මහින්දානන්ද මෛත්‍රීගේ ඔත්තුකරුවෙක් දැයි සැකයක්?


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඔත්තුකරුවකු දැයි ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් තුළ  බරපතල සැකයක් මතුව ඇතැයි වාර්තාවේ.

ඒකාබද්ධ විපක්ෂයේ  'පා ගමන' සංවිධානය කිරීමට ක්‍රියාකාරිව මැදිහත් වුත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව බරපතල ලෙස විවේචනය කරන්නෙකු වුත්  මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොකර, ජනාධිපතිවරයාව එතරම් විවේචනය නොකර ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ආසන සංවිධායක ධුර වලින් ඉවත් කිරීමත් සමග මෙම සැකය මතුව ඇත.

එසේම, මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශනයන් හිදී ඔහු රජයේ දේපල හා මුදල් අවභාවිතා කර ඇතිබව තහවුරු වී ඇති අතර, ඊට අදාළ වාර්තා නිතිතිවරයා වෙත බාරදී මාස කිහිපයක් ගතව ඇතත්, ඒ සම්බන්ධයෙන් නඩු පවරා නොමැති වීමද බරපතල සැකයට බඳුන්ව තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇමතිවරයකු ලෙස සිටියදී මිලදී ගෙන ඇති නිවාස, ඉඩකඩම් ආදී රුපියල් ප්‍රකෝටි ගණනක දේපල මෙන්ම ඔහුගේ බැංකු ගිණුම්වල තිබු කෝටි ගණනක් මිල මුදල් උපයාගත් ආකාරය ඔප්පු කිරීමට නොහැකි වීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව නිතිපතිවරයට වාර්තාවක් ලබා ඇත.

එසේම, ක්‍රීඩා ඇමතිව සිටියදී කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව, රජයේ ව්‍යාපෘති 40ක් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට ලබාදීම සම්බන්ධයෙන් ද මහින්දානන්ද මහතාට චෝදනා එල්ලවී ඇත.

කෙසේවුවද, මෙලෙස වත්කම් උපයාගත් ආකාරය පෙන්වීමට නොහැකිවූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව පමණක් නොව, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා  ශ්‍රී ලංකා යුද හමුදාවේ ‍මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි මහතාට එරෙහිවද වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් රජය මේවනවිට නඩු පවරා ඇත. 

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු කියා සිටියේ, ශ්‍රීලනිපය බෙදීම වලක්වා ගැනීම සඳහා මහින්දානන්ද මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාගේ උපදේශකයින් පිරිසක් සමග පසුගිය මාස කිහිපයෙහි සාකච්ජා පැවැත්වුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද දැනුවත්වීම මත බවයි.

එහෙයින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු සැකයක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

මෙසේ, හිටපු ජනාධිපතිවරයාට සමීප මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ආසන සංවිධායක ධුර වලින් ඉවත්කර, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන භාවිතාව දැඩිව විවේචනය කරන මහින්දානන්ද අලුත්ගමගේ, බන්ධුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, රමේෂ් පතිරණ, මොහාන්ද සිල්වා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විදුර වික්‍රමනායක, රන්ජිත් සොයිසා, ජනක වක්කුඹුර, කොහාන් රත්වත්තේ වැනි රාජපක්ෂ මහතාට සමීප ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආසන සංවිධායක ධුර වලින් ඉවත් නොකලේ ඒකාබද්ධ විපක්ෂය දෙකඩවී ඇති බව පෙන්වීම සඳහා යයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේවුවද ශ්‍රීලනිප මහ ලේකම් පවසන්නේ චෝදනා ඔප්පුවී නොමැති මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් නොකළ බවයි. 

-SLM

Share on Google Plus

0 comments:

Post a Comment