ටිරාන්ට අධිචෝදනා.


රාඩා ආයතනයේ සිදුවී ඇති රුපියල් මිලියන 200ක මූල්‍ය වංචාව සම්බන්ධව තමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ටිරාන් අලස් මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති නියෝග පිළිබඳ පැහැදිලි කිරීමක් ලබාගැනීමට ඊයේ (24) තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහි අධිචෝදනා එම පැහැදිලි කිරීම ලබා ගැනීමෙන් පසු බාර දීමට ද තීරණය කළාය.

ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශවල සුනාමියෙන් විනාශයට පත් නිවාස 800ක් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබාදුන් රුපියල් මිලියන 200ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතිව අධිචෝදනා 07ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව ගොනුකර තිබූ නඩුව ඊයේ (24) කැඳ වූ අවස්ථාවේ ඒ බව සඳහන් කළාය.

නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ පැවරූ මෙම නඩුව සම්බන්ධව අධිකරණය නිකුත් කළ සිතාසි මත ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ විත්තිකාර ටිරාන් අලස් මහතාගේ නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගෙන විනිසුරුවරිය ඒ බව තීරණය කළාය.

රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් එම ආයතනයේ නිලධාරීන් වන රොහාන් සාලිය අබේසිංහ වීරවික්‍රමසූරිය හා ජයන්ත ඩයස් සමරසිංහ යන විත්තිකරුවන් අධිකරණ සිතාසි මත ඊයේ (24) එසේ කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති එල්. ටී. ටී. ඊ. සංවිධානයේ උතුරු නැගෙනහිර මූල්‍ය කටයුතු බාරව සිටි ඇන්තනි එමිල් ලක්ෂමි කාන්නන් විදේශගතව සිටින බව පවසමින් ඔහු වෙනුවෙන් ඊයේ (24) නිතීඥවරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව පොදු දේපළ පනත යටතේ පවරා ඇති මෙම නඩුව සම්බන්ධව විත්තිකරුවන්හට අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා නඩුව කැඳවා ඇති බව ඊයේ (24) විනිසුරුවරිය පවසා සිටියාය.

විත්තිතරුවනට අධිචෝදනා බාරදීමට පෙර මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (24) අධිකරණයට දන්වා සිටියේය.

නඩුවේ පළමු විත්තිකරු ලෙස නම් කර ඇති ටිරාන් අලස් මහතා තමා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවත් එම පෙත්සම සම්බන්ධව පසුගිය වසරේ සැප්තැම්බර් 02 වැනිදා පවත්නා තත්ත්වය ඒ අයුරින්ම පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් පැවසු ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබාදීමට පෙර නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව මෙසේ අධිචෝදනා නගා ඇති බව සඳහන් කළේය.

තවද එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබියදී නීතිපතිවරයා විත්තිකරුවනට අධිචෝදනා නගමින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධව ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා සිය මූලික විරෝධතා ඉදිරිපත් කළේය.

එම මූලික විරෝධතා සම්බන්ධව කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගය මඟින් විත්තිකරුවනට එරෙහිව සිදු‍ෙකරුණු විමර්ශන කටයුතු පවත්වන ලෙසට හෝ විත්තිකරුවන් සම්බන්ධව ඉදිරි නීති පියවර නොගන්නා ලෙසට දන්වා නොමැති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් එම අතුරු තහනම් නියෝගය ලබා දී ඇත්තේ විත්තිකාර ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකමින් බව පැවසු අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සැකකරුවකු ලෙස අත්අඩංගුවට නොගෙන කෙළින්ම මහාධිකරණය හමුවේ විත්තිකරුවකු ලෙස නඩු පැවරු අවස්ථා මීට පෙර සිදුව ඇති බවද එම නඩු සම්බන්ධව කරුණු දක්වමින් පැවසීය.

නීතිපතිවරයා සතු නීතිමය බලතල වන එසේ කෙළින්ම මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදු කළ හැකි බව අධිකරණය හමුවේ අවධාරණය කර සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව මෑතකදී කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පැවරීම සිදු කර ඇත්තේ ඒ අයුරින්ම බවද කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයෙන් පසුවත් ටිරාන් අලස් මහතාගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රකාශ 3ක් ලබා ගැනීමෙන් සැලවන්නේ ඉදිරි විමර්ශන සඳහා බාධාවන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කර නැති බව යැයිද අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට අවධාරණය කළේය.

