දූෂිතයන් කොටු කරන්න අගමැතිගෙන් නව පනතක්.


කිසියම් රාජ්‍ය නිලධාරියකු භාරකාරත්වය දරන දෙපාර්තමේන්තුවක දූෂණයක්, අක‍්‍රමිකතාවක් සිදු වුවහොත් එම නිලධාරියා සිරගත කිරීමට හැකි වන ආකාරයට පෞද්ගලික ව්‍යවසාය පනත නමින් නව පනතක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ යෝජනාවකට අනුව ගෙන එන මෙම පනතේ අපේක්ෂාව සිංගප්පූරු මොඩලයට සමාන අන්දමින් රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරී කටයුතුවල දී විශ්වසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් වගකීම් පහක් හිමිකර දෙමින් රාජ්‍ය අංශයේ මූල්‍ය අක‍්‍රමිකතා අවම කර ගැනීමය.

අග‍්‍රාමාත්‍යවරයා මෙම නව පනත ආණ්ඩුව වෙත යෝජනා කර තිබෙන්නේ, භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යවසායවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කළ නිලධාරීන් 85 දෙනකු එම ආයතනවල සිදු වූ බරපතළ මූල්‍ය වංචා පිළිබඳව සිදු කරන විමර්ශනවලට විරෝධය පළකර ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප‍්‍රතිචාර වශයෙන්ය.

එහි දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ‍්‍රී ලංකන් ගුවන් සේවය හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු  රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සේවය කරමින් සිට ඉල්ලා අස්වූ කිසිවකු යළි සේවයට බඳවා නොගන්නා ලෙසත් ‘පෞද්ගලික ව්‍යවසාය පනත’ කඩිනමින් ගෙනැවිත් තරුණ හා දක්ෂ නිලධාරීන් අදාළ තනතුරුවලට අනුයුක්ත කරන ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා  මුදල් ඇමැතිවරයාට නියෝග කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සිදු වූ බරපතළ මූල්‍ය වංචා පිළිබඳව සිදු කරන විමර්ශනවලට විරෝධය පළකර නිලධාරීන් පිරිසක්  ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ දූෂණයට විරුද්ධ පරිපාලන නිලධාරීන්, ප‍්‍රධාන ගණකාධිකාරිවරුන්, සැලසුම් අධ්‍යක්ෂවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් දූෂණ විරෝධී රාජ්‍ය නිලධාරීන් තම සේවය එම ආයතනවලට ලබා දීමට එකඟ වී ඇති බව ද වාර්තා වෙයි.

ඒ වෙනුවෙන් මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් 350ක් පමණ  ‘‍දූෂණයට එරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ සංසදය’‍ ලෙස සංවිධානය වී ඇති අතර ඔවුන් ඒ හරහා රජයේ දූෂණ විරෝධී කටයුතුවලට සහාය දීමට ද එකඟත්වය පළකර ඇත.

මේ අතර එම සංවිධානයේ ප‍්‍රකාශකයකු අප සමඟ සඳහන් කර සිටියේ තවදුරටත් රාජ්‍ය අංශයේ දූෂණ වළක්වා ගනිමින් කීර්තිමත් රාජ්‍ය සේවයක් බිහිකර ගැනීම තම අපේක්ෂාව වන බවය. එසේම සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ සිදු වූ බරපතළ මූල්‍ය වංචාවක් සම්බන්ධව භාණ්ඩාගාරයේ පොදු ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ  ඇතුළු එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී දැනට මාස 02 කට අධික කාලයක් ගතවී ඇතත් ඔවුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත බලපෑම් කරමින් එම අත්අඩංගුවට ගැනීම් වළක්වා ගැනීමට උත්සාහ දරමින් සිටින බවත් එනිසා තමන්ගේ මේ සංවිධානය වීම රටේ දූෂණයට එරෙහි නායකයන්ටත් ශක්තියක් වනු ඇති බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

සංජය ලියනගේ - සත්හඬ

Share on Google Plus

0 comments:

Post a Comment