සරණත් එක්ක හුරතල් වෙන ‘සිඳු’ හි සෝරත පොඩි හාමුදුරුවෝ...


සරණ, කෝ මේ සරණ...

සෝරත පොඩි හාමුදුරුවෝ පන්සල දෙවනත් කරමින් තම සුරතලා වූ සරණ සොයයි. බළල් ආත්මයකට හිමිකම් කියන මේ සරණට සෝරත හිමි සලකනුයේ පණ දෙවැනි කොටය. විටෙක සරණ පසුපස දුවන පොඩි හාමුදුරුවන්ට පන්සලේ ආවතේවකරු හීන්බබා මොර දෙන්නේ ලොකු හාමුදුරුවෝ කියලා තියෙනවා නේද දුවන්න එපා කියලා පවසමිනි.

සරණ දුවන දිවිල්ලට වැඩලා බෑ, දුවන්නම වෙනවා.

සෝරත හිමි එසේ කියමින් සරණ සොයා යයි.

ඉහත දෙබස් ඛණ්ඩය මේ වන විට අප සමාජය තුළ අසීමිතව ජනප්‍රිය වී තිබේ. ෆේස්බුක් වැනි සමාජ ජාල හරහා සෝරත පොඩි හාමුදුරුවන් ගැන ද අප්‍රමාණ ආදරයෙන් කතා කරනු ලබයි. සරණ ද මේ වන විට මෙරට ජනප්‍රියතම පූස් පැටවා බවට පත්ව ඇත.

'සිඳු'

මේ ඔවුන් ජීවමාන වන අපූරුවූත් අනගි වූත් ටෙලි සිතුවමයි. තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයෙන් යුතු සිඳු ජානක සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. සමන් එදිරිමුණි විසින් කතාව සකසා රචනා කරන ලද සොඳුරු දෙබස් ගණනාවකින් සමන්විත සිදු මේ වන විට බාල මහළු කොයි කාගේත් සිත් තුළ ළැගුම් ගත් ටෙලි සිතුªවමක් බවට පත්ව ඇත්තේ එහි ඇති අව්‍යාජකම නිසාමයි. සෝරත පොඩි හාමුදුරුවෝ සිඳු බෙහෙවින් ලස්සන කරයි. එම චරිතයට පණ පොවන ඒ පුංචි දරුවාට හොඳ අනාගතයක් ඇති බව වැඩි දෙනෙකුගේ මතයයි. සරණ තම සහාය නළුවා කර ගනිමින් සිඳු ටෙලි සිතුවම පුරාවටම සෝරත පොඩි හාමුදුරුවෝ සොඳුරු අණසක පතුරවනු ලබයි. ඔහුගේ සැබෑ ජීවිතයේ නම කවිෂ් විහඟය. පනාගොඩ ශ්‍රී පරක්‍රම මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරන කවීෂ්ගේ වයස අවුරුදු හයකි. සිඳු ඔහුගේ පළමු ටෙලි සිතුවම වේ.

මං එෆ්. එම්. දෙරණ රේඩියෝ එකේ පුංචි තරුත් එක්ක ආයුබෝවන් වැඩසටහන කළා. එයට මාව සම්බන්ධ කරලා දුන්නේ මගේ බාප්පා. ඔහු නිමේෂ් කුලසිංහ. අවුරුද්දක් විතර මං රේඩියෝ එකේ වැඩසටහන කෙරුවා. එතන මං වැඩසටහන කරනවා දැකපු දෙරණේ උප සභාපති ලක්සිරි මාමා තමයි මාව සිදු නාට්‍යයට ගත්තේ. ගොඩාරියක් බය හිතුණා ටෙලි නාට්‍යයකට මාව ගත්තා කිව්වම. අම්මයි තාත්තයි තමයි ඒකට යන්නම කිව්වේ. සෝරත හාමුදුරුවෝ ලෙසට මගේ ඇඟේ සිවුර ඇන්දුවාම මුලින්ම මට ටිකක් බරක් දැනුණා. සිවුර දාගෙන ඉන්න බෑ කියලා හරියට ඇඬුවත් එක්ක. ඒත් ටිකක් කල්ගියාම හුරු වුණා. සිඳු විකාශය වෙන්න පටන් ගත්තු වෙලාවෙ ඉඳලා අපේ අම්මගේ දුරකතනයට හරියට කෝල්ස් එනවා. ඒවායින් ගොඩක් කෝල්ස්වලින් මං ගැන අහනවා. සමහර වෙලාවට මහ රෑත් කෝල් එනවා. අම්මට තමයි එතකොට වදේ. සරණ මගේ සුරතලා මුලින්ම සරණ මගේ අතට දුන්නම ඌ පැනලා ගියා.

බොහොම අමාරුවෙන් හොයා ගත්තේ. ඊට පස්සේ මට ඌ හුරු වුණා. දැන් මටත් සරණ නැතුව බෑ. සිඳු නාට්‍යයේ රඟපාන්න ගිහිල්ලා මාව ගිලෙන්නත් ගියා. මට දුවලා දුවලා ගිහින් වැවකට පනින්න තිබුණා. මමත් පැන්න. පීනන්න බැරැව ගිලෙන්න ගියා. මං එදා හරියට බයත් වුණා. ෂූටිං කල් ගියා. මට මේ නාට්‍යයේදී උදව් කරන ලක්සිරි මාමා, තිළිණ මාමා, ජානක මාමා, සමන් මාමා, ප්‍රදීප් මාමා ඇතුළු සියලු දෙනාවම මතක් කරන්න ඕනෑ. මගේ අම්මා චතුරිකා ප්‍රියංගනි, තාත්ත සම්පත් මදුසංක හා ඒ වගේම මට මල්ලියෙකුත් ඉන්නවා. මගේ අනාගත බලාපොරොත්තුව ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයි. ඉස්කෝලේ ගිහින් හොඳට ඉගෙන ගෙන ඩොක්ටර් කෙනෙක් වෙනවා. ආ... මට ඉස්කෝලේ ටීචර්වත් මතක් කරන්න ඕනෑ. විදුහල්පතිතුමාවත් මතක් කරන්න ඕනෑ. එයාලා කියන්නේ ඉගෙන ගන්න ගමන් රඟපාන එකත් කරන්න කියලා.

ඒ කවීෂ්ගේ සුරතල් හඬයි. රංගනයෙන් දිගු ගමනක් යාමට පුංචි තිරයට පාය ආ අලුත්ම පුංචි තරුවට සුබපැතුම් එක් කරන්නත් අප මේ මොහොතේ අමතක කරන්නේ නැහැ.


සටහන - ප්‍රසාද් සමරතුංග
(Saraviya)



Share on Google Plus

0 comments:

Post a Comment