සීගිරිය ‘ලෝක උරුමය' ලැයිස්තුවෙන් ඉවතට?


ලෝක උරුම සීගිරිය සහ ඊට අයත් සංරක්ෂිත පාරිසරික කලාපයේ අනවසර ඉදිකිරීම් හේතුවෙන් ‘ලෝක උරුම සීගිරිය’ එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් මතුව තිබේ.

පුරාවිද්‍යා නිලධාරීන් විසින් සීගිරිය පුරාවිද්‍යා භූමියට අයත් ප්‍රේරක කලාපයේ සීමා සලකුණු යාවත්කාලීන කිරීම මේ වන විට ආරම්භ කර ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් මත මායිම් සලකුණු මෙසේ ආරම්භ කර ඇති අතර සීගිරිය ප්‍රේරක කලාපයට අයත්ව ඇත්තේ සීගිරිය පිටත දිය දහරේ සිට යාර 400 ක සීමාවකි. මෙම සීමාව සීගිරිය හා සීගිරි විලේජ් යන හෝටල් සමාගම් විසින් මේ වන විටත් ආක‍්‍රමණය කර ඇතැයි  ප‍්‍රාදේශීය වාර්තාකරුවන් විසින් සනාථ කරනු ලැබ ඇත. ප‍්‍රධාන පෙළේ හෝටල් සමාගම් හැරුණු විට මෙම සීමාවේ තවත් දැවැන්ත ඉදිකිරීම් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැනුම් කටයුතු සිදු කරන නිලධාරීහු පෙන්වා දෙති.

ගතවූ දශක දෙකක කාලයක දී සීගිරිය සංරක්ෂිත කලාපයේ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති බවත් සංචාරක හෝටල්, නිවාඩු නිකේතන, වෙළෙඳ ව්‍යාපාර සහ නිවාස ඒ අතර වන බව ද ඔවුහු පෙන්වා දෙති. සීගිරිය පේ‍්‍රරක කලාපයේ මායිම් නිරවුල් කිරීමේ දී අනවසර පදිංචිකරුවන්ගෙන් දැඩි බලපෑම් එල්ල වන බවත් මේ නිසා පොලිස් ආරක්ෂාව යටතේ මිනුම් කටයුතු සිදු කරන්නට සිදු වී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර සීගිරිය විලේජ් හෝටලය පුළුල් කිරීම සඳහා 2012-11-02 දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා ඇතත් වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත අනුව අභය භූමියක පිහිටි රජයේ ඉඩමක සංවර්ධන කාර්යයක් සිදු කිරීම තහනම් කටයුත්තක් බව පෙන්වා දෙමින් එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත. එසේ තිබිය දී අදාළ හෝටල් සමාගම විසින් සීගිරිය අභය භූමියට කසළ බැහැර කිරීම, කඩා ඉවත් කරන ගොඩනැගිලි අපද්‍රව්‍ය බැහැර කිරීම සහ අනවසර අත්පත් කරගැනීම් දිගින් දිගටම සිදු කරන බවත් හෝටල් සමාගම්වලට එක් ආකාරයෙනුත් සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයෙනුත් නීතිය කි‍්‍රයාත්මක කිරීම නිසා අනවසර ඉදිකිරීම් හා රක්ෂිත භූමි ආක‍්‍රමණය වැළැක්වීමට විධිමත් සැලැස්මක් තවමත් කි‍්‍රයාත්මක නොවන බවත් සත්හඬ ප‍්‍රාදේශීය වාර්තාකරුවෝ පෙන්වා දෙති.

මූලාශ්‍රය - සත්හඬ

Share on Google Plus