හේමසිරිට සහ දයාසිරිට.


ක්‍රීඩාවේ මහා මංගල්‍යය වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිම විය. මෙවරත් ශ්‍රී ලංකාව ලෙස අපට එකදු පදක්කමක් හෝ ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. මේ යන ආකාරයට නම් අපට ඔලිම්පික් සාමාජිකත්වය පවා අහිමි වීමේ අවදානමක් වුවද මතු වීමේ ඉඩකඩ තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවෙහි සභාපති ධුරය කලක පටන් උසුලන්නේ හේමසිරි ප්‍රනාන්දු මහතා විසිනි. ඔහු කලකට ඉහත දක්ෂ මලල ක්‍රීඩකයකු, පැසිපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම පාපන්දු ක්‍රීඩයකු බවද ඇත්තය. එහෙත් දැන් නම් අපට ඔහුගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ දක්ෂ තරුණයින්ට තැන දී එම තනතුරෙන් ඉවත් වන ලෙසය.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ක්‍රීඩකයෙකි. ක්‍රීඩාව ගොඩගැනීමට හැක්කේද එහි දිග පළල ගැඹුර හඳුනන ක්‍රීඩකයකුට ම පමණි. එහෙයින් දයාසිරි ඇමතිවරයාට ක්‍රීඩාවෙහි වෙනසක් කිරීමේ අවස්ථාව දැන් ලැබී තිබේ. ගැටළුව ඇත්තේ ඔහුට ඒ සදහා ඇති කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙල කුමක්ද යන්නය.

මෙවර ඔලිම්පික් උළෙලේදී චීනයද පසුකරමින් පදක්කම් සටහනෙහි දෙවැනි ස්ථානය හිමි කරගත්තේ මහා බ්‍රිතාන්‍යයයි. ඔවුන් ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි ලබා ඇත්තේ අද්විතීය දියුණුවකි. 1996 දී එනම්, හරියටම මීට වසර 20කට පෙර පැවති ඔලිම්පික් උළෙලේදී ඔවුන්ට හිමි කරගැනීමේ හැකියාව ලැබුණේ එක් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 8ක් පමණි. එහෙත් මෙවර ඔවුන් රන් පදක්කම් 27ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 17ක් ලබාගෙන තිබේ. වසර 20කදී පුදුමාකාර ප්‍රගතියකට ළඟා වන්නට ඔවුන්ට හැකිවී ඇත. එවන් හැකියාවක් ඔවුන්ට ලැබී ඇත්තේ කුසලතා හඳුනාගෙන ඒවා සඳහා මූල්‍ය සම්පාදනය කරමින් ඔවුන් ගෙන ගිය වැඩ පිළිවෙල නිසාය.

ක්‍රීඩාවක් අවශ්‍ය වන්නේ රටක සියල්ලන්ට ම ඔලිම්පික් පදක්කම් ලබා ගැනීමට නොවේ. කායික සහ මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරගැනීම වෙනුවෙන් රටකට ක්‍රීඩාව අවශ්‍යය.

අවාසනාවකට මෙන් අපේ රටේ මිනිසුන්ගේ චින්තනය පවතින්නේ මීට හාත්පසින්ම වෙනස් තලයකය. අපේ රටේ ජාත්‍යන්තර පාසැලක විදුහල්පතිනියගෙන් එම පාසලේ ක්‍රීඩා කටයුතු ගැන විමසූ විට ඇය පිළිතුර ලෙස පවසා තිබුණේ දෙමව්පියන් ලක්ෂ ගණන් මුදල් වියදම් කර දරුවන් ජාත්‍යන්තර පාසල්වලට එවන්නේ ඔවුන්ට ඉගෙන ගැනීමට මිස සෙල්ලම් කිරීමට නොවන බවය. බොහෝ තැන්හි බොහෝ පුද්ගලයින්ගේ ආකල්පය මීට දෙවැනි නැත. දයාසිරිට ක්‍රීඩාව නඟා සිටුවීමට අවශ්‍ය නම් එය පටන් ගැනීමට වන්නේ මේ ආකල්පය වෙනස් කිරීම තුළින් පමණක්ය.

Share on Google Plus

2 comments:

  1. Some of the British gold medals were earned by black immigrants.We don't have any in Sri Lanka.

    ReplyDelete
  2. Some of the British gold medals were earned by black immigrants.We don't have any in Sri Lanka.

    ReplyDelete