විමර්ශන අවසානයේ විත්තිකරුවන් හට අධිචෝදනා ගොනුකර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදුකර ඇති බව පැවසු යසන්ත කෝදාගොඩ මහතා දැන් ඇත්තේ විත්තිකරුවනට එම අධිචෝදනා පත්‍ර බාරදීම යැයිද පැවසීය.

දෙවැනි විත්තිකරු වන චමිල් කාන්තන්ගේ සොහොයුරියගේ නිවසට අධිකරණ සිතාසිය ගොස් ඇති බවත් ඒ අනුව ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් අධිකරණය හමුවේ සිදු කරන බවත් ජනාධිපති නීතිඥ සානක රණසිංහ මහතා පැවසීය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවැනි විත්තිකරුගේ විදෙස්ගමන් තහනම් කර ඇති නියෝගය නිසා ඕස්ට්‍රේලියාවේ සිටින දෙවැනි විත්තිකරුට ලංකාවට පැමිණීමට නොහැකි වී ඇති බවද ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේය.

ඔහුට විරුද්ධව නඩු කටයුත්තක් ඇති බව දන්නේ නම් ලංකාවට පැමිණ පවත්නා නීතියට අවනත වී එම නඩු කටයුතු සඳහා සහයෝගය දැක්වීමට දෙවන විත්තිකරුට කිසිදු බාධාවක් නොවන බව පැවසු අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා දෙවැනි විත්තිකාර චමිල් කාන්තන්ට වෙනත් අධිකරණයකින් වරෙන්තු නිකුත් කර ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහායද පතා ඇති බව කීය.

මේ අවස්ථාවේ තුන්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා හා සිව්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ පළමු විත්තිකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධතාව තමන් ද එකඟ වන බවයි.

පැය දෙකහමාරක් පුරාවට දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිරීම සලකා බැලූ විනිසුරුවරිය සඳහන් කර සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ සැප්තැම්බර් 02 වැනිදා පවත්නා තත්ත්වය එලෙසින්ම පවත්වාගෙන යන ලෙසට කර ඇති අතුරු තහනම් නියෝගය පිළිබඳ අර්ථ දැක්වීමක් ලබාගැනීමට අවශ්‍ය බවයි.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 28 ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ පසු අතුරු තහනම් නියෝගය පිළිබඳ අර්ථ දැක්වීමක් ලබා ගැනීමෙන් අනතුරුව විත්තිකරුවන් හට අධි චෝදනා පත්‍ර බාරදීමට විනිසුරුවරිය ඊයේ (24) තීරණය කළාය.

2005 දෙසැම්බර් මස 01 හා 2006 පෙබරවාරි මස 08 වැනිදා අතර කාලයේදී කොළඹදී හා කිලිනොච්චියේදී රජය සතු රුපියල් මිලියන දෙසීයක් සාපරාධී සාවද්‍ය පරිහරණය, ඒ සඳහා අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා හතක් මත පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළම මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරන ලදී.

ජයලංකා නිවාස ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්කවල නිවාස 800ක ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රාඩා ආයතනයට ලබාදුන් මුදල් මෙලෙස සාපරාධී සාවද්‍ය පරහිරණය කර ඇති බවට නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව වැඩිදුරටත් අධිචෝදනා නගා ඇත.

විත්තිකරුවනට එරෙහිව නගා ඇති අධි චෝදනා ඔප්පු කිරීම සඳහා ලේඛන 28ක්ද, අමාත්‍ය පාඨලී චම්පිකද රණවක, හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පි. බී. ජයසුන්දර යන මහත්වරු හා ග්‍රාම නිලධාරිවරුන්, දිසාපතිවරුන් ඇතුළු සාක්කිකරුවන් 83ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇත.

‍මෙම නඩුව යළි ලබන ඔක්තෝබර් 06 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවෙයි.

Share on Google Plus

0 comments:

Post a Comment