මහින්දගේ අභියෝගය ගෝඨා වීම.


මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පසුගිය දා මහනුවර සිට කොළඹට පා ගමනින් ආහ. ඒ පුස්ස බින්දාක් මෙන් වූවා මිස මෙරට දේශපාලනය කෙරෙහි කිසිදු බලපෑමක් කිරීමට තරම් සමත් වූයේ නැත.

එය වැරැදි වෙලාවක ගත් වැරැදි තීන්දුවක් බව මේ සංවිධායකයන්ට මේ මොහොතේ හෝ වැටහෙනවාට සැක නැත. එය එජාප විරෝධී පා ගමනක් ලෙස අර්ථකථනය කර තමන්ගේ ශ‍්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය රැක ගැනීමේ දැඩි උත්සාහයක් එම මහින්දවාදී ශ‍්‍රීලනිප සාමාජිකයන්ට තිබුණ ද අවසානයේ දී සිය පක්ෂ මූලස්ථානයට හූ කියා, ජනාධිපතිවරයාට අපහාසාත්මකව බැණ වැදී තමන් එජාප විරෝධීන් නොව මෛත‍්‍රී විරෝධීන් බව ද ශපථ කළහ.

එහෙත් මෙම කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් වෙන් වී වෙනම කටයුතු කිරීමෙ හි වුවමනාව ද මේ වන විට මඟ හරිමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ පක්ෂ නායකත්වයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා එළවා දමා එහි බලය ඇල්ලීමේ සැලැස්මක් විය හැකි ලෙස ඇතැමකුට කල්පනා කළ හැකිය. එමෙන්ම ඒ රාජපක්ෂ පිලෙහි බංකොලොත්කම හෝ අසාර්ථකත්වය බවට ද පෙන්වා දිය හැකිය. නැත්නම් තවත් කල් යල් බලනවා විය හැකිය. එහෙත් මෙරට දේශපාලනය එතරම්ම සරල නැත.

මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමේ ඉලක්කය 2020 ය. ඒ වෙනුවෙන් අවශ්‍යව ඇත්තේ පවතින ආණ්ඩුවට විකල්ප ප‍්‍රධාන බලවේගය ලෙස මේ දේශපාලන භූමියේ ලොකු ඉඩකඩක් අල්ලා ගැනීමටය. එය යම් විටෙක ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගැනීම සඳහා ද අවැසි වනු ඇත. පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරන දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණේ අක‍්‍රිය භාවය මත මහින්දවාදීන්ට එම අවස්ථාව වුවමනාවටත් වඩා විවරව පවතී. එහෙත් ඔවුන් මුහුණ පා තිබෙන දේශපාලන ගැටලූව නම් ඔවුන්ගේ නායකත්වය කවුද? කුමක්ද? යන ගැටලූවය. මහින්ද රාජපක්ෂව හෝ බැසිල් රාජපක්ෂව හෝ කර තබාගෙන ගිය ද ඒවා ජනප‍්‍රිය චරිත අන්ධ භක්තිය මත උත්කර්ෂයට නැංවූ චරිත මිස මේ මොහොතේ එම කණ්ඩායමට දේශපාලන නායකත්වයක් සැපයීමට තරම් සමත් නැත. මන්ද දේශපාලන නායකත්වයක් දී අවශ්‍ය වන මතවාදීමය හෝ සංවිධානාත්මක හැකියාව මේ මොහොතේ දී ඔවුන් සතුව නොමැත. එමෙන්ම එදා විධායක බලය වටා සංකේන්ද්‍රණය වූ බලවේග අද රාජපක්ෂවරුන්ව හැර ගොස් තිබේ.

එහි දී ප‍්‍රධාන ගැටලූවක්ව පවතින්නේ, මහින්ද රාජපක්ෂට දේශපාලනිකව ඓන්ද්‍රීය වන සාමාජිකයන් හෝ ඔහු සතු නොවීමය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ගණනෙන් සරලව මේ සලකා බැලීමේ දී ඔවුන් සතුව ඇති එම ආසන ගණන වන 51න් 41ක්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ය. එම පක්ෂයේ නායකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා මිසක මහින්ද රාජපක්ෂ නොවේ. ඔහු කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පමණි. ඔහුට පක්ෂයේ තනතුරු හෝ හිමි නැත. බැසිල් රාජපක්ෂ කොහොමටත් සාමාන්‍ය පුරවැසියෙකි. එහෙත් ඔහු විශ්වාසය තැබිය හැකි අයකු නොවේ. ඔහු දේශපාලන ඩීල්කරුවකු මිස දේශපාලනඥයකු නොවේ.

