ශ්‍රී රංගාගේ තනියට මහින්ද බාලසූරියත් ඇතුලට යන ලකුණු.


කූඨ ලේඛණ සාදා සාක්ෂි වසන් කිරීම, අධිකරණය නොමග යැවීම, රාජ්‍ය දේපළ අයථා පරිහරණය සහ චේතාන්විතව අලාභ කිරීම හා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට අමතරව ඒ සඳහා ඔහුට ආධාර අනුබල ලබාදුන් එවක හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අත්අඩංගුවට පත්වීමේ හැකියාව ඉහල බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඔවුන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට පත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී රංගා එලවූ, අනතුරට පත් වාහනයේ ගමන් ගත් ඔහුගේ පොලිස් ආරක්ෂකවරයාගේ මව, පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පෙත්සමක් පිළිබඳව විමර්ශණය කිරීමේදී හෙලි වූ තොරතුරු මතය.

මියගිය පොලිස් කොස්තාපල්වරයා වෙත අවුරුදු 55 දක්වා, ලබා දිය යුතු ඔහුගේ වැටුප නොලැබීම හේතුවෙන් පොලිස් කොස්තාපල්වරුන්ගේ හා සැරයන්වරුන්ගේ ශ්‍රේණියේ මැදිහත්වීම මත මෙම පෙත්සම මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ මව විසින් පොලිස් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇත.

හිටපු පොලිස්පතිවරයා මන්ත්‍රීවරයෙකු බේරා ගැනීම සඳහා සිදුකළ තක්කඩි ක්‍රියාව පොලිස් පොඩ්ඩන්ගේ සංසදය සාතිශය පිලිකුලකින් හෙලා දැක ඇති අතර මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ නීතිමය අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් එකා වන්ව මේ වන විට එකතු වී සිටී.

සිදුවූ සැබෑ සිද්ධිය පිළිබඳව කිසිදු බලපෑමකින් තොරව තම පොලිස් සගයා වෙනුවෙන් එවකට සෙට්ටිකුලම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් විමර්ශණයේදී සාක්ෂි දී ඇත. ඔවුන් තිදෙනා අනතුර සිදුවූ ස්ථානයට යනවිට ශ්‍රී රංගා දැඩි බීමතින් බමනය වෙමින් මහපාරේ ඇවිදිමින් සිටි බවත් පසුව ගම්වාසීන්ගේ උදව්වෙන් ඉදිරිපස අසුනේ මිය ගොස් සිටි කොස්තාපල්වරයාව රථයේ ඉදිරිපස යකඩ තහඩු කපා එළියට ගත් ආකාරය ඔවුන් හෙලිකොට තිබේ.

2011 මාර්තු 30 වන දින වව්නියාව, සෙට්‌ටිකුලම රෝහල අසලදී මෙම අනතුර සිදුවන විට ශ්‍රී රංගා රථය පැදවූ බවට පැහැදිලි සාක්ෂි තිබියදී එවක හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය හා ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සේනාරත්න සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයාට දැඩි බලපෑම් කොට මියගිය පොලිස් කොස්තාපල්වරයා බීමතින් අපරීක්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකළ බවට අධිකරණයට වාර්තා කොට තිබේ.

මෙම විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයාගේ වැටුප ඔහුගේ යැපෙන්නන් හට වයස අවුරුදු 55 දක්වා ගෙවීම පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

නමුත් කොස්තාපල්වරුන්ගේ හා පොලිස් සැරයන්වරුන්ගේ ශ්‍රේණියේ සාමාජිකයන් මෙම අසාධාරණයට එරෙහිව දිගින් දිගටම සටන් කිරීම නිසා මෙහි සත්‍ය තොරතුරු අනාවරණය විය.

පොලිස් කොස්තාපල්වරුන් හා පොලිස් සැරයන්වරුන් මේ වන විට එක හඬින් පවසා සිටින්නේ තම මියගිය සගයාට සාධාරණයක් වනු සදහා ඉදිරි පරීක්ෂණ කටයුතු වහාම රහස් පොලිසිය වෙත පැවරිය යුතු බවයි.

එවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගාට, හිටපු පොලිස්පති මහින්ද බාලසූරියට හා එවක ජේෂ්ඨ පොලිස් අධිකාරී, දැනට නියෝජ්‍ය පොලිස්පති සේනාරත්නට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කොට, මිය ගිය පොලිස් කොස්තාපල්වරයාට හා ඔහුගේ අසරණ මව ඇතුළු යැපෙන්නන්ට සාධාරණයක් ඉටුවනු ඇති බවයි පොලිස් පොඩ්ඩන්ගේ සංසදය සඳහන් කරන්නේ.

Share on Google Plus