හම්බන්තොට 'හයට් රිජන්සි' හෝටලයේ ඉදිකිරීම් අත්හිටුවයි.


රුපියල් බිලියන 4ක මුදලක් ආයෝජනය කරමින් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කර තිබූ 'හයට් රිජන්සි' හෝටලයේ ඉදිකිරීම් වහාම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත. ඒ අනුව ඒ සඳහා වෙන්කර ඇති මුදල කොළඹ ඉදිකෙරෙන 'ග්‍රෑන්ඩ් හයට් කලම්බු' හෝටලයේ ඉතිරි ඉදිකිරීම් සඳහා යෙදවීමටද පෙරේදා (16දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රුපියල් මිලියන 315ක මුදලක් මේ වන විට එම හෝටලයේ ඉදිකිරීම් සඳහා යැයි කියමින් වියදම් කොට ඇතත් මෙතෙක් එහි අදාළ ඉදිකිරීම් සිදුවී නැති බවත් ඒ අනුව මෙසේ හම්බන්තොට ඉදිකෙරෙන හෝටලයට වෙන් කළ මුදල කොළඹ ඉදිකෙරෙන ග්‍රෑන්ඩ් හයට් කලම්බු හෝටලය වෙත ලබාදීමට තීරණය කළ බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල සහ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම යන රාජ්‍ය ආයතන විසින් 'සිනො ලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා' (පෞද්ගලික) සමාගම හරහා එහි මවු සමාගම වන 'කැන්විල් හෝල්ඩිංග්ස්' පෞද්ගලික සමාගමේ රුපියල් බිලියන 18.5ක් ආයෝජනය කරමින් 2012 වර්ෂයේදී ග්‍රෑන්ඩ් හයට් කලම්බු හෝටලය ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 'හයට් රිජන්සි' හෝටලය ඉදිකිරීමට පටන්ගෙන ඇත්තේ ඒ අතරතුරදීය.

මේ අනුව රාජ්‍ය ආයතනවල මුදල් තම මූලික අරමුණු සඳහා යොදා ගැනීම නවතාලීමට අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බවත් එසේ එම මුදල් පරිබාහිර වාණිජ ව්‍යාපාරවල යෙදවීම සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට සැලැසුම් කොට තිබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

Share on Google Plus

0 comments:

Post a Comment