අපයෝජකයන් වෙනුවෙන් පොලිස් ලොක්කෙක්?


මහනුවර හන්තාන ප‍්‍රදේශයේ මානව නායකත්ව ඇකඩමියේ නේවාසික සිසුවියන් පිරිසක් අපයෝජනයට ලක් කිරීමට සම්බන්ධ යයි සැකකෙරෙන එම ආයතනයේ හිමිකරු නීතියේ රැහැනට කොටු කර ගැනීම වළක්වාලීමට පොලීසියේ ඉහළම නිලධාරියකුගේ මැදිහත් වීමෙන් රහස් මෙහෙයුමක් දියත් කෙරී ඇත.

නිමල් පීරිස් නැමැත්ති මෙම සැකකරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සමීපතමයෙක් බවට හෙළි වී තිබෙන අතර, මේවනවිට ඔහුට අපේක්ෂිත ඇප ලැබී ඇත.

පොලිස්පති ධූරයට පත්ව පුජිත ජයසුන්දර මහතා පළමුවරට මහනුවරට පැමිණි අවස්ථාවේදී බැනර් පෝස්ටර් හා කටවුට් ගසා පිළිගෙන ඇත්තේ මේ පුද්ගලයා විසින් බව වාර්තා වේ.

දැනට මේ තැනැත්තා නඩු දෙකක් සදහා වරෙන්තු පිට සිටින අයකු බවත්, තවත් නඩු දෙකක් උසාවියේ ඇසෙමින් පවතින බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.

දැරියන් 17ක් අපයෝජනය කරලා :

 එම අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව එම පුහුණු ආයතනයේ ප‍්‍රධාන දේශකයා ලෙස කටයුතු කළ චන්දිමාල් ගමගේ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහනුවර ප‍්‍රධාන මහසේත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා විසින් ඉකුත් 4 වන දින නියෝග කර තිබිණි.

මෙම සැකකරු ගැහැණු ළමයි 17 දෙනෙකු අපයෝජනය කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.

අවුරුදු 15 ත් 17 ත් අතර වයසේ පසුවන එම දැරියන් දිවයිනේ විවිද ප්‍රදේශවල සිට පැමිණ නේවාසිකව මෙම ආයතනයේ නායකත්ව පුහුණුපාඨමාලාව හදාරා ඇති අතර ඒ සඳහා එක දැරියක් වෙනුවෙන් දෙමාපියන් ගෙවා ඇති මුදල රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වේ.

පසුගිය වර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ සිසුවියන්ගේ මානසිකත්වය වර්ධනය කරන බවට පුවත්පත්වල පල කළ දැන්වීමක් මගින් මෙම ආයතනය සිසු සිසුවියන් බඳවාගෙන ඇත.

දැරියන්ව මුදලට අලෙවි කරලා :

මෙලෙස නේවාසිකව සිටිද්දී මෙම දැරියන්ව පසුගිය පොසොන් දින සහ තවත් දිනයක රාත්‍රියේ වාහනයක දමාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇති බවට මේ වන විට තොරතුරු හෙළිව ඇති බව දෙමාපියන් පවසති.

එහිදී මහනුවර ප්‍රදේශයේ ප්‍රභූන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට මෙම දැරියන්ව  මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මේ සියල්ල රහසේම සිදු වෙද්දී සිය දරුවා බැලීමට පැමිණි දෙමාපියන්ට ඇය සමග නිසියාකාරව අදහස් හුවමාරු කර ගැනීමට බාධා වන ආකාරයට නේවාසිකාගාරයේ පාලිකාවන් හැසිරී ඇති බවද පැවසේ.

නිරන්තරයෙන් මෙම ස්ථානයේ මත්පැන් සාද පැවැත්වෙන බවත් ඊට බයිට් හදන්නේ නේවාසිකාගාරයේ පාලිකාව බවටත් කරුණු හෙළිවී ඇති ඇති බව වාර්තා වේ.

චන්දිමාල් ගමගේ නැමති පුද්ගලයා මීට දෙසතියකට පෙර නායකත්ව පුහුණුව පිළිබද වැඩමුලුවක් මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේ පවත්වා ඇති අතර, එම වැඩමුලුවට සම්පූර්ණ වියදම් දරා ඇත්තේත් නිමල් පීරිස් බව ද කියැවේ.

 ඒ වැඩමුලුවට සභාභාගී වූ නේවාසික දැරියන් දෙදෙනෙක් රාත්‍රියක ආයතනයෙන් පිටතට ගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බව හෙළි වී තිබේ.

කෙසේවුවද, මහනුවර සිටින ඉහළම පොලිස් නිලයන් මෙම සැකකාර ව්‍යාපාරිකයින්ගේ සමීපතම හිතවතුන් වීමත්,  එම ප්‍රදේශයේ සිටින පක්ෂ විපක්ෂ සෑම දේශපාලකයෙක්ම පාහේ සැකකාර දැන්වීම් ආයතනකරුවාට මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල බිල් ගෙවන්නට ඇති ණය කාරයින් වීමත් නිසා මේ දූෂණය වූ දැරියන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට යුක්තිය ඉටුකරවා ගැනීමට දුෂ්කර තත්වයක් මතුව ඇතැයි තතු දත් ආරංචිමාර්ග පවසයි.



-LNW

Share on Google Plus