මේ තත්ත්වය මත මේ ‘ඒකාබද්ධ විපක්ෂය’ හෝ වෙනත් නාමයකින් හෝ හඳුන්වාගෙන කෙතරම් දේශපාලන කරළියෙහි බඩ පිනුම් ගැසුවත් එම කණ්ඩායමේ නායකයා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මිස වෙන අයකු වන බව මේ කිසිවකුට හෝ පැවසිය හැකිව නැත. වර්තමාන සම්මුතික ආණ්ඩුව බලපවත්වන්නේ ශ‍්‍රීලනිපයේ මෛතී‍්‍ර පාර්ශ්වය හා එජාපය සමඟ වන ගිවිසුම්ගත ක‍්‍රියාවලිය තුළ පමණක් නොවේ. ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂය අතර ද ඇත්තේ නිල නොවන ගිවිසුම්ගත සම්මුතියකි. මහනුවර සිට පා ගමනින් එන්නට පෙර ජනාධිපතිවරයා හමුවී ඊට ආශිර්වාද ගැනීමට සිදුව ඇත්තේ එබැවිනි.

එසේම මේ විරෝධතාවන් හි දී එජාප විරෝධය හෝ ආණ්ඩු විරෝධය හෝ පදනම් කරගෙන කවර සටන් පාඨ ගෙන ආවත් අවසානයේ දී ජනාධිපතිවරයා විසින් ද එම සටන් පාඨ පුවරු එල්ලාගෙන සිටිනු ද දකින්නට ලැබේ. ජනාධිපතිවරයා විසින්් සටන්වල ජයග‍්‍රහණය රටට ගෙන ආවා මිසක ඒ මහින්දවාදීන් වෙත ලැබෙන්ට සැලැස්වූයේ නැත. එමෙන්ම ඒ සියල්ල එජාපය හා වන සම්මුතිකාමීත්වය ආරක්ෂා කර ගනිමින් සිදු කිරීමට ද ඔහු සමත්ව තිබේ. මේ අනුව අද දේශපාලන බිමෙහි වඩාත්ම අසීරුතාවට ලක්ව සිටින්නේ මේ මහින්දවාදීන් සුළුතරය යි. ගෙදර ගියොත් අඹු නසී.. මඟ හිටියොත් තෝ නසී.. යැයි පැරැන්නන් කතා ගෙතුවේ මේ වගේ අවස්ථාවලට උපහැරණ ලෙස පාවිච්චි කරන්නටය.

මේ අතර මහින්දවාදීන් මුහුණ දෙන අනෙක් බලවත්ම අභියෝගය ගෝඨාභය රාජපක්ෂය. මහින්ද රාජපක්ෂගේ එක් කුස උපන් සහෝදරයා වුව ඔහුගේ දේශපාලන ඉලක්කය ඇත්තේ වෙනත් ඉසව්වකය. ඔහු මහනුවර සිට එන පා ගමනට ආවේ නැත. ඒකාබද්ධ විපක්ෂය නමින් වන බහුජන ක‍්‍රියාකාරිත්වයන්ට හෝ අභ්‍යන්තර සාකච්ඡුාවලට හෝ එන්නේ නැත.

ඔහුගේ ඉලක්කය ද 2020 තරණය කිරීමය. එහෙත් දේශපාලන පක්ෂයක, කණ්ඩායමක බැඳීම නොමැතිව මේ ගමන යෑමේ හැකියාවක් ඔහුට නැත. ඔහුට ඒ සඳහා විශ්වාසදායක අත්වැලක් තිබිය යුතුය. මේ වන විට ඔහු ඒ සොයාගෙන ඇත. නැති නම් ඔහුට මඟ පෙන්වීම සිදු කර තිබේ. ඒ අත්වැල ශ‍්‍රීලනිපයයි. ඔහුගේ ශක්තිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනය. එය පැහැදිලිය.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ දේශපාලනය සුරක්ෂිත කරනු ලබන ප‍්‍රධාන මෙවලම බවට පත් වීම ද විය හැකිය. රාජපක්ෂවරුන් ශ‍්‍රීලනිපය සිංහල බෞද්ධ ජාතිවාදී අගුපිල්වලට දැක්වීම නිසා ශී‍්‍රලනිපයට මේ ගෝත‍්‍රිකත්වයෙන් මිදීමේ හැකියාව තවත් කාලාන්තරයකට ලැබෙන්නේ නැත. ඒ ගෝත‍්‍රිකත්වය නියෝජනය කරන රාජපක්ෂවරයකු එහි යුද වීරයා තමන්ගේ දකුණු අත වීම ශ‍්‍රීලනිපයේ ආරක්ෂාවට මෙන්ම තමන්ගේ පැවැත්මට ද වඩා හිතකර වනු ඇති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය කල්පනා කරනවා විය හැකිය.

