පත්තරවලට TV - TV වලට පත්තර තහනම්?


රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා පවත්වාගෙන යන ආයතනවලට මුද්‍රිත ප්‍රකාශන මාධ්‍ය පවත්වාගෙන යාම තහනම් කෙරෙන සහ මුද්‍රිත මාධ්‍ය පවත්වාගෙන යන ආයතනවලට රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍ය පවත්වාගෙන යාම  තහනම් කෙරෙන කරුණු ද ඇතුළත් ජනමාධ්‍ය ක්ෂේත්‍රය සඳහා දැඩි බලපෑමක් කෙරෙන නව පනත් කෙටුම්පතක් රජය විසින් නුදුරේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව 'සත්හඬ' පුවත්පත පවසයි.

ඒ අනුව මේ වන විට රූපවාහිනී සේවයක් ආරම්බ කිරීමට සැලසුම් කර ඇති ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගමක් වන විජය පුවත්පත් සමාගමට සහ විද්‍යුත් හා මුද්‍රිත අංශ දෙකෙහිම සංකලනයක් ලෙස මාධ්‍ය ජාලයක් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන අර්ජුන් ඇලෝසියස් මහතා වැට බැඳීම සිදු වනු ඇත.

එමෙන්ම දැනට කාලයක සිට පුවත්පත් ප‍්‍රකාශනයක් වෙනුවෙන් සැලසුම් සකස් කරගෙන සිටින සිරස මාධ්‍ය ජාලයට ද එම අවස්ථාව නොලැබෙනු ඇත.

මෙම නව නීති හඳුන්වා දීමට මූලික හේතුව වී ඇත්තේ ප‍්‍රබල ව්‍යාපාරිකයන් විසින් මාධ්‍ය ආයතන පිහිටුවා ගනිමින් තමන්ගේ දේශපාලන හා ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් මාධ්‍ය මෙහෙයවා දැඩි ලෙස දේශපාලන අධිකාරිය කෙරෙහි බලපෑම් කර ආණ්ඩු අස්ථාවර කිරීමට සැලසුම් කිරීමය.

මෙවැනි නීති රෙගුලාසි මේ වන විට විදේශ රටවල් ගණනාවක ක‍්‍රියාවට නඟා තිබෙන්නේ ද අනවශ්‍ය ලෙස මාධ්‍ය හරහා දේශපාලන අධිකාරියෙහි වෙනස්කම් වෙනුවෙන් බලපෑම් කිරීම වැළැක්වීමටය.

කෙසේවුවද, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසන්නේ, රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යන ආයතනවලට මුද්‍රිත ප‍්‍රකාශන මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම තහනම් කිරීමේ කිසිඳු නීතියක් පැනවීමට රජය බලාපොරොත්තු නොවන බවයි.

මුද්‍රත මාධ්‍ය ආයතනවලට රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම තහනම් කිරීම සම්බන්ධයෙන්ද කිසිඳු පියවරක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කර සිටියි.

කෙසේ වෙතත් ජනමාධ්‍ය ආයතන නියාමනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් මතවාදයක් නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share on Google Plus

0 comments:

Post a Comment