මහින්ද රාජපක්ෂව යුරෝපයේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක්.


ශ්‍රීලනිප මහ සමුළුව මග හරමින්, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක සංචාරය කිරීම සඳහා පැමිණෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුරෝපයේ රටක් තුල අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු සිදු වෙමින් පවතින බව අනාවරණය වේ.

මීට පෙර සිදු කෙරුණු යුරෝපා සංචාරවලදී, මහින්ද රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ රටක නායකයෙකු වශයෙන් පවතින මුක්තියේ ආරක්ෂාව ඔහුට ලැබුනු හෙයිනි. එහෙත් අවසාන වතාවට බ්‍රිතාන්‍යයේ කළ සංචාරයේදී ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ හමුදා ආරක්ෂකයන් පැදුරටත් නොකියා නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ, ගෝලීය දමිල සංසදය (GTF)හා   බ්‍රිතාන්‍ය දමිළ සංසදය (BTF)  විසින් ලන්ඩන්, වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් උසාවියේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා සිටි හෙයිනි.

නමුදු එදින වරෙන්තුව නිකුත් නොවූයේ ඒ වන විට චූදිතයන් එම අධිකරණයේ බල සීමාවෙන් නික්මී පෙරලා ගොස් ඇති හෙයිනි. එහෙත් එකී නඩුව පැමිණිලිකාර පාර්ශවය ඉල්ලා අස්නොකර ගත් අතර එය මේ වන විටද වෙස් මිනිස්ටර් මහේස්ත්‍රාත් උසාවියේ බහා තබා තිබේ. යම් හෙයකින් පැමිණිලිකාර පාර්ශවයෙන් මෙකී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නැවත ඉල්ලා සිටියහොත් එය නිකුත්වීමේ වැඩි සම්භාවිතාවයක් පවතී. බ්‍රිතාන්‍ය උසාවියකින් නිකුත් කෙරෙන අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය බැඳී සිටින හෙයින් මහින්ද රාජපක්ෂගේ තත්වය බැරෑරුම් වනු ඇත.

ඉතාලියේ මෙම සංචාරය  සංවිධානය කළ පුද්ගලයන්ද මෙම තත්වය හොදින් තේරුම්ගෙන ඇති අතර ඔවුන් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින්නේ එවන් තත්වයක් උද්ගතවුව හොත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවය. මෙම සංචාරය සඳහා අවශ්‍ය මුදල වන යුරෝ 35,000 ක මුදල පවා  ඔවුන් එකතු කර ගෙන ඇත්තේ ඉතාලියේ වෙසෙන සාමාන්‍ය සිංහල ජනතාවගෙන් දුෂ්කර ලෙස සම්මාදම් කර ගැනීමෙනි. බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම ඔවුන්ට පොරොන්දු වී ඇත්තේ එම මුදල් ඔවුන් එනවිට රැගෙන එන බවයි.

කෙසේ නමුදු යම් කිසි නීති කටයුත්තක් සඳහා විය පැහැදම් කිරීමට සිදුවුවහොත් අවම වශයෙන් නීතිඥ ගාස්තු සඳහා යුරෝ 50,000ක් වත් අවශ්‍ය වන බව සංවිධායකයන් ගණන් බලා තිබේ. එවන් මුදලක් වියදම් කර වුවද මහින්ද රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත හොත් එහි සම්පූර්ණ වගකීම තමන් පිට පැටවෙන බැවින් මහින්දගේ ඉතාලි සංචාරය පිළිබඳව සංවිධායකයන් උභතෝකෝටික පැනයකට මුහුණ දී සිටී.

Share on Google Plus

0 comments:

Post a Comment