අරලියගහ මන්දිරයෙන් තාජුඩීන් ඝාතනය වූ දා OICට ලැබුණු දුරකථන ඇමතුම් මකලා.


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදු වූ දින රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳ දත්ත සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව කොළඹ ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා එම දත්ත ගබඩා කර තිබූ (මධ්‍යම සැකසුම් ඒකකය) සී.පී.යූ. යන්ත්‍රය සිය භාරයට ගත් බව දන්වා සිටියේය.

අදාළ දුරකථන අංක සහ ඒ පිළිබඳ දත්ත මකා දමා ඇති නඩත්තු නිලධාරියා මේ වන විට සේවයේ නැතැයිද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දෙන ලදී.

අදාළ දත්ත මකා දැමීම නඩත්තු නිලධාරියකු විසින් සිදු කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් විසින් දැනුම් දී ඇතැයි ද එහි දැක්වේ.

එසේම එම දත්ත නැති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී ඇති බව ද එහි සඳහන් වේ. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (24) කැඳවූ අවස්ථාවේදී මෙම වාර්තාව ඉදිරිපත් කරන ලදී. වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව සී.සී.ටී.වී. කැමරාවලින් ලබාගත් වීඩියෝ දර්ශන ඇතුළත් තැටි 10ක් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිද්‍යාලය වෙත ඉකුත් අගෝස්තු මස 22 දින යැවූ බව ද රහස් පොලිසිය මඟින් එම වාර්තාව මඟින් දැනුම් දෙන ලදී.

එම වීඩියෝ දර්ශන සම්බන්ධ වාර්තාව එම විශ්වවිද්‍යාලය මඟින් කඩිනමින් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද එහි සඳහන් වේ.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්මික පෙරේරා මහතා අධිකරණය වෙත ඉදිරිපත් කැර තිබුණි. ඔවුන් ලබන සැප්තැම්බර් මස 07 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය. මෙම සිද්ධියේ දෙවන විත්තිකරු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්මික පෙරේරා මහතාට ඇප ඉල්ලා ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය සැප්තැම්බර් මස 07 දිනට කල් තබන ලදී. 

Share on Google Plus

0 comments:

Post a Comment