පාලන මිලටත් අඩුවෙන් ලංකා සතොස බඩු.


රජයේ පාලන මිලටත් වඩා මිල අඩුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කළත් මේ වසරේ මුල් මාස 6 තුළදී ලංකා සතොස ආයතනය බිලියන13.7ක ලාභයක් උපයා ඇතැයි ලංකා සතොස සභාපති ආචාර්ය රොහාන්ත අතුකෝරළ මහතා පවසයි. පසුගිය මාසය තුළ පමණක් මිලියන 98ක ලාභයක් සතොස ලබා ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

සීනි කිලෝග්රෑම් එකක මිල රුපියල් 95.00ක් වන නමුත් සතොසෙහි එම මිල රුපියල් 94.50ක් බවත්, පරිප්පු කිලෝ ඒකක පාලන මිල රුපියල් 169.00ක් වන නමුත් සතොස මිල රුපියල් 165ක් බවත්, ලුණු කිලෝ එකක පාලන මිල රුපියල් 79ක් වුවත් සතොස මිල රුපියල් 77.00ක් බවත් සභාපතිවරයා කීය. ටින් මාළු මිලද රුපියල් 130.00ක් දක්වා අඩු කර ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

මීට අමතරව තමන් වෙළෙඳපොළේ පවතින සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් පාලන මිලටත් වඩා අඩුවෙන් ලබා දෙන බව කී සභාපතිවරයා පාරිභෝගිකයන්ගේ පහසුව තකා සතොස ශාඛා ජාලය මේ වසර අවසන් වන විට 500ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇතැයිද පැවසීය.

මේ වන විට ශාඛා 320ක සතොස ජාලයක් ඇති අතර අගෝස්තු මාසය තුළ තවත් ශාඛා 50ක් අලුතින් පිහිටුවන බවත් ඉදිරියේදී සතොස නියෝජිතායතන රැසක්ද පෞද්ගලික වෙළෙඳුන්ගේ සහායෙන් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් අතුකෝරළ මහතා කීය.

Share on Google Plus