පොලිස්පති ඇනගෙන : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවකුත්.


සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ප්‍රදේශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට එල්ල වී ඇති දේශපාලන බලපෑම් මත කිලිනොච්චියෙන් මාරුකර යැවීමට සිදුවන බවට ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නීතියට පටහැනි බල රහිත ප්‍රකාශයක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පොලිස්පති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අමතමින් තමාව කිලිනොච්චියෙන් මාරුකර හරින ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට සිදු වන්නේ යැයි ප්‍රකාශ කළ බව පෙන්වා දෙමින් පාලිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.‍

පොලිස්පතිවරයාගේ එකී වාචික ප්‍රකාශය නීතියට පටහැනි මෙන්ම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රකාශයක් බැවින් එකී වාචික ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්වන්නැයි පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් ඉල්ලා තිබුණි.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් හා විනිසුරු අනිල්  ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳ වූ අවස්ථාවේ අගවිනිසුරුවරයා අධිකරණයේදී පෙන්වා දී ඇත්තේ සහකාර ‍පොලිස් අධිකාරී ධුරයේ සිට ඉහළ ධුර හොබවන නිලධාරීන් ස්ථාන මාරු කළ හැක්කේ ජාතික ‍පොලිස් කොමිසමට පමණක් බවයි. එබැවින් ‍පොලිස්පතිවරයා පෙත්සම්කරුට ස්ථාන මාරු ලබා දෙන බව සඳහන් කිරීම නීතියට  පටහැනි හා බලරහිත එකක් බවටද

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. පළමුවන වගඋත්තරකාර  ‍පොලිස්පතිවරයාගේ  වාචික ප්‍රකාශය අනුව කටයුතු කළහොත් වහාම අධිකරණය හමුවට පැමිණීමේ අයිතිය පෙත්සම්කරුට ඇති බවද අගවිනිසුරුවරයා පෙන්වා දෙමින් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර පළමු වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ අතර ජාතික ‍පොලිස් කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සිරි හෙට්ටිගේ, ‍ලේකම් ආරියදාස කුරේ, ජාතික ‍පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් හයදෙනා, අමාත්‍ය සාගල රත්නායක හා නීතිපතිවරයා සෙසු වගඋත්තරකරුවන් වෙති. එම පෙත්සම තම අධිකරණය විසින් නිකුත් කළ පෙර කී නියෝගයට යටත්ව අවසන් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවසර ලබා දී ඇත.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ  අධිනීතිඥ එස්. බාරි මහත්මිය ද අධිකරණයට පෙන්වා දී ඇත්තේ සහකාර ‍පොලිස් අධිකාරි ඉහළ නිලයක් දරන නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමේ බලය ඇත්තේ ජාතික ‍පොලිස් කොමිසමට බවට නීතිපතිවරයාද පිළිගන්නා බවයි.

‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය, උපුල් කුමාරප්පෙරුම. යූ.එම්.ඩී. නයෝමී සහ කිත්සිරි ලියනගේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.

‍නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ

Share on Google Plus

0 comments:

Post a Comment