මුල්‍ය වංචාව තහවුරුයි - කෙහෙළියත් ආණ්ඩුවට.


හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආණ්ඩුවට එක්වීමට සුදානම් බවත් ඔහු ආණ්ඩුවට ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුමැතිය ලබා දී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති අරමුදලේ මුදල් වංචනික ලෙස ලබාගැනීම පිළිබඳව කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය සිදු කළ පරීක්ෂණ නිම වී ඇති අතර එහි වංචාවක් සිදු වී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. රඹුක්වැල්ල මහතා ආණ්ඩුවට එක්වීමට තීරණය කිරීමේ ආසන්නතම හේතුව මෙය බවද පැවසේ.

2012 පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ හෝටලයක තුන්වන මහලේ සඳළුතලයේ සිට බිමට ඇද වැටීම නිසා සිදු වූ ආබාධ සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට යැයි පවසමින් හිටපු අමාත්‍යවරයා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි දෙදක් ලබාගෙන ඇත.

ඔහු ඕස්ට්‍රේලියාවේ  "ඇල්ෆ‍්‍රඞ් හෙල්ත්" රෝහලේ Epwrth Rehabilitation Hospital හිදී ප‍්‍රතිකාර ලබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තවද හිටපු අමාත්‍යවරයා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ඔහුගේ පෞද්ගලික සංචාරයකදී වීමත් ඔහු නවාතැන්ගෙන සිටි සහ අනතුරට ලක්වූ හෝටලය මගින් සියලුම රෝහල් ගාස්තු ගෙවා ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත.

ඊට අමතරව රඹුක්වැල්ල මහතාට පෞද්ගලික හිතවතුන් විසින්ද විශාල මුදලක් ලබා දී ඇති බවත් එලෙස ප‍්‍රතිකාරවලට අදාළ සියලු වියදම් ගෙවා තිබියදී ජනාධිපති අරමුදලින් මෙවැනි විශාල මුදලක් ලබා ගැනීම වංචනික ක‍්‍රියාවක් බව තහවුරු වේ.

බරපතල අසනීපවලදී වියදම් සඳහා මුදල් සොයාගත නොහැකි දුප්පත් අසරණ රෝගීන් සඳහා වූ ජනාධිපති අරමුදලින් දේශපාලනඥයින්ට කෝටි ගණන් ගෙවීම පසුගිය ආණ්ඩුව යටතේද වත්මන් ආණ්ඩුව යටතේද සිදුවේ. සාමාන්‍ය රෝගියෙකුට අරමුදලින් ලබාගත හැක්කේ සීමිත මුදල් ප‍්‍රමාණයක් වුවද ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් මෙලෙස විශාල මුදලක් ඇමතිවරුන්ට විදේශ රටවල ප‍්‍රතිකාර සඳහා ගෙවනු ලබයි.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල වැනි මුල්‍ය වංචාවලට චෝදනා ලැබූ පුද්ගලයින් සම්බන්ධකර ගැනීම යනු ආණ්ඩුව වේගයෙන් යහපාලනයෙන් වියෝවී අවපාලනය කරා පල්ලම් බහින බවට දක්වන ප‍්‍රධාන සංඥාවකි. 

මේ වනවිටත් ආණ්ඩුවේ සිටින බරපතල වංචා, දුෂණ සහ අපරාධවලට චෝදනා ලැබූ මැති ඇමතිවරුන්ට එරෙහි විමර්ශන අඩාල වී තිබේ.

Share on Google Plus