ රෝදය ලකුණෙත් තරග කරන්නට විජය - චන්ද්‍රිකා සහ ඉලංගරත්න කථිකා කරගෙන සිටියහ. කොබ්බෑකඩුවට රෝදය ලකුණ දෙන්න එපා කියා දිනේෂ්ට බලපෑම් කරන්න අනුර දිනේෂ් ළඟට යැව්වේ මහින්දවය. 1982 ජනාධිපතිවරණයට රාජපක්‍ෂලා රුහුණු පෙරමුණ කියා සංවිධානයක් අටවා ගෙන ජේ. ආර්. දිනවන්න කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දේය. ජේ.ආර්. ජනාධිපතිවරණය දින්න විගස රුහුණු පෙරමුණ එ.ජා.ප. - ශ්‍රී ල.නි.ප. ජාතික ආණ්ඩුවක් යෝජනා කළේය. ඒ වේලාවේ මහින්දලා බැසිල්ලා බැලුවේ අනුරවත් අරගෙන ජාතික ආණ්ඩුවකට යන්නටය. අනුර ගියේ නැත. අනුර ගියේ නැති නිසා මහින්ද ගියේත් නැත. හැබැයි 1982 ජනමත විචාරණයේදී එ.ජා.ප. පාලන කාලය වසර හයකට දික් කර ගන්න සහාය දෙන්න බැසිල් එ.ජා.ප.යට එක් විය. බැසිල් එ.ජා.ප. වේදිකාවේද කතා කළේය. මහවැලි ඇමැති ගාමිණී එයට කෘතගුණ දක්වන්න බැසිල්ට අමාත්‍යාංශයේ තනතුරක් දුන්නේය. බැසිල් ඒ ගේම ගැහුවේ මහින්ද එක්ක කතා කරගෙනය. ඉතින් මෛත්‍රි ශ්‍රී ල.නි.ප.ය එක්සේසත් කළොත් රාජපක්‍ෂලා එ.ජා.ප.යට යෑමට තියෙන ඉඩ කඩ වැඩිය.

ඒත් මෛත්‍රි රනිල්ගේ ආණ්ඩුව විසුරුවයි කියලා හිතන්න බැරිය. මෛත්‍රිට රනිල් එක්ක ආණ්ඩු කරන්න බැරි නම් මෛත්‍රි කරන්නේ ජනාධිපති ධුරය අහෝසි කර ගත්තාට පසු විපක්‍ෂයේ ගිහින් වාඩි වීමය. එතකොටත් රාජපක්‍ෂලාගේ දේශපාලනය ඉවරය. මෛත්‍රි විපක්‍ෂයේ වාඩි වුවහොත් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි බහුතරයක් මෛත්‍රිට දිනාගත හැකිවනු ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කර ඇති නිසා ඊළඟ මහ මැතිවරණයේදී රනිල්ගේ ආණ්ඩුව පරද්දන්න වැඩ කිරීම මෛත්‍රිට අසීරු නොවනු ඇත. එවිට රනිල් සහ එ.ජා.ප. යේ පිහිටෙන් ජනාධිපති වී රනිල් සහ එ.ජා.ප. ආණ්ඩුව විනාශ කළා කියන චෝදනාවෙන් මෛත්‍රිට ගැලවෙන්න පුළුවන.

ඒත් රනිල් මෛත්‍රිව තරහ කර ගන්න කිසිවක් කරනු ඇතැයි සිතිය නොහැකිය. ඔහු හංසයා ලකුණින්ම ඊළඟ මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය ජය ගන්න වුවද සූදානම් බව පෙනේ. ඒත් මෛත්‍රිව තරහ කර නොගෙන මේ ගේම ගහන්න නම් එක්කෝ මෛත්‍රි හෝ එක්කෝ රනිල් දේශපාලනයෙන් ඉවත් විය යුතුය. දේශපාලනයෙන් ඉවත් වී ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු හැදෙන බල රහිත ජනාධිපති ධුරයට දෙදෙනාගෙන් එක් අයකුට පත් වීමට හැකියාව ලැබේ.

යූ.ඇන්.පී. කාරයන් නම් හිතන්නේ මෛත්‍රි බල රහිත ජනාධිපති වී රනිල්ට ඊළඟ මහ මැතිවරණයේදී විධායක අගමැති වෙන්න උදවු කරයි කියාය. ඒත් ශ්‍රී ල.නි.ප.යේ මෛත්‍රිවාදීන් හිතන්නේ මෛත්‍රි මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩුවක් හදලා දෙයි කියාය.

මේ දෙන්නා ගන්න තීරණය කුමක් වුවද එම තීරණයට විදේශ රටවල්ද මැදිහත් වීමට ඇති ඉඩකඩ වැඩිය. හේතුව ඇමෙරිකාවටයි ඉන්දියාවටයි චැලේන්ජ් කොට ලංකාව චීනයේ කොලනියක් කරන්න ගිය රාජපක්‍ෂලාට යළි හිස ඔසවන්නට ඇමෙරිකාවයි, ඉන්දියාවයි ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකි නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

Share on Google Plus