ඇබී - නිකී ගේ මනුසත්කමට විශේෂ ඔලිම්පික් හරසර.


පසුගියදා රියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර 5000 කාන්තා ඉසව්වේ මූලික තරගයක් අතරතුරේදී එකිනෙකා හා පැටලී ඇදවැටුනු මළල ක්‍රීඩිකාවන් දෙදෙනාගේ අපූරු කතාව ඔබට මතක ඇති.

ඔලිම්පික් පදක්කම් සිහිනය පසෙකලමින් එකිනෙකාට සහය වූ ඇමෙරිකානු ක්‍රීඩිකා ඇබී ඩි’ ඇගොස්ටිනෝ හා නවසීලන්ත ක්‍රීඩිකා නිකී හැම්බ්ලින් එදා ලොවපුරා පැසසුම් ලැබුවේ ඔවුන්ගේ මෙම මනුෂත්වය හා ඔලිම්පික් ජීවගුණය මැනවින් විදහා දැක්වීම වෙනුවෙනි.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනාටම මෙම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. කෙසේ වුවත්, මෙම සිද්ධිය සැලකිල්ලට ගනිමින් ඔවුන්ව එහි අවසන් තරගයට නම් කිරීමට සංවිධායකයන් තීරණය කර තිබුණි.

එහෙත්, ඒ වන විටත් දරුණු දණහිස් ආබාධයකට ලක්ව සිටි ඇබී හට අවසන් තරගයට සහභාගී වීමට නොහැකි විය.

මේ අයුරින් ඔවුන් ගේ රියෝ ඔලිම්පික් පදක්කම් සිහිනය බොඳවී ගියත්, සාමාන්‍ය රන්, රිදී හා ලෝකඩ පදක්කම් අභිබවා ගිය විශේෂ සම්මානයකට හිමිකම් කීමට මේ වන විට ඔවුන් දෙදෙනා සමත් වී තිබේ.

ක්‍රීඩාවේ හා ඔලිම්පික් ජීවගුණය මැනවින් විදහාදැක්වීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා හට Pierre de Coubertin සම්මානය ලබාදීමට මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඔලිම්පික් ඉතිහාසය පුරාවට මෙම සම්මානය මීට කලින් ලබාදී ඇත්තේ අවස්ථා 17කදී පමණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හැම්බ්ලින් පවසා ඇත්තේ මෙම සම්මානය ලැබීම සමබන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි. “අප දෙදෙනා ඒ වේලාවේදී කටයුතු කළ විදිය ගැන මට ආඩම්බරයි. තරගකරුවෙක් වන අතරම කරුණාවන්තද වෙන්න පුළුවන් කියලා මම තදින් ම විශ්වාස කරනවා… මේක මගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවක්,” යැයි ඇය පවසයි.

Share on Google Plus

0 comments:

Post a Comment