පූජිත් කොළේ ඉරා ගන්න එපා!


රාජ්‍යයක ගරු කටයුතු තනතුරු තිබේ. ජනාධිපති, අගමැති, හැරුණු කොට කතානායක, අගවිනිසුරු, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, හමුදාපති එවැනි තනතුරු කිහිපයකි.

මේ ගරු කටයුතු තනතුරු දරන්නන් විශේෂයෙන් දේශපාලනඥයන් නොවන්නන් නිතර දෙවේලේ මාධ්‍යවල පෙනී සිටින්නේ නැත. සභාවක කතා කරන්නේද ඉඳහිටය. එයද කෙටියෙනි.

පොලිස්පති ධුරය වර්තමානයේ දරන පූජිත් ජයසුන්දර කතාවේ සූරයෙකි. ඔහු පොලිස්පති පුටුවට පත්වූ වහාම මේ රටේ සිටින පාතාලයන්, මදාවියන්, අපරාධකාරයන් මුහුදට පනී දැයි සැක හිතෙන තරමට 'කතාව' සැර විය. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. මේ වන විට දකුණේ පාතාලය යළි හිස ඔසවමින් සිටී. පොලිසිය මහජනයාට සලකන ආකාරයේ සැලකිය යුතු වෙනසක් නැත. පොලිසියේ පොඩ්ඩෝ මෙන්ම ලොක්කෝද දූෂණ වංචාවලට හසුවෙති.

කාරණය අනෙකකි.

පොලිස්පති ධුරය හෑල්ලු වන ආකාරයේ තීන්දුවක් ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදී තිබේ. පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා කිලිනොච්චියට මාරුකර යැවීමට සිදුවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නීතියට පටහැනි හා බල රහිත කාරණයක් බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇත. සහකාර පොලිස් අධිකාරි ධුරයෙන් ඉහළ නිල දරන නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමේ බලය ඇත්තේ ජාතික පොලිස් කොමිසමටය. ඒ බව නීතිපතිවරයාද පිළිගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පුරප්පාඩු වූ අණදෙන නිලධාරි ධුරයට පොලිස් කොමිසම විසින් නිර්දේශ කරන ලද ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පත්කිරීමට ලිපිය ලබාදී දින අටක් ගතවී තිබුණද අදාළ පත්කිරීම සිදු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන නැත. මේ පිළිබඳ තීරණයක් ගැනීමට අද කොමිසම රැස්වන බව දැනගන්නට ඇත.

කොමිසමේ නිර්දේශ නොතකා හැර පොලිස්පතිවරයා කටයුතු කර ඇත්තේ රජයේ ඉහළම 'නිලධාරියකුගේ' බලපෑම මත බව පැවැසේ. එය සත්‍යයක් නම් තත්ත්වය බරපතළය. කටයුතු සිදුවන ආකාරය ලැජ්ජා සහගතය.

පොලිස්පති ධුරය වැනි වගකිව යුතු තනතුරක ගරුත්වය රැකගැනීමට මෑත කාලයේ පත්වූ ඇතැම් පොලිස්පතිවරුන්ට හැකි වූයේ නැත. 

ජාවාරම්කාරයන්ගේ සාදවලට සහභාගි වීම, මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් වරදාන ලබාගැනීම, බීමත්ව රාජකාරි කිරීම හා මැති ඇමැතිවරුන්ට අවශ්‍ය ආකාරයට තීන්දු ගැනීම, එවැන්නන්ට එල්ල වූ චෝදනා කිහිපයකි. මීට පෙර පොලිස්පති ධුරය දැරූ එන්.කේ. ඉලංගකෝන් ගිය මඟ ලකුණු ඔස්සේ පොලිස්පති පූජිත් ජයසුන්දර ඉදිරියට පියවර තබාවි යැයි සබුද්ධික ජනතාව සිතුවද සිදුවෙමින් තිබෙන්නේ අනෙකකි. ස්වයං විවේචනාත්මකව වැරැදි නිවැරැදි කර නොගතහොත් කෙටි කලක් තුළ අපකීර්තියට පත්වූ පොලිස්පතිවරයා ලෙස ඉතිහාස ගතවීමට පූජිත් ජයසුන්දර මහතාට හැකිවනු ඇත.

88-89 ධවල භීෂණ සමයේ 'දේශප්‍රේමී ත්‍රස්තවාදය' පිටින් දමා තම තමන්ට අවශ්‍ය පුද්ගලයන් විනාශ කිරීමට ඇතැමුන් පොලිසිය පාවිච්චි කළ බව නොරහසකි. පසුගිය කාලයේ පාතාලයන්, කුඩුකාරයන් මර්දනයේදී මාංචු දැමූවන් පැනයෑමට තැත් කළ බව කියමින් පොලිසිය ඔවුනට වෙඩි තබා මරා දැමුවේය. එහෙත් මර්දනයට මුවාවී නිර්දෝෂී පුද්ගලයන් විනාශ කිරීමේ 'අනතුර' ගැන ඇතැම්හු පෙන්වා දුන්හ. මෙවැනි 'ප්‍රශ්න' යළි ඇති නොවීම මෙරට සබුද්ධික ජනතාවගේ අවශ්‍යතාව විය.

මත්කුඩු ජාවාරම, පාතාලය නීත්‍යනුකූල ආකාරයට මර්දනය කිරීම මිස කැලෑ නීතියට එය භාරදීම ඔවුහු තවදුරටත් බලාපොරොත්තු නොවෙති.
ප්‍රශ්නය වී තිබෙන්නේ අපරාධකාරයන්, පාතාලයන්, ජාවාරම්කාරයන් දෙපලුකොට නූලට තිතට වැඩේ දේවි යැයි සිතූ පොලිස්පති පූජිත් ජයසුන්දර කොළේ ඉරා ගැනීමට සැරැසීමය. දිගින් දිගටම හෑල්ලු වී තිබූ එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් යළි ඔසවා තබනු ලැබූ 'පොලිස්පති ධුරය' දෙකේ කොළේට නොදැමීමට කවුරු කවුරුත් පරිස්සම් විය යුත්තේ යහපාලනයකට එය අත්‍යවශ්‍ය වන නිසාය.

Share on Google Plus

0 comments:

Post a Comment