පසුගිය සතියේ සකච්ඡා කළ පරිදි රණවිරු ස්ටාර් වැනි රූපවාහිනී වැඩසටහන් අවශ්‍ය වන්නේ ද ඒ වෙනුවෙනි. එමෙන්ම මේ දිනවල වඩා උණුසුම්කාරීව තිබෙන මීළඟ හමුදාපතිවරයා පත් කර ගැනීම සම්බන්ධ ගැටලූවේ දී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා කෙරෙහි වැඩි අවධානයක් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය යොමු කර තිබෙන්නේ ද මෙම දේශපාලනික අවශ්‍යතාව මත විය හැකිය. යුද්ධයට සක‍්‍රියව දායක වූ කීර්තිමත් නිලධාරියකු මෙන්ම ගෝඨාභය රාජපක්ෂට හිත්වත් වීම ආදී හේතු මීට බලපා ඇතිවාට සැක නැත. මෙමඟින් මහින්දවාදීන්ගෙන් එල්ල වන ජාතිවාදී ප‍්‍රහාර පහසුවෙන් මැඩ පැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට ලැබේ. එමෙන්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට තමන්ට පාලනය කර ගත හැකි ගෝඨාභය රාජපක්ෂ කෙනකු සිටීම තමාට පාලනය කරගත නොහැකි මහින්ද රාජපක්ෂ කෙනකු සිටීමට වඩා යහපත් තත්ත්වයකි. මහින්ද රාජපක්ෂ යනු හිටපු ජනාධිපතිවරයා වන අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකු සිටිය දී ඔහු ඇමතුවේ ‘සර්’ යන ගෞරවණිය ආමන්ත‍්‍රණයෙනි. ඒ එම තනතුරට ගැළපෙන ලෙසය. එහෙත් වර්තමාන තත්ත්වය එහි අනෙක් පසය. ඒ මත මහින්ද සමඟ වන සාමිචිය ද ගැළපෙන්නේ නැත.

මේ කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ දේශපාලන තීන්දු තීරණ ගැන පහසුවෙන් අනාවැකි කීමේ හැකියාවක් නොමැත. පසුගිය කාලය පුරා ඔහු ගත් බොහෝ තීන්දු තීරණ සාමාන්‍ය දේශපාලකයකුගේ තරම ඉක්මවා තිබිණි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ සමීප කර ගැනීමේ අරමුණ කිසිවකු බලාපොරොත්තු නොවුණු ඉලක්කයක් ද විය හැකිය.

ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂව බලවත් පවුරක් ලෙස තබා ගැනීමට සමත් වූව ද එය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ද කැමැත්ත වීමේ ඉඩකඩ බොහෝය. මක්නිසා ද යත් රනිල් වික‍්‍රමසිංහගේ අපේක්ෂාව 2020 ජනාධිපතිවරණය හෝ තනිව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම වන නිසා තමාට පහසුවෙන් පරාජය කළ හැකි සතුරෙකු සිටීම ඔහුගේ වාසියට හේතු වන්නේය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙකඩ වී ඇති ශ‍්‍රීලනිපය තුළ රනිල් වික‍්‍රමසිංහට අභියෝගයක් වන්නේ නැත.

එමෙන්ම සිංහල ජාතිවාදී පදනම මත අඩි තබා සිටින ගෝඨාභය රාජපක්ෂ ද ඔහුට අභියෝගයක් වන්නේ නැත. එහි දී රාජපක්ෂ පවුල මේ මොහොතේ ගෝඨා සාධකය මත කඩා ඉහිරවීම සිදු වන්නේ නම් වික‍්‍රමසිංහට කෙසේවත් ගෝඨාභය අභියෝගයක් වීමේ ඉඩකඩක් නැත. මහින්ද රාජපක්ෂට හෝ ශ‍්‍රීලනිපයේ පූර්ණ සහයෝගය ලබාගත හැකි යැයි කල්පනා කළ නොහැකිය. එමෙන්ම 2020 වන විට ඔහු තවදුරටත් ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදීම ද අවිනිශ්චිතය. යුදවාදය මත පදනම් වූ මහින්ද රාජපක්ෂගේ ඒ මතවාදයන් මේ වන විටත් සැලකිය යුතු ප‍්‍රමාණයකින් පරාජය වී ඇති බව පිළිගැනීමට සිදු වේ. එසේම ඉදිරි වසර 4 තුළ දී මෙරට දේශපාලනය තුළ සිදු වන දේශපාලන හා ආර්ථික වෙනස්කම් අනුව ඒ මතවාද රෝපණය කරන්නට මේ මහ පොළොවේ ඉඩක් ලැබීමේ සම්භාවිතාව අතිශය අවමය. මේ නිසා ගෝඨාගේ ආගමනය රනිල් වික‍්‍රමසිංහගේ වාසියට මිසක් ඒ අවාසිදායක වන්නේ නැත. මෙම තත්ත්වය මත ගෝඨාභය අභියෝගයක් වන්නේ මහින්ද රාජපක්ෂ සහ එම පිරිවරටය.

- සුජය
SathHanda.lk

Share on Google Plus