මහින්ද ගැන තීන්දු කිරීමට ජනපති මධ්‍යම කාරක සභාව කැඳවයි.


ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද  (04) පැවැත්වේ.

අද රාති‍්‍ර 7.00 ට ජනාධිපති නිල නිවසේදී එය ආරම්භ වනු ඇත.

මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කළ පාද යාත‍්‍රාවට සහභාගි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත.

ඔවුන්ට ගනු ලබන විනය කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදි අවධානයට යොමුවනු ඇති බවද වාර්තා වේ.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් පෙරේදා (02) රාති‍්‍රයේද පවත්වා ඇත.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසුයේ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ තවදුරටත් රැඳී සිටීමට නම් කළ වැරදිවලට පක්‍ෂයෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් සමාව ගන්නවාද නැත්නම් ඉල්ලා අස්‌වී යනවාද යන දෙකෙන් එකක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායමට තෝරා ගැනීමට දැන් අවස්‌ථාව උදාවී තිබෙන බවයි.

''ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීන්දුවක්‌ අරගෙන තිබෙනවා පක්‍ෂයට වින කරන පක්‍ෂයට වෛර කරන පක්‍ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණ කරන සියලුම දෙනාව ඉවත්කරලා පක්‍ෂය ශක්‌තිමත් කිරීමට පක්‍ෂය තුළ පූර්ණ ප්‍රතිසංවිධානයක්‌ කළ යුතු බවට.

මෙම තීරණය අපි ගත්තේ සාකච්ඡා වට ගණනාවක්‌ පැවැත්වීමෙන් පසුවයි. පක්‍ෂයට ආදරය කරන සියලුම දෙනාගේ අදහස වී තිබෙන්නේ දැන් ඉවසුවා හොඳටෝම ඇති බවයි.

වපුරපු දේවල් අනුවයි අස්‌වැන්න ලැබෙන්නේ. ජනාධිපතිතුමා මෛත්‍රිය වපුරද්දී මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්‌ඩායම දිගින් දිගටම වෛරය වැපුරුවා. එම නිසා ඒවායේ අස්‌වැන්න අද හෙටම එතුමාට ලැබෙනු ඇතැයිද ''ඇමැතිවරයා පැවසීය.

Share on Google